රත්ගම ව්‍යාපාරික දෙදෙනා ඝාතනයට සැක නියෝජ්‍ය පොලිස්පති තාමත් සක‍්‍රිය පොලිස් සේවයේ..

March 4, 2019 at 6:48 pm | lanka C news
රත්ගම ව්‍යාපාරික දෙදෙනා ඝාතනයට සැක නියෝජ්‍ය පොලිස්පති තාමත් සක‍්‍රිය පොලිස් සේවයේ..

රත්ගම, බූස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සම්බන්ධ දකුණු පළාත් විශේෂ විමර්ශනය ඒකකය භාරව සිටි දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා මේ වන විටත් සක්‍රීය සේවයෙහි නිරතව සිටීමෙන් එකී අපරාධය පිළිබඳ විමර්ශන කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ඝාතනයට ලක් වූ බව කියන එම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් ප්‍රකාශ කරති.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කිරීමත් සමග රවී විජේගුණවර්ධන මහතා, පොලිස් මූලස්ථානය බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස ස්ථාන මාරු කරන ලද අතර දැනට එම තනතුරේ රාජකාරී කරමින් සිටී.

රවී විජේගුණවර්ධන මහතා, දැනට ගාල්ල දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති  චන්දන අලහකෝන් මහතාට ඝාතනයට ලක්වූ මංජුල අසේල සහ රශීන් චින්තක යන ව්‍යාපාරිකයින් දෙදෙනාට අදාල අපරාධ පිළිබද වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසට දැනුම් දී තිබෙන බවද එම තරුණයින් දෙදෙනාගේ ඥාතීන් ප්‍රකාශ කරයි. එම දැනුම් දීමට අනුව