රටම මළගෙයක්ව තිබියදී ඒකාධිපති නීති සම්මත කරන්න යයි…

May 1, 2019 at 4:40 pm | lanka C news
රටම මළගෙයක්ව තිබියදී ඒකාධිපති නීති සම්මත කරන්න යයි…

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් රටම මළගෙයක්ව තිබියදීත් ආණ්ඩුව ඒකාධිපති පන්නයේ අණපනත් සම්මත කරගනිමින් තමන්ගේ බලය රැකගැනීමේ උත්සාහයක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කළේය.

මේ ප්‍රහාරයත් සමඟ රටේ ජනමතය සම්පූර්ණයෙන් වෙනස් වී ඇතැයි හොඳින් දන්නා ආණ්ඩුව ඉදිරි මැතිවරණ කල්දැමීමට සූදානම් වන බව පැවසූ රණතුංග මහතා එම උත්සාහයට එරෙහි විය හැකි විපක්ෂයේ බලවේග මර්දනය කිරීම සඳහා ප්‍රතිත්‍රස්ත පනත හොර පාරෙන් සම්මත ගැනීමට ආණ්ඩුව උත්සහ දරන බවත් ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ තරුණ සංවිධානයේ නියෝජිත පිරිසක් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුව අසාර්ථක ආණ්ඩුවක් බව අපි කිව්වේ 2015 ඉඳලයි. ආණ්ඩුව මෙහෙයවන පුද්ගලයන්ගේ දුර්වලකම් වගේම රටේ අතිශය වැදගත් තනතුරුවලට පත් කරපු පුද්ගලයන් දිහාත් බැලුවම ආණ්ඩුවේ තරම අපිට පෙනුණා. ආණ්ඩුවත් දවසින් දවස තමන්ගේ අසාර්ථක බව ලෝකයට පෙන්නුම් කළා.

ඒ අසාර්ථක බවේ උච්චතම අවස්ථාව තමයි පාස්කු ඉරිදා ප්‍රහාරය. බුද්ධි අංශ තොරතුරු ලැබිලා තිබියදීත් මේ ප්‍රහාරය වලක්වා ගන්න ආණ්ඩුව අසමත් වුණා. ඒ වගේම ප්‍රහාරයෙන් පසුවත් අදාළ පියවර ගන්නා විට ආණ්ඩුව අසමත් වුණා. මේ වගේ අසාර්ථක ආණ්ඩුවක් අපේ රටේ ඉතිහාසයේ තිබිලම නැහැ.

ඉස්ලාම් අන්තවාදය රටේ ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබියදීත් ආණ්ඩුව රාජපක්ෂ දඩයමේ නියැළුණා මිසක් ජාතික ආරක්ෂාව තහවුරු කළේ නැහැ. අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විහිලු කතා දිහා බැලුවම පේනවා මේ ප්‍රහාරය ආණ්ඩුව සෙල්ලමකට අරගෙන තිබෙන බව.

ජාතියේ අවාසනාවට ඉපදුණු මංගල සමරවීර කියන පුද්ගලයා මේ දවස්වල හැසිරෙන ආකාරය දිහා බැලුවම පේනවා ආණ්ඩුවේ තරම. මංගල තමයි රටේ බුද්ධි අංශ දඩයම් කරන්නට පාර කපලා ජාත්‍යන්තරයට ඕනෑ විදියට ජාතික ආරක්ෂාව විනාශ කිරීමේ ප්‍රමුඛයා. මංගල කිසි දවසක රටටවත් ජාතියටවත් ආදරය කරපු මිනිහෙක් නෙමෙයි.

මෙපමණ විපතක් වෙලා ජාතියම හැඩූ කඳුලින් ඉන්න වෙලාවේ මංගල කියනවා මේ වෙච්ච දේ එකම හොඳකුත් තියෙනවා, මේක නිසා අපට ලොකු මුදලක් පිටරටින් ලැබෙනවා කියලා. තමන්ගේ රටේ අහිංසක මිනිස්සු ගැන අබමල් රේණුවක කැක්කුමක් තියෙන මිනිහෙක් කියන කතාවක්ද මේක?

රටේ වගකිවයුතු ඇමැතිවරයකු වශයෙන් මංගල ලැජ්ජා විය යුතුයි මේ ප්‍රකාශය ගැන. මුදල් ඇමැතිවරයකු වශයෙන් අතිශයින් අසාර්ථක වෙලා ඉන්න මංගලට කොහෙන් හරි රටකින් සල්ලි ටිකක් ලැබිලා එදාවේල දුවාගන්න ලැබෙන එක ලොකු දෙයක් වෙන්න ඇති. හැබැයි මේ වගේ ශෝකජනක සිද්ධියක් විකුණලා මුදල් හොයන එක අපට අනුමත කරන්න බැහැ.

අනික් පුද්ගලයා තමයි අගමැතිවරයා. රනිල්ට ඕනේ මේ වෙලාවේ බලය රැකගන්න විතරයි. රනිල් හොඳටම දන්නවා මේ සිද්ධියත් සමඟ යහපාලනයට ඡන්ද දුන්න මිනිස්සු පවා ද ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන බව. ඒ නිසා හොඳින් හෝ නරකින් බලය රැකගන්න රනිල් දන්න කියන දහං ගැට සේරම ගහනවා. ප්‍රතිත්‍රස්ත පනත ගේන්න හදන්නෙත් මේ රට අන්තවාදීන්ගෙන් බේරගන්න නෙමෙයි තමන්ගේ අගමැතිකම බේරගන්නයි.

ශිෂ්‍ය ව්‍යාපාර, වෘත්තීය සමිති මර්දනය කරන්න රනිල්ලා එකතුවෙලා හදපු පනත තමයි ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ. රටම මළ ගෙයක් වෙලා තියෙන වෙලාවේ අස්සෙන් රිංගලා ගිහින් මේ පනත ක්‍රියාත්මක කරගන්න හදන්නේ ඉස්සරහට තියෙන මැතිවරණත් කල්දාලා ඒවට විරුද්ධ වෙන විපක්ෂයේ බලවේග මර්දනය කරන්නයි.

දැන් මේ ආණ්ඩුවේ කාලය ඉවරයි. වැඩ බැරි ආණ්ඩුව දැන් ගෙදර යන්න ඕනේ. ආර්ථිකය වගේම ආරක්ෂාවත් විනාශ කරපු ආණ්ඩුවට තවදුරටත් බලයේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. මේ ඇමැතිවරුන්ට රෙද්දක් ඇඳගෙන ඇමැතිකම්වල ඉන්න අයිතියක් නැහැ. ඒ නිසා වහාම මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනේ.

– ප‍්‍රදීප් අනුර කුමාර

103 views
Main News