රටේම අල්ලස් දුෂණ හොයන අල්ලස් කොමිසමේ ලොක්කන්ටත් ප‍්‍රබල දුෂණ චෝදනා.. බෙන්ස් කාර්ද ගෑවේ..

September 11, 2018 at 2:10 pm | lanka C news
රටේම අල්ලස් දුෂණ හොයන අල්ලස් කොමිසමේ ලොක්කන්ටත් ප‍්‍රබල දුෂණ චෝදනා.. බෙන්ස් කාර්ද ගෑවේ..

අල්ලස හා දුෂණය ගැන කියන්න තියෙන කොමිෂන් එකෙන් දුෂණයන් සිදු වෙනවා නම් අපි කාටද කියන්න ඕනේ යනුවෙන් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා මාධ්‍ය හමුවකදී ප්‍රශ්ණ කලේය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා,

අපිට පහුගිය දවසේ මේ රටේ කීර්තිමත්ම ආයතනයක් ලෙස පැවතිය යුතු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විශාල දුෂණ ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් වුනා. අද අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් එකේ ඉහලම ඉන්න අධ්‍යක්ෂක ජනරාල් තුමා සහ තවත් කොමසාරිස්වරු දෙදෙනෙක් මිලියන හතර හමාරක අලුත්  මර්සිඩින්ස් බෙන්ස් රථ තුනක් කුලී පදනම මත ලබා ගෙන තිබෙන බවට අපිට වාර්තා වුනා. මෙම මෝටර් රථ ඔවුන් ලබාගෙන තිබෙන්නේ අති නවීන වර්ගයේ වාහන තුනක් මේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාගේ සහ කොමසාරිස් වරු දෙදෙනාගේ පාවිච්චියට කොමිසම විසින් ලබා දී තිබියදී වීම මෙහි අවලස්සනම තත්වයයි. ඒ වගේම මේ මෝටර් රථ ක්‍රියා කරන්නේ විදුලි බලයෙනි. නමුත් අපි පැහැදිලිව කියනවා මේ බෙන්ස් රථ සඳහා මේ නිලධාරීන් තුන් දෙනා ඉන්ධන දීමනාවකුත් ලබා ගන්නවා. ඒ වගේම මේ නිලධාරීන් මෙම මෝටර් රථ චාර්ජ් කර ගැනීමට  කොමිෂන් සභාවේ විදුලි බලයද පාවිච්චි කරමින් ඉන්නවා.

අපි අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ බලාපොරොත්තු වන්නේ රටේ අනෙකුත් සියලුම ආයතන වලට ආදර්ශයක් වන ආකාරයේ හැසිරීමක්. නමුත් මේ නිලධාරින් හැසිරෙමින් ඉන්නේ “වලන් කඩේට පැනපු ගොන්නු” වගේ. අද මේ කොමිෂන් සභාවේ දුෂණ හොයන්න වෙලා තියෙන්නේ අපිට වීම ඉතාම කණගාටුදායක තත්ත්වයක් ලෙස මම දකිනවා.

අද කොමිෂන් එකේ එක කොමසාරිස් වරයෙක් ඉන්නවා විනෝදාංශයට පිටරට සවාරි යනවා. ඔහු පිටරට යන්නේ පලවෙනි පන්තියේ හෝ ව්‍යාපාරික පන්තියේ හෝ ගුවන් ටිකට් පත් ලබාගෙන. මේ නිලධාරියා රට ගිහින් මොනවද කරන්නේ. අපිට ලැබෙන ආරංචි අනුව එම නිලධාරියා තමන්ගේ දූ දරුවන්ට හා මුණුබුරු මිනිබිරියන් ටොෆි චොකලට් සහ රට කිරිපිටි ගෙන එම සඳහා මෙසේ යන බව කොමිෂමේ රාජකාරි කරන අයගෙන් අපට දැනගන්නට ලැබුණි. මෙවැනි නිලධාරීන්ට මෙසේ පිටරට සවාරි යාමට වියදම් කරන්නේ මේ  රටේ බදු ගෙවන අහින්සක මිනිස්සුන්ගේ සල්ලි වීම තමයි අපට තිබෙන ප්‍රශ්නය. ඒ වගේම තවත් නිලධාරියෙක් අල්ලස් කොමිෂම ඇතුලේ අනඟ රැඟුම් පෙන්වමින් පෙම්වතාගේ චරිතයට පන පොවනවා කියලත් අපට ආරංචි ලැබෙමින් තියෙනවා. රටේ ආදර්ශමත්ම විය යුතු ආයතනයක නිලධාරින් මෙසේ සූරයන් අතර වීරයන් සේ හැසිරීම ඉතාම පිළිකුල් සහගතයි. ඒ වගේම අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමා තමන්ගේ කාර්යාලය අලුත් වැඩියා කර ගැනීමට රුපියල ලක්ෂ 60ක් 70ක් වියදම් කරන්න යනවා කියලත් අපට අරංචි ලැබෙමින් තිබෙනවා. අපි මේ දවස් වල හොයමින් ඉන්නවා ලෝකේ තව කොහේ හරි රටක මේ වගේ අයුතු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂමක් තියෙනවද කියලා.

