රටක නායකයින් පන්නන හැටි තරුණ බෞද්ධයෝ කියති..

September 9, 2019 at 8:02 am | lanka C news
රටක නායකයින් පන්නන හැටි තරුණ බෞද්ධයෝ කියති..

පක්ෂ, පාට, ජාති බේදයෙන් තොරව සියළු ජාතීන්ගේ ශක්තියෙන් ශ්‍රී ලංකාව ගොඩනැගීමේ යුගයේ අවශ්‍යතාවය ඉටුකරවා ගැනීම සඳහා සක්‍රීයව මැදිහත්වීම වෙනුවෙන් කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් ගොඩනැගූ “එක් හඬක්- සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය විසින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සියළු ජාතීන් නියෝජනය කරන මෙරට ව්‍යාපාරික නායකයින් දැනුවත් කළ අතර මේ සඳහා ව්‍යාපාරික නායකයින්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

මෙහිදී, මෙරට වර්තමාන තත්ත්වය සහ රට ඉදිරියට රැගෙන යාම පිළිබඳව පුළුල්ව සාකච්ඡා කෙරුණු අතර කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා සහ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ ජවීඩ් යුසුෆ් මහතා විසින් රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී.

මෙහිදී, අදහස් දැක්වූ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර ජයසේකර මහතා පැවසුවේ වර්තමානය වනවිට රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කරමින් එම අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම බෞද්ධ සංගමය වන කොළඹ තරුණ බෞද්ධ සංගමය “එක් හඬක් – සුරක්ෂිත රටක්“ ස්වාධීන ජාතික බලවේගය නිර්මාණය කළ බවයි. “අපි හිරවී සිටින සාම්ප්‍රදායික ක්‍රම වලින් ඔබ්බට ගොස් රට නිසි මාවතට ගෙන එන්නේ කෙසේදැයි ජනතාව දැනුවත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව ලෙස ඔබට යුතුකමක් තිබෙනවා. රට ගොඩනැගීම සඳහා අවශ්‍ය වන සමාජ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකර අපේ රටේ බොහෝ දෙනෙකු ඡන්දය පාවිච්චි නොකිරීම ගැටලුවක්. බොහෝ දෙනෙකු දේශපාලන පක්ෂ, පාට වලට බෙදිලයි ඉතාමත් වැදගත් මැතිවරණ වලදී ඡන්දය පාවිච්චි කරන්නේ.“ යනුවෙන් මෙහිදී ජයසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳා ගැනීම සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමය විසින් කරුණු 04 කින් යුතු ප්‍රතිපත්තියක් එළිදක්වා තිබෙන අතර මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා පසුගිය කාලයේදී ශ්‍රී ලංකාව පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීය.  “සමාගමක අභ්‍යන්තර පද්ධතිය නොසලකා එය පාගාගෙන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය කටයුතු කළොත් එම පද්ධතිය කඩා වැටෙන බව ව්‍යාපාරික ප්‍රජාව විදිහට ඔබ හොඳින්ම දන්නවා. රටක් ගත්තත් තත්ත්වය ඒකමයි. රටක නායකයින් නීති සහ අධිකරණ පද්ධතියට උඩින් වැඩ කරනවා නම් ඒ රටේ නීතියේ ආධිපත්‍යය අනිවාර්යෙන්ම බිඳ වැටෙනවා. ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නෙ මේකමයි. අපේ රටේ ඇතැම් නායකයින් අඛණ්ඩවම නීති සහ අධිකරණ පද්ධතියට උඩින් වැඩකරමින් ඉන්නවා.  මේ නිසා, නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබෙනවා. මේ තත්ත්වය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වර්ධනයට බාධාවක්. මේ නිසා, දුප්පත්කම සහ විරැකියාව වැඩිවෙනවා. මේ නිසා, ජනතාව මේ තත්ත්වය තේරුම් අරගෙන නායකයින්ට වගකීමෙන් කටයුතු කිරීමට බලකළ යුතුයි. වර්තමාන නායකයින් ජනතාවගේ හඬට කන්දීමට සූදානම් නොවන්නේ නම් ජනතා හඬට කන්දෙන අලුත් නායකත්වයක් ඉදිරියේදී පත්කර ගනීවි.“ යනුවෙන් ජයසේකර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වාර්ෂිකව අ.පො.ස උසස්පෙළ විභාගයෙන් පසුව තරුණ දරුවන් 200,000 ක් පමණ කුසලතාවයක් නොමැති ශ්‍රමිකයින් ලෙස ශ්‍රම වෙළඳපොළට එක්වන බවයි. මෙම දැවෙන ප්‍රශ්නයට මේ දක්වා කිසිදු දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු විසඳුමක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.

මෙහිදී, අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානයේ ජවීඩ් යූසුෆ් මහතා පැවසුවේ බොහෝ දේශපාලන නායකයින් සාමාන්‍යය මහජනතාවගේ හඬට වඩා ව්‍යාපාරික නායකයින්ගේ හඬට වඩාත් සවන් දෙන බවයි. මේ නිසා, රටේ ඉදිරිගමන වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට විශාල අවස්ථාවක් තිබෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එසේම, ශ්‍රී ලංකාවේ මේ වනවිට පිළිකාවක් තරම් ඔඩු දුවා තිබෙන වංචාව සහ දූෂණය වැලැක්වීම සඳහා ව්‍යාපාරික ප්‍රජාව විසින් ප්‍රමුඛ දායකත්වයක් දැක්විය යුතු බවද හෙතෙම මෙහිදී පැවසීය.

“රටක් විදිහට අපි විසින් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කළ යුතුයි. බොහෝ දෙනෙකුට ප්‍රජාතන්ත්‍රවාදයේ අගය තේරෙන්නෙ නෑ. මැතිවරණ වලදී රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව ගෙදර යැවීමේ අවස්ථාව රටේ ජනතාවට හිමි වෙනවා.“ යනුවෙන් යූසුෆ් මහතා මෙහිදී කීය.

මෙම අවස්ථාවට ව්‍යාපාරික නායකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර හිටපු යුධ හමුදාපති, ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද මෙම අවස්ථාවට එක්විය.

– කොළඹ තරුණ බෞද්ධ සංගමය

27,602 Viewers

2 Comments to “රටක නායකයින් පන්නන හැටි තරුණ බෞද්ධයෝ කියති..”

  1. Rohan says:

    I workd under this man. Bull shit he himself a dictator.

  2. වැඩ්ඩා says:

    ඔය සංගමයෙ සභාපති තිලන්ගගෙ අයිය නේද. ඒක බුකී පවුලක්. නැත්තං මේක අලුතින් අටවගත්ත එකක්ද.

Main News