රටම ඉල්ලන්නේ ගෝටාභයයි.. මමත් ඒ මතයේයි.. ගෝටාභයගේ වේදිකාවේ නගින්න සූදානම්..- WDJ

May 21, 2018 at 12:02 am | lanka C news
රටම ඉල්ලන්නේ ගෝටාභයයි.. මමත් ඒ මතයේයි.. ගෝටාභයගේ වේදිකාවේ නගින්න සූදානම්..- WDJ

ඔබ ඇතුළු ශ්‍රී ල.නි.ප මන්ත්‍රිවරු 16 දෙනා මහා ලොකු ගැම්මකින් විපක්ෂයේ වාඩි වුණාට දැන් හිතෙනවද කරගත්තු මෝඩකමක් කියලා?

නෑ.නෑ.නෑ. අපි, ආණ්ඩුවෙන් ඉවත් වුණාට පස්සේ විශාල මහජන ප්‍රතිචාරයක් දැන් තියෙනවා. ඒ තමයි ආණ්ඩුවෙන් ඉවත්වීම හොඳයි කියලා. මොකද ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථකයි. අපි අවුරුදු 2ක වැඩපිළිවෙළකට ගියේ. අවුරුදු දෙක අවසන් වෙද්දී අපිට පැහැදිලි වුණා ආණ්ඩුව අසාර්ථක බව. රට සම්පූර්ණයෙන්ම අගාධයකට යන බව. ඒ නිසා අපි ඉවත් වන බව ජනපතිට දැනුම් දුන්නා.

ඇත්තටම එදා එතුමාගේ උත්තරය මොකක්ද?

එතුමා කිව්වා දෙසැම්බර් වෙනකම් ඉන්න කියලා. අපි දෙසැම්බර් වෙනකම් හිටියා. ඒ එක්කම ආවා පළාත් පාලන ඡන්දෙ. ඒ වෙලාවේ අපි තීන්දු කළා දැන් පක්ෂයෙන් යෑම මේ වෙලාවේ සුදුසු නෑ කියලා. මොකද අපි පක්ෂයට ආදරෙයි. එක්සත් ජාතික පක්ෂයට නොයෑමයි අපි අනුමත කරන්නේ. ප්‍රතිඵලය මොකක් වුණත් පළාත් පාලන මැතිවරණයට අපි මුහුණ දෙමු කියන අදහසට ආවා. එහෙම මුහුණ දීලා තමයි අපි ඊළඟට තීන්දු කළේ ආණ්ඩුවෙන් යන්න. ඒකට අපි පාවිච්චි කළේ අගමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම. එය ඇත්ත වශයෙන්ම ගෙනාවේ එජාපයේ ඇතැම් අයගේ යෝජනාවක් විදිහට. ඊළඟට ඒකාබද්ධ විපක්ෂයත් මීට සම්පූර්ණ සහාය දුන්නා. අපිත් කිව්වා එකඟයි කියලා.

ශ්‍රී ලනිපයට ආදරෙයි කියලා එකට මැතිවරණයට ගියාට විශ්වාසභංග යෝජනාවේදී ඔබේ පක්ෂය දෙපැත්තට බෙදුණා?

ඒ ගැන පක්ෂයේ සාමාජිකයන්ට නිදහසේ තීන්දු ගැනීමේ ඉඩකඩ ජනාධිපතිතුමා ලබා දුන්නා. එය පක්ෂයේ පැවැත්මට ඉතා හානිකර බව මට තේරුණා.

එතනදී එජාපයට පක්ෂව ශ්‍රී ලනිපයේ ප්‍රධානීන් දෙන්නෙක් කටයුතු කළා. ඒ දෙදෙනා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන පක්ෂයේ සමහර අයට ඒත්තු ගැන්නුවා මේ විශ්වාසභංග යෝජනාවට ඡන්දෙ දීම වැරැදියි කියලා. ඒ වගේම එජාපයෙන් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන්න හිටිය පහළොවකට, විස්සකට අපි දැන්නුවා එය ජයග්‍රහණය කරවීම අවිනිශ්චිතයි. එවැනි අවිනිශ්චිත දේකට දැන් ඕගොල්ලො සහභාගි වුණොත් දේශපාලන වශයෙන් පක්ෂය තුළ යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ නිසා කල්පනාකාරීව තීන්දුවක් ගන්න කියලා. ඒ අනුව ඔවුන් ඡන්දය නොදෙන්න තීරණය කළා.

