රටේ සංස්කෘතිය, කලාව විනාශ කරන්නයි හදන්නේ.. – ආණ්ඩුවේ හෙල උරුමය අපට කියයි..

November 4, 2016 at 12:40 pm | lanka C news
රටේ සංස්කෘතිය, කලාව විනාශ කරන්නයි හදන්නේ.. – ආණ්ඩුවේ හෙල උරුමය අපට කියයි..

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශිය ඉවත් කිරීමට දරණා උත්සහය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවක්ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි.

එම අවස්ථාවට ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මහජන සම්බන්ධතා හා කලාකටයුතු ලේකම් සුනිමල් ජනරංජන, අධ්‍යාපන කටයුතු ලේකම් බෝසෙත් කළහෙ පතිරණ සහ සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම් සමන්ප්‍රිය මාරසිංහ යන අය සහභාගීවූහ.

මෙහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත්  සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා විසින් අපේ සිංහල සංස්කෘතිය හා කලාව රැකගැනීමට මහත් පිටුබලයක් ලබාදුන් සුදර්ශීය රැකගැනීම සඳහා වූ සසකාවට එරෙහි මෙහෙයුමට ජාතික හෙළ උරුමයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත්  යම් හෙයකින් සුදර්ශී ශාලාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට හෝ විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් යම් තීරණයක් ගෙන ඇත්නම් ඒ තීරණය වහාම වෙනස් කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරය වන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මැතිතුමා –

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශී ශාලාව වසර 62කට වඩා පැරණි දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන සංස්කෘතික හා කලා කටයුතු රාශියකම ආරම්භය සිදුවී කේන්ද්‍රස්ථානයක්. වර්තමාන අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මෑණියන් වන නාලනි වික්‍රමසිංහ මැතිණියගේ දායකත්වයෙන් ඉදිකරන ලද මෙම ස්ථානයේ රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක වැනි වර්තමානයේ දේශපාන ක්ෂේත්‍රයේ නිතර නම් කියවෙන ප්‍රභූන් බොහෝ දෙනෙක්ගේ ළමා කාලයේ නැටුම් ගැයුම් ඉගෙනගෙන තිබෙනවා.

එවැනි පිරිසකට සෞන්දර්ය අත්පොත් තැබුනු මේ ස්ථානයේ දියුණුවට කිසිවකුගේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් අප දැඩි කණගාටුවට පත්වෙනවා. අද බොහෝ දෙනෙක් කථාකරනවා කොළඹ නගරය අපේ රටේ ප්‍රධානම මුල්‍ය නගරයක්, පරිපාලන නගරයක් බවට පත්කරන ආකාරය පිළිබඳව. ලෝකේ සෑම රටක්ම ඒ රටවල් වල පරිපාලන අගනගරය කලා හා සංස්කෘතික නගර බවට පත්කරන්න කටයතු කරලා තියෙනවා. ඒත් අද කොළඹ රටේ පරිපාලන හා මූල්‍ය ක්ෂේත්‍ර වල දියුණුවට වැඩි ඉඩකඩක් වෙන්කර ඇතත් කලා හා සංස්කෘතික අංශයන්ට වෙන්වූ ඉඩකඩ වේගයෙන් හැකිලෙමින් පවතිනවා. ඒ නිසා කොළඹ නගරය අපේ රටේ සංස්කෘතික හා කලා නගරය ලෙස ගොඩනැගීමට නගර නිර්මාණ කරුවන්ගේ හා නගර සැලසුම්කරුවන්ගේ අවධානය වහා යොමුකළ යුතු බවට අප විසින් අවධාරණය කරනවා.

