රට සම්පූර්ණයෙන්ම කඩා වැටී නතර වෙන තත්වයක..

June 28, 2022 at 8:40 am | lanka C news
රට සම්පූර්ණයෙන්ම කඩා වැටී නතර වෙන තත්වයක..

පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම, අනුර යාපා, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්දිම වීරක්කොඩි, ප්‍රියංකර ජයරත්න ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් චීන තානාපතිවරයා හමු වී රටේ ජනතාව වෙනුවෙන් ඖෂධ, ආහාර, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හා බලශක්ති ක්ෂේත්‍රය සඳහා මිත්‍ර රටවල සහාය ඉල්ලා සිටියහ.

‘අපි ඇත්තටම පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් චීන තානාපතිතුමා හමු වුණා. අගමැතිවරයා ප්‍රකාශ කළා ළඟදීම අපේ මිත්‍ර රටවල් වලින් අපේ රට පත්වෙලා තියෙන මේ දුෂ්කර තත්වයට, විසඳුමක් හැටියට, ආධාර, උපකාර ලබාගන්න බලාපොරොත්තු වෙනවයි කියලා. ඒකේ එක රටක් තමයි චීනය. අපේ මිත්‍ර රටක්. කාලාන්තරයක් අපිත් එක්ක සබඳතා තියෙන රටක්. ආසියාවේ ඇත්තටම චීනය පිළිගත්තේ ප්‍රධාන වශයෙන්ම අපේ ලංකාව. ඉතින් ඒක නිසා මුල පටන්ම අපිත් එක්ක හොඳ මිත්‍ර සම්බන්ධතාවයක් තිබෙනවා. යුධ කාලෙදිත් අපිත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇතුව අපිට උදව් උපකාර කළා. ඒ නිසා අපි මේ දුෂ්කර අවස්ථාවේදී අපේ රටේ ජනතාවට ඖෂධ, ආහාර හා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ඔවුන්ගේ උපකාර ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අපි පැවැත්තුවා.

අපි ඇත්තටම තවත් විශාල පිරිසක් එක්ක සාකච්ඡා කරගෙන යනවා. ඉදිරි කාලයේදී අපි මේ රටේ ජනතාව වෙනුවෙන් අපේ මිත්‍ර විදේශ රටවල් එක්ක අපේ රටේ ජනතාවගේ මේ පවතින ඉතාමත්ම අවාසනාවන්ත ඉරණම වෙනස් කර ගැනීම සඳහා අපට අවශ්‍ය විදේශ ශක්තිය, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා පවත්වනවා. ඔවුන් ඇත්තටම අපිට උදව් කරන්න සූදානම්. පාර්ලිමේන්තුවේදීත් ඒ සම්බන්ධයෙන් අපේ වගකීම ඉටු කරන්න අපි සූදානම්.

අපිට මේක බලන් ඉන්න බෑ. අපේ ජනතාව අද මේ පත්වෙලා තියෙන තත්වය හා රට පත්වෙමින් තිබෙන තත්වය, රට සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, නතර වෙන තත්වයකට තමයි රට පත්වෙලා තියෙන්නේ. ඉතින් ඒ තත්වය තුළ අපේ වගකීමක් තියෙනවා. අපි අනෙකුත් තානාපති අංශත් ඉදිරි කාලයේදී හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. රට මේ අර්බුදයෙන් මුදා ගැනීම සඳහා’

– ලෙෂාන් විදානගමාච්චි

898 views
Main News