ඔය කියන ගැටුම් එක්ක කොහොම හරි ඔබලා වසර තුනක් ආණ්ඩුවේ හිටියා. ඊළඟ ආණ්ඩුවට එකතු වෙන්න පැනපු පැනිල්ලක්ද මේ?

නෑ. එහෙම එකක් නෑ. ඊළඟ ආණ්ඩුවට පැනීමට කළ දෙයක් නොවේ ඇත්ත වශයෙන්ම. ආණ්ඩුව අවුරුදු තුන තුළ කරපු ක්‍රියා පටිපාටිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි කියන එක මුල සිටම පෙන්නලා දුන්නා.

ඔබ ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨයෙක්. එක්සත් ජාතික පක්ෂය සමඟ ආණ්ඩු කරන්න බැරි බව දැන දැනම ඇයි එහෙනම් එකතු වුණේ?

ඇත්තටම අපිට හදවතට එකඟව එය අමාරු දෙයක් එජාපය සමඟ එක්වීම. ශ්‍රී ලනිපය කියන්නෙ යූ.එන්.පී.යට ප්‍රතිවිරුද්ධ පක්ෂයක්. ඔවුන්ගේ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්තිවලට බොහෝ දුරට පරස්පර විරෝධීයි.

එහෙම තියෙද්දී අපි එකඟ වුණේ පක්ෂ තීන්දුවක් අනුව සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස යම්කිසි කාලයකට ගමන් කරමු කියලා. පක්ෂ තීන්දුවක් ගත්තම පෞද්ගලික තීන්දුවලට මුල්තැන දෙන්න බෑ.

ඔබත් කැබිනට් මණ්ඩලයේ හිටියා. ආණ්ඩුවේ සිද්ධ වෙච්ච වැරැදිවලට ඔබලාත් වගකිව යුතුයි නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. ඒක තමයි අපි කියන්නෙ. අපි තවදුරටත් ඒ වරදට එහෙම නැත්නම් ඒ වගකීම දරන්න බැරි නිසා තමයි අපි ආණ්ඩුවෙන් ඉවත් වුණේ. ආණ්ඩුව තුළ ඉන්න කාලෙත් අපි ඒවට විරුද්ධ වුණා. රවි කරුණානායක අය වැය ඉදිරිපත් කරපු වෙලාවේ පොහොර සහනාධාරය කැපීමට විරුද්ධ වුණා. මේක කරන්න එපා රටේ කෘෂිකර්මාන්තය විනාශ වෙනවා කියලා. නමුත් ඇහුවේ නෑ. ඒ වගේම ක්‍රමානුකූලව බදු වැඩිකරගෙන යන එකට විරුද්ධ වුණා. යම් යම් සංශෝධන කළා. ඒ සංශෝධන නිසා ඇතිවන විපාක, ප්‍රතිඵල රටට හිතකර විදිහට යොදාගන්න බැරි වුණා.

අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනා ගෙනා මොහොතේ ඔබලා නව අගමැති ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා යෝජනා කළා. අද සිරිපාල ද සිල්වා ඇතුළෙ. ඔබලා එළියෙ?

අගමැති ඉවත් කළ පසු නව අගමැතිකම දෙන්නෙ කාටද කියන එක අපි මතුකළා. ඒ අනුව ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨයා වශයෙන් සැලකෙන නිමල් සිරිපාල මහතාගේ නම ඉදිරිපත් වුණා. නමුත් දැන් ඒ අවශ්‍යතාව නෑනේ. දැන් තියෙන්නෙ අපි 16 දෙනා පුළුවන් නම් අනෙක් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුනුත් ඉවත් වෙලා විපක්ෂයට පැමිණ සන්ධානගත වෙලා ඉදිරියට කටයුතු කරන්න.

විපක්ෂයේ වාඩි වුණු ශ්‍රී ලනිප 16 දෙනා අතරෙත් යම් යම් බෙදීම් හටගෙන තිබෙනවා නේද?