මෑතකදී අපේ විශේෂඥ වෛද්‍යවරුන් පස්දෙනකු වන ළමාරෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ස්නායු ශල්‍ය විශේෂඥ  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ස්නායුරෝග විශේෂඥ නිලුපුල් පෙරේරා, හෘදරෝග  විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ, අක්ෂි ශල්‍ය වෛද්‍ය ශිරන්ති පෙරේරා යන වෛද්‍ය කණ්ඩායම විසින් මැතකදී එළිදක්වන ලද නැණැති දරුවෙක් – පිරිපුන් මිනිසෙක් නැමති කෘතියට අනුව අද වන විට මානසික ආතතියයෙන් පෙලෙන මිනිසුන් සිටින රටවල් අතර අපේ රට ඉදිරියෙන්ම සිටිනවා. ඒ නිසා කලාව සංස්කෘතිය ප්‍රවර්ධනයට මීට වඩා අවධානයක් යොමුකළ යුතුයි. එහිදී ගොඩනැගිලි හදලා විතරක් මදි. කලාකරුවන්ට තම නිර්මාණ කටයුතු සිදුකරගැනීමට නිදහස් පරිසරයක්ද ගොඩනැගිය යුතුයි.

දීර්ඝ ඉතිහාසයක් තිබෙන සිංහල සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශී ශාලාව ජපානයේ සසකාව නැමති රාජ්‍ය නොවන සංවිධානය වෙත විකිණීමට සූදානම් කර ඇති බවට මේ දිනවල තොරතුරු වාර්තාවනවා. මෙම සුදර්ශී ශාලාවෙන් පසුගිය කාලය තුළ විශාල කලාකරුවන් ප්‍රමාණයක් ජාතියට දායාද කරලා තිබෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, සුගතපාලද සිල්වා වැනි නාට්‍යවේදීන් බොහොමයක් තමන්ගේ නාට්‍ය නිර්මාණ කටයුතු සහ පුහුණුවීම් සිදුකර ඇත්තේ මෙම සුදර්ශී ශාලාවේදීයි. ඒ වගේම අපේ රටේ ඉතාමත් කීර්තියට සම්භාවනාවට පත්වුනු නාමෙල් වීරමුණි, මහේන්ද්‍ර පෙරේරා වැනි නාට්‍යවේදීන්, සංගීතඥයින්, නර්තන ශිල්පීන් බොහොමයක මූලාරම්භය වුනේ ඔවුන්ගේ නවාතැන වූයේ සුදර්ශී ශාලාවයි. ඒ නිසා මේ ස්ථානය සංරක්ෂණය කළයුතු  ආරක්ෂා කරගත යුතු වැදගත් ස්ථානයක් බව අපේ අදහසයි. ඒ වගේම යම් හෙයකින් සුදර්ශී ශාලාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට හෝ විකිණීමට කැබිනට් මණ්ඩලය විසින් යම් තීරණයක් ගෙන ඇත්නම් ඒ තීරණය වහාම අහෝසි කළ යුතු බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයයි.

මේ ගොඩනැගිල්ල විකුණන්න හදන්නේ ජපානයේ සසකාවා ආයතනයටයි.  අපිට ජපානය සමඟ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් මේ වනවිටත් මෙම සසකාවා ආයතනයට ගාලුමුවදොර  ආසන්නයේ විශාල ගොඩනැගිල්ලක් තියෙනවා. ඇතමුන් එම රාජ්‍ය නොවන සංවිධානයේ ඉල්ලීමකට අනුව රටේ සංස්කෘතිය හා කලාව විනාශ කරලා ජපන් සංස්කෘතිය මෙරට තුළ ප්‍රචලිත කිරීමට යම් කණ්ඩායමක් විසින් උත්සහ කරන බව අද අපට ඉතා හොඳින් පෙනී යනවා.

සුදර්ශී ශාලාව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට දරණ ලද පළමු උත්සහය මෙය නොවෙයි. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් මෙම ස්ථානයෙහි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂාව සඳහා පොලිස් මුරපොලක් ඉදිකිරීමට උත්සහ කළා. ඊට කාලයකට පස්සේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පාලනාධිකාරිය විසින්ම තමන්ට රථගාලක් ඉදිකිරීම සඳහා මෙම භූමිය ඉල්ලා සිටියා. 2009 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ සමයේදී මෙම ස්ථානය සසකාවා ආයතනයට පැවරීමට තීරණය කළා. ඒවගේම ඒ කාලයේදීම මෙම භූමිය කොටස් දෙකකට බෙදා යාබදවා පිහිටා ඇති චීන තනාපති කාර්යාලයටත් අනෙක් කොටස ජපානයටත් බෙදා දීමට තීරණය කෙරුනා. මෙලෙස සුදර්ශිය විනාශ කරන්නට විවිධ පිරිස් ගනු ලැබූ සෑම උත්සහයක්ම කලාකරුවන්ගේ සහ මහජනතාවගේ විරෝධය නිසා ව්‍යර්ථවෙලා තියෙනවා.