තව දුරටත් අදහස් දැක්වූ ගුණරත්න මහතා මෙසේද කියා සිටියේය.

මම කියන්න කැමති ගල් අඟුරු ටෙන්ඩර් සම්බන්දයෙන් මා විසින් අල්ලස් දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්  මීට කාලෙකට කලින් කරණු ලැබුවා. එක්තරා සමගමකට ගල් අඟුරු ටෙන්ඩර් ලබා නොදෙන ලෙසට සුප්‍රීම් උසාවියේ නඩු තීන්දුවක් තියෙනවා. මෙම නඩු තීන්දුවෙන් පසුව එකී නඩු තීන්දුව තුට්ටුවකට මායිම් නොකළ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කොට යහපාලන ආර්ථික කමිටුවට අදාළ සංදේශය යොමු කිරීමෙන් පසුව නැවත වරක් ඉහත කී තහනම් කරන ලද සමාගමට ගල් අඟුරු ටෙන්ඩර් ලබා දීමට කටයුතු කලා. මේ රටේ අධිකරණය දුන් තීන්දුවක් කඩ කිරීම සම්බන්දයෙන් සහ අදාළ ගනුදෙනු වල තිබෙන විනිවිධභාවය සොයා බලන ලෙස මා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා. මීට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන්ගේ විමර්ෂණ අවසන් කොට වැඩිදුර විමර්ෂණ කටයුතු පවත්වන ලෙස මම අල්ලස් කොමිෂමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද දන්වා තිබේ. එහෙත් මේ වන තෙක් මෙම පරීක්ෂණ  කටයුතු වලට කුමක් සිදු වී තිබේද යන්නෙන් හෝ එම පරීක්ෂණ කටයුතු කුමන අදියරක තිබේද යන්නෙන් හෝ දැනුම් දීමක් සිදුකොට නැත. මම අහන්න කැමති, මේ සුරසැප හොයන නිලධාරීන් ඉන්න කොමිෂමෙන් මගේ පැමිණිල්ලට මොකද උනේ කියලා. රටේම අල්ලස් දුෂණ වංචා හොයන්න ඉන්න මේ නිලධාරින් මීට වඩා කැපවීමෙන් සහ ආදර්ශමත්ව වැඩ කළ යුතුයි යන්න මගේ අදහසයි. අපේ ගම් වල කියමනක් තියෙනවා “වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව” කියලා. ඒ නිසා ඒ කතාවම මම කැමැති අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් තුමා ඇතුළු අනෙකුත් සුරසැප විඳින නිලධාරීන්ට මතක් කරන්නට යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

කිර්ති දුනුවිල
ප්‍රචාරක ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ

199 views

3 Comments to “රටේම අල්ලස් දුෂණ හොයන අල්ලස් කොමිසමේ ලොක්කන්ටත් ප‍්‍රබල දුෂණ චෝදනා.. බෙන්ස් කාර්ද ගෑවේ..”

  1. DG of the bribary commission is a welknown Yahapalana Toyya

  2. Rukman Gamage says:

    යහපාලනය කියන්නෙ අහුවෙනා කොහෙන් හරි උලාකෑමයි. සෝමාලියානු කොල්ලකරුවො උන්ගෙ රටේ මිනිස්සුන් ට මීට වඩා යම් සේවයක් කරනව! මේ රට කප්පිත්තෙක් නැති නැවක් වගෙ අයාලෙ යනවා! බලය සහ හඩක් නැති මිනිස්සු කුසගින්නෙ වේලෙනව.

  3. NAK says:

    Why maithree G does not compain to the courts about the violation of its ruling?

Main News