ඇත්ත වශයෙන්ම එවැනි ගැටුමක් නෑ.

ඔබ කළ ප්‍රකාශයකට ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ඔබව හෑල්ලුවට ලක් කරමින් මාධ්‍ය ඉදිරියේ යම් ප්‍රකාශයක් කළා?

ඩිලාන් පෙරේරා ගැන මං නොකිව්වට මුළු රටම දන්නවනේ. ඒවගේම ඩිලාන් පෙරේරා කියන දේවල් ගැන මං ඒතරම් සැලකිල්ලක් දක්වන්නෙ නෑ. ඔහුගේ ප්‍රකාශ එතරම් වැදගත් නෑ මා දකින විදියට.

ඔබ කළ ප්‍රකාශයට ඔහු විරුද්ධ වුණාද?

නෑ යම් කිසි කෂඩ ප්‍රකාශයක් කළා.

ඔබ තවම ශ්‍රී ලනිපයෙද?

ඔව්.

එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඔබලා යම් පුද්ගලයෙක් නම් කර තිබෙනවාද?

නෑ. ඒ ගැන තවම කල්පනා කරලා නෑ. නමුත් දැනට රටේ ජනතාව මම සඳහන් කරපු පරිදි බොහෝ විට කතා කරනවා ගෝඨාභය රාජපක්ෂගේ නම.

ඔබ ඉන්නෙත් ඒ ස්ථාවරයේද?

මම පෞද්ගලිකව ඉන්නෙ ඒ එකඟතාවයේ.

දේශපාලන ජීවිතයේ පරිණත පුද්ගලයකු ලෙස ඔබ විශ්වාස කරනවද ගම් සභාවක්වත් නියෝජනය නොකළ ගෝඨාභය රාජපක්ෂ වැනි පුද්ගලයකුට රටක් භාරගත හැකි වෙයි කියලා?

ගම් සභා නියෝජිතයකුවත් නොවීම මා හිතන්නෙ නෑ නුසුදුසුකමක් කියලා. මොකද ගෝඨාභය රාජ්‍ය සේවයේ බොහෝ වගකීම් දරලා තියෙනවා. ඒ වගේම ඉතාමත් අර්බුදකාරී අවස්ථාවල රටේ සාමය ඇති කරන්න, යුද්ධය අවසාන කරන්න අති විශාල කාර්යභාරයක් ඔහු කළා. ඊළඟට සංවර්ධන කටයුතුවලදී ඔහුගේ දක්ෂකම් හොඳින්ම පෙන්නලා තියෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන්. කිසිම කෙනෙක්ට කරන්න බැරි වුණු වැඩ කොටසක් ඔහු රට පුරාම කරලා තියෙනවා.

ශ්‍රී ලනිපයේ මහ ලේකම් දුමින්ද දිසානායක කියන්නේ ඊළඟ ජනපති අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන මහතා කියලා. ඔබ වෙන කෙනෙක් ඉදිරිපත් කරන්නෙ ඇයි?

ඒක එයාගේ අදහස වෙන්න පුළුවන්. ඒක එයාගේ අයිතිය. පෞද්ගලික අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. මා ඉදිරිපත් කළේ මගේ පෞද්ගලික මතය.

නමුත් එකම පක්ෂයේ ඉඳගෙන කොහොමද අපේක්ෂකයන් දෙතුන් දෙනෙක් ඉදිරිපත් කරන්නෙ?

නෑ. මේක වෙලා තියෙන්නේ දැනට 2020 ජනාධිපති අපේක්ෂකයෙක් පක්ෂය විසින් තෝරලා නෑ. පක්ෂය විසින් අහවල් අපේක්ෂකයාට සහාය දෙනවයි කියලා තීන්දු කරලත් නෑ.

එහෙම වුණත් රටේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ 2020 ජනපති අපේක්ෂකයා ගැන?

ඔව්. ඒ සම්බන්ධ ලොකු ආන්දෝලනයක් තියෙනවා. ඒ අවස්ථාවේදී නොයෙක් දෙනා අදහස් ඉදිරිපත් කරනවා.