ඒ වගේම කලාකාරයෝ කියලා කියන්නේ මහා ධනවතුන්, පෝසත්  මිනිස්සු නොවෙයි. 1990 සුදර්ශියේ වරිපනම් බදු නොගෙවීම නිසා එය ටවර්හොල් පදනමට හෝ තරුණ සේවා සභාවට පැවරීමට තීරණය කලවිට එවකට ජනපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමයි ඒ වරිපනම් බදුවලට සහනදීලා මේ ශාලාව නිදහස් කරගත්තේ.

තවත්  කාරණාවක් තමයි අද වන විට කොළඹ නගරයේ ප්‍රාසාංගික කටයුතු සඳහා වෙන්වූ නෙලුම් පොකුණ, ලයනල් වෙන්ඩ් වගේ ශාලා කිහිපයක් පැවතියත් ඒ එක ශාලාවකවත් කලාකරුවන්ගේ පුහුණුවීම්වලට ‍ඉඩක් වෙන්කරලා නැහැ.  පිටින් කෑම ටිකක් ගෙනෙහින් තේ එකක් බොන්න ඉඩක් නැහැ. ශාලා පහසුකම් ලබාගන්න විශාල මුදලක් වැයකරන්න වෙලා තියෙනවා. ඒ නිසා දැනට තිබෙන ස්ථාන විනාස කරනවාට වඩා මේ මොහොතේ සිදු කළයුතු වන්නේ අලුතින් රංගශාලා ආදිය ඉදිකර කලාව සංස්කෘතිය නගා සිටුවීමයි.

ජා.හෙ.උ. මහජන සබඳතා හා කලාකටයුතු ලේකම් සුනිමල් ජනරංජන මහතා –

සුදර්ශිය වැනි කලාව සංස්කෘතිය පෝෂණය කළ ආයතන විනාශ කිරීම හෝ විකිණීම තුළින් සිදුවන්නේ අනාගත පරපුර අඳ ගොලු බිහිරි පිරිසක් බවට පත්කිරීමයි. යාන්ත්‍රීකරණය වූ මිනිසුන් බිහිවුනාම ඒ යගේ හදවතේ තෙතමනය නැතිවෙන එක ස්වාභාවිකයි. ඒ නිසයි අපට තමන් ගැන වගේම තවත්කෙනෙක් ගැන හිතන්න අපිට කලාව, සංස්කෘතික වගේ දේවල් වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ. කලාකාරයෙකුට නිර්මාණ කරන්න සිතුවිලි පහලවන්නේ තමන්ගේ අත්දැකීම් තුලින් සහ අවට පරිසරයෙන් උකහා ගන්නා දේවල් තුළිනුයි. සුදර්ශිය කියන්නේ ඒකට හොඳම තැන කියලා එතනට යන හැමකෙනෙක්ම පිළිගනීවි.

අපේ රටේ කලාවට විශේෂයෙන්ම නාට්‍ය කලාවට හා නර්තනයට සුවිශාල සේවයක් කළ ස්ථානයක් ලෙස සුදර්ශි ශාලාව හෙවත් සිංහල සංස්කෘතික ආයතනය අදටත් කලාවේ පෝෂණය වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටුකරනවා. අද හවසටත් පාසැල් නිමාවූ දුවාදරුවන් ඒ තුළ නර්තන වාදන පුහුණුවීම් කරනවා. හැම මනුස්සයෙක්ම තුළම මනුස්සකම වැඩිදියුණු කරවන එකතමයි කලාවෙයි සෞන්දර්යෙයි කාර්ය භාරය වන්නේ.  එම කාර්ය භාරය මැනවින් හඳුනාගෙන මහත් සේවයක් ඉටුකල සුදර්ශිය විනාශ කරලා මනුස්සකම වළලන්නයි මේ අය උත්සහ කරන්නේ.