ඉදිරියේදී ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රිවරයත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවල දකින්න ලැබෙයි එහෙනම්?

ඔව්. අනිවාර්යයෙන්ම.

ඔබ ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළා මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට සහාය දෙන බව. ඔබලාගේ මන්ත්‍රිවරු 16ට අමතරව තව ආණ්ඩුවෙන් ඉවත්විය හැකියි කියන කොටසක් ඉන්නවද?

එහෙම ඉන්න පුළුවන්. මොකද ඒ විදිහෙ සාකච්ඡාවල නිරත වෙච්ච කොටසක් තවම ආණ්ඩුවේ ඉන්නවා. ඒ අය ආණ්ඩුවෙන් යා යුතුයි කියන මතයෙ කොටස්කාරයෝ. නමුත් විශ්වාසභංග යෝජනාව වෙලාවෙ ඒගොල්ලො ඡන්දෙ දීමෙන් වැළකිලා හිටියා.

එහෙම පිරිසක් ආණ්ඩුවට විරුද්ධව පැත්ත මාරු කරන්නෙ කොහොමද?

යම් යම් අයගේ බලපෑම් හා යම් යම් අයගෙ ඉල්ලීම් පිට, යම් යම් කරුණු සලකලා බලලා ඒ අය තීන්දු ගත්තා වෙන්න පුළුවන්.

ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙ අඩංගුව ගත්තොත් එයින් සංඥා කළේ ඉතිරි වසර එකහමාරත් මේ ආණ්ඩුව මේ ප්‍රතිපත්තිම ඇදගෙන යෑමක් බවට ප්‍රබල චෝදනාවක් මතුවුණා. ඔබට එය දැනුණෙ කොහොමද?

නෑ. ඒ කතාවේ ඇත්ත වශයෙන්ම එතුමා කරපු දේවල් ගැන තිබුණා. ඒක බොහොම මධ්‍යස්ථව කරපු කතාවක්. ඒ වගේම ඉදිරි කාලෙදි මෙන්න මේ වැඩපිළිවෙළ ගෙනියනවයි කියලා පැහැදිලි විවරණයක් තිබුණෙ නෑ.

ඒක නිසා ඉදිරි කාලෙදි එතුමා කොයි විදිහට වැඩ කරනවාද කියන එක රාජාසන කතාවේ අනුසාරයෙන් අපිට කියන්න බෑ. නමුත් එතුමගෙ අදහසක් තිබෙන බව දන්නවා.
මේ එජාප – ශ්‍රී ලනිප හවුල හින්දා ජනාධිපතිවරයා හිරවීමකට ලක්වෙලාද යම්, යම් අවස්ථාවල?

එතුමයි, එජාපයයි අතර බොහෝ විට පස්පර විරෝධී අදහස් තියෙනවා. විවිධ ගැටුම් ඇති වුණා. විශේෂයෙන්ම ආර්ථිකය මෙහෙයවීම් කටයුතුවලදී එතුමගේ අදහස් යූ.එන්.පී. අදහස් අතර පටහැනියි. රටේ සම්පත් විදේශයන්ට විකිණීමේදී එතුමගේ සංශෝධනයන් දැඩිව ගෙනාවා.

එවිට එතුමාට ඒ සහාය අපි දුන්නා. කෙසේ නමුත් අපි තේරුම් ගන්නට ඕනෑ මේ ආණ්ඩුව ගෙන යෑමේ පූර්ණ වගකීම තියෙන්නේ ජනාධිපතිතුමාට. රටේ ජනතාව එතුමාට තමයි ජනවරම දීලා තියෙන්නේ. එය ක්‍රියාත්මක කිරීම එතුමාගේ වගකීම. ඒ නිසා තමයි අපි කිව්වේ මේ ආණ්ඩුවට එරෙහිව යම් යම් අදහස් තීරණ දරන අය ඉන්නවා නම් ඒ අය ඉවත් කරලා මේ ආණ්ඩුව යහපත් ආණ්ඩුවක් වශයෙන් ගෙන යෑමට අවශ්‍ය පියවර ගන්න කියලා.