ඒ නිසා ඒ මනුස්සකම, සුන්දරත්වය වළලන්න කලාකරුවෝ, කලාව ලෙන්ගතු මිනිස්සු විදියට අපි ඉඩදෙන්නේ නැහැයි කියන එක අපි ජාතික හෙළ උරුමයේ මහජන සම්බන්ධතා හා කලා කටයුතු අනුමණ්ඩලය විදියට අප දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා.

සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම් සමන්ප්‍රිය මාරසිංහ මහතා –

ප්‍රථමයෙන්ම අපහට මෙම අවස්ථාව සලසාදුන් සහ අපට සුවිශාල දායකත්වයක් ලබාදෙන ජාතික හෙළ උරුමයටත් එහි මහලේකම් අමාත්‍ය චම්පික රණවක මැතිතුමා ඇතුළු සියලු නායකයින්ට අපගේ ස්තූතිය ඵලකර සිටිනවා. ඒ වගේම පසුගිය කාලයේ අප ගෙනගිය විරෝධතා ව්‍යාපාරයට මාධ්‍ය ආවරණය ලබාදුන් මාධ්‍ය හිතවතුන්ටත් අපගේ කෘතඥතාව ඵලකර කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නවා.

අපේ රටේ කොදුනාරටිය එහෙම නැත්නම් ජීවය ලබාදෙන ඖෂධ එන්නත වන්නේ කලාව හා සංස්කෘතියයි. කලාවේ හා සංස්කෘතියේ වටිනාකම හඳුන නොගත් නිසා විනාශ වූ ජීවිත ප්‍රමාණය අද එන්න එන්නම වැඩිවෙලා. කලාව රසවින්දනයක් නැති උනාම අපේ තරුණ පරපුර කුඩුවලින් ගංජා වලින් කසිප්පු වලින් වින්දනයක් ලබන්න උත්සහ කරන එක වැඩිවෙනවා.  දැනටත් එහෙම ප්‍රවණතාවයකුත් ඇතිවෙලා තිබෙනවා.  ඒ නිසා පාසැල් අවධියේ සිටම දරුවන් කලාවට රසවින්දනයට යොමුකිරීමට අප විසින් කටයුතු කළ යුතුයි. සුදර්ශියෙන් පසුගිය කාලය තුල සිදුකලේ එම ජාතික සේවයයි.

අද ලංකාවේ මොන රංග ශාලාවේ නාට්‍ය පෙන්නුවත් ඒ හැම කලාකෘතියකම ඒ හැම කලාකරුවෙකුගේම ආරම්භය සුදර්ශියයි.මෙහි මුල් නම තමයි සිංහල සංස්කෘතික ආයතනය කියන එකයි. අපේ සිංහල සංස්කෘතිය ලෝකයට විදහාපාන්න 1954 ජීවත්වූ ජාතිහිතෛශී ප්‍රභූන් විසින් ඉදිකළ මධ්‍යස්ථානය වන්නේ සුදර්ශියයි. අද කලා ලෝකයේ ඉන්න අයගෙන් සුදර්ශියෙන් කලාලොවට පය නොතබපු එහි ඇසුර නොලබපු කෙනෙක් නැහැ. ඉතින් අපි අහන්නේ මේ සිංහල සංස්කෘතික ආයතනය විනාශ කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ මොන සිංහලයටද?

අපිට ජපානයත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. එදා ජපානය බේරගත්තේ ලංකාවයි. අද ලංකාවේ සංස්කෘතිය වනසලා ලංකාව විනාශ කරන්න හදන්නේත් ජපානයයි. කවුරු කරත් වැරැද්ද වැරැද්දමයි. මේ වරද කරන්න පළමු වරට කැබිනට් තීරණයක් ගනු ලැබුවේ 2009 දී මහින්ද රාජපක්ෂ පාලන සමයේදීයි. එදා අපේ විරෝධය නිසා එවකට ජනාධීපතිතුමා එම තීරණය හකුල ගත්තා. අද නැවත වරක් සසකාවා කියන ජපාන රාජ්‍ය නොවන ආයතනය ජපන් තානාපති කාර්යාලය හරහා වත්මන් ජනාධිපතිතුමාට මේ යෝජනාව නැවත වරක් ඉදිරිපත් කරනවා. ඔවුනගේ අදහස ඉෂ්ට කරන්න ජපාන තානාපති කාර්යාලය හරහා එතුමට බලකර සිටින බවත් අප ජනාධිපතිතුමාව මුණගැසුනු වෙලාවේ අපට ප්‍රකාශ කර සිටියා.  සසකාවා කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක්. එවැනි සංවිධානයකට තිබෙන බලය ඉතා සීමාසහිතයි කියලා අප දන්නවා. ඒ නිසා සසකාවාගේ සහ ජපන් තානාපති කාර්යාලයේ බලකිරීමට යටවෙන්න වෙනවා කියන එක අපි පිළිගන්නේ නැහැ.

අපේ ඉල්ලීමට බලධාරීන් කන්නොදනවා නම් කලාව පැත්තකින් තියලා කලහයකට සැරසෙන්න අපටත් සිද්දවේවි. අප එයටත් සූදානම් බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. අහිංසකව කටයුතු කරන අපට මෙලෙස වදදෙන නිසයි ඒ කලහය ඇතිවෙන්නේ. එයත් සියලු දෙනා මතකයේ තබාගත යුතුයි.

අද වෙනකොට හෙළ උරුමය මෙයට එකතු වෙලා. හෙට වෙනකොට තවත් පිරිස් එකත්වේවි. සමහර විට ජාත්‍යන්තරෙත් අප සමඟ හිටගනීවි. එහෙම උනොත් ජපානෙට ලෝක අපවාද අහන්නත් සිදුවේවි.

ඒ වගේම සමහරු හිතනවා ඇති අපිට කිසිම වැඩසටහනක් නැතිව අපි මෙතන නිකන් කෑ ගහනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. අපි සුදර්ශිය වැඩිදියුණු කරන්න විශාල වැඩපිළීවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හොහැකි වෙලා තියෙන්නේ මේ භූමියේ අයිතිය අප සතුව නොමැති නිසයි. අපේ වරිපනම්

බදු භාරගැනිම නතර කලේ 2009 වර්ෂයේ පටනුයි. මේ භූමිය වාණිජ වශයෙන් ලොකු මිලකට අලෙවි කිරීමේ සැලසුමක් ඒ පසුපස පවතින බව අපට තේරුම් ගොස් දැනට බොහෝ කාලයක් වෙනවා.

ඒ නිසා අපි ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලනවා අපිට අපේ පාඩුවේ කලා කටයුත්තක් කරගෙන ඉන්න දෙන්න. අපිට කරදර කරන්න එපා. අපි දන්නවා මේ ප්‍රශ්නය විසදන්න පුළුවන් එකම තැනැත්තා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පමණයි. ඉඩම අයිතිය පැවරීමේ නෛතික බලය හිමිව තිබින්නේ එතුමාට පමණයි. ඒ නිසා අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා අපිට අපේ උරුමය රැකගෙන ඉදිරියට යන්න ඉඩදෙන්න කියලා.

සටහන – මහේෂ් රංගන ජයරත්න

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

123 views

3 Comments to “රටේ සංස්කෘතිය, කලාව විනාශ කරන්නයි හදන්නේ.. – ආණ්ඩුවේ හෙල උරුමය අපට කියයි..”

  1. ලංකා පුත්‍ර says:

    ලොරි ටෝක් නොදී ඉන්න . අප‍රාදේ හෙළ උරුමෙට දුන්න චන්ද . දැන් යූ එන පී අලියාගේ නැට්ටේ එල්ලිලා දිවිය ලෝකේ යන්න හදනවා .

  2. එක්නැලිගොඩ says:

    රටට ජාතිය ආගම සංස්කෘතිය වනසන නිසා නේද උඹල ඒ කාල් රනිල්ට දොන් ජුවන් කිව්වේ. දැන් ඒ දොන් ජුවන් බලයට ගෙනල්ල දැන් කියනව රට ජාතිය ආගම සංස්කෘතිය වනසනවළු. තොපිට ගහන්න ඔනේ සිරිසේයගෙ මඩු වලිගෙන් ආලපාළු පචයෝ

  3. kate says:

    Apita wadakma naha dan inna Helauruma harakge katha. Specialy Nishantha Warnasinghe. You idiots waste our time and eat our real “Hela Urumaya” and our country. Everybody knows it.

Main News