පක්ෂ ජේ‍යෂ්ඨයන් වශයෙන් ගත්තොත් ජනාධිපතිවරයාට යම් බලපෑමක් කරන්න බැරි ඇයි?

අපි නොයෙක් විට කියලා තියෙනවා.

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට අදාළ 20 වැනි සංශෝධනය ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි. ඔබේ ස්ථාවරය මොකද්ද?

පක්ෂයක් වශයෙන් ශ්‍රී ලනිපය නිගමනයකට ඇවිල්ලා තියෙනවා විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි කියලා. රටේ ඒකීය භාවය, ඒ වගේම සමස්තයක් වශයෙන් රටේ තිබෙන මේ සංයුතිය ආරක්ෂා කළ යුතුයි කියන නිගමනයට ශ්‍රී ලනිපය පැමිණිලා තියෙනවා. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයටත් ශ්‍රී ලනිපයටත් මේ කාරණය වරින් වර ඉදිරිපත් කර තිබෙනවා. එතකොට අද මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෑ කියලා කියමින් සිටි හුඟක් කොටස් මේ වන කොට ඒ අදහස වෙනස් කරලා ඒ තනතුර තබාගත යුතුයි කියන මතයේ ඉන්නවා.

නමුත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සිට ප්‍රතිපත්තිය වුණේ විධායකය අහෝසි කිරීම නේද? පක්ෂ ප්‍රතිපත්ති නේද මේ බිඳින්නේ?

නෑ. රටක පාලනය වෙද්දී දේශපාලනඥයෝ කටයුතු කරද්දී අපි දීර්ඝ කාලීන අත්දැකීම්, පළපුරුද්ද අනුව, ඒ වගේම සිදුවන කරුණු විශ්ලේෂණය කිරීමේදී අපිට යම් යම් තීන්දු තීරණ වෙනස් කරන්න වෙනවා. යම් යම් සංශෝධනයන්ට යටත් කරන්න වෙනවා. අපි එදා 13 වැනි සංශෝධනයටත් විරුද්ධ වුණා.

එතකොට 13 වැනි සංශෝධනයට අද අපි එකඟතාව පළ කරලා තියෙනවා. 13 වැනි සංශෝධන විධි විධාන අනුව අපි කටයුතු කරනවා නම් අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති ධුරය තිබිය යුතුයි කියන එකඟතාවට පක්ෂය ආවා දීර්ඝ සාකච්ඡාවකින් පසු.

13 වැනි සංශෝධනය ගෙනාවේ 1987. දැන් වෙද්දී ඒ තර්කය වලංගු නෑ නේද?

1987 වෙනකොට 13 වැනි සංශෝධනයට ශ්‍රී ලනිපය විරුද්ධ වුණා. ඒ වෙලාවේ ඇත්ත වශයෙන්ම අධිකරණයට මේ කාරණය යොමු කළාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශේ්‍රෂ්ඨාධිකරණයට යොමු කළා. ශේ්‍රෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන යොමු කරපු වෙලාවේ විනිශ්චයකාරවරු 9 දෙනකුගෙන් යුක්ත විනිශ්චයකාර මණ්ඩලයක් විසින් මේ කාරණය විශ්ලේෂණය කළා. එහිදී මේ කාරණයට 4 දෙනෙක් කිව්වා මෙය රට බෙදීමට හේතු වෙනවා කියලා. 4 දෙනෙක් කිව්වා රට බෙදීමට හේතු වෙන්නේ නෑ කියලා. එතැනදී පාලිත රණසිංහ කියන විනිශ්චයකාරවරයා කිව්වා මොකද එයාගේ ඡන්ද තමයි තීරණාත්මක ඡන්දෙ. එයා කිව්වා මේ රට පළාත් සභා ඇති කරන නිසා රට බෙදනවායි කියන බයක් රටේ ඇතිව තිබෙනවා. නමුත් ඒ සභා 9ටම තමුන්ගේ නියෝජිතයෝ පත් කරලා තමුන්ගේ විධායක බලය යම්කිසි ප්‍රමාණයකට ක්‍රියාත්මක කරන්න. ඒ තුළින් ජනාධිපතිට හැකියාවක් තිබෙන විධි විධාන මේ පනතේ තියෙන නිසා මම මේ රට බෙදයි කියන බය නැති කරගෙන මං මෙයට අනුමැතිය දෙනවා කිව්වා. ඒ කියන්නේ විධායක ජනපති ක්‍රමය තිබුණොත් රට බෙදන්න හැකියාවක් නෑ.

මේ වන විට ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබෙනවා. 2020 වෙද්දී රටට කොයි ආකාරයේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද? ඇයි ඔබලා නිහඬ?

මට පේන විදියට ඇත්ත වශයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණය ඒකට සාධකයක්. ඒ මැතිවරණයේ ඡන්ද දීමේදී සියලු දෙනා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලනිපය දෙකට බෙදිලා තියෙන නිසා පක්ෂයේ ක්‍රියාකාරීත්වය දුර්වල මට්ටමකට වැටේවි, ඒ නිසා ඒ උඩ එජාපය විශාල ලෙස දිනයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමා අති විශාල ලෙස ඡන්ද ලැබුණෙ. මේකෙන් පෙනුණා අති විශාල ලෙස ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ බව. ජනතා මතය ගමන් කරන ආකාරය සක් සුදක් සේ පැහැදිලියි. රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් අවුල් වුණා. ඒ වගේම රටේ විරැකියාව විශාල වශයෙන් වැඩි වෙලා. උපාධිධාරීන් 50,000ක් පමණ විරැකියාවෙන්. උපාධිධාරීන්ට රැකියා දෙන්නේ දේශපාලනයෙන්. එජාප මන්ත්‍රිවරුන්ගේ ලැයිස්තු අරන් තියෙනවා. දැන් ඒක සිදුවෙනවා අරලියහගහ මන්දිරයේ.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 15,000කට ආසන්න මුදලක් අහිමි වූ බව වාර්තා වුණා. හිටපු කම්කරු ඇමැති ලෙස ඔබ මීට මැදිහත් වුණාද?

මේ කාරණය අපි රජයට ඉදිරිපත් කළා. ඡ්ර්ථීජ් සල්ලි මිලියන 11,000 ගණනක් ගැන මං වාර්තාවක් ඉල්ලුවා. ලැබුණේ නෑ ඇමැතිකමින් ඉවත් වන තුරු. ඒ ගැන වෘත්තීය සංගම් අවධානයෙන් ඉන්නේ.

අනුරාධා හේරත්
– mawbima

26 views

6 Comments to “රටම ඉල්ලන්නේ ගෝටාභයයි.. මමත් ඒ මතයේයි.. ගෝටාභයගේ වේදිකාවේ නගින්න සූදානම්..- WDJ”

  1. sirimal says:

    Sorry John, you better stay with Mr Sirisena. SLPP is rich with new talents. Anyway thank you, but not thank you John.

  2. channa says:

    Gota cannot win if Sajith comes in.. … 100% sure
    Sajith will be people’s president and Gota is a Amercian. We are not fools !!!

  3. Upul says:

    One of a political prositute…

  4. karu 1 says:

    Well said. Appreciate. We need over 70% of sinhala votes if we want to get elected Gota as president. This is the challenge ahead of us. will we be able to do it? yes we can. Every patriotic person has role to play this time. Your vote is not enough. At least convince 3- 5 people around you to vote for Gota. WE SHOULD DO THIS. This is for our country’s future.

  5. මෛත්‍රී says:

    අනෙ පලයන්. තොපි සිරා එක්ක රට පාවලාදුන්නා. දැන්කෙලවෙනකොට පස්සෙන් එනවා. තොපිට ජනතාවගෙ පාඩමක් උගන්නයි. කාලකණ්ණි

  6. කුමා says:

    රටේ දේශපාලනයේ. බොරුකාරයෝ.. පාවා දෙන්නෝ. දෙපිටකාට්ටුවො… හොරු.. වංචා කාරයෝ.. කොටින්ම රටට අදරය නැති.. හානිකර මිනිස්සු ගෙදර යවීමටත්.. රටට හිතකර.. බුද්ධිමත්.. හොඳ නායකයෝ තෝරා ගැනීමේ පූර්ණ වගකීම.. රටේ ජනතාව සතුයි……

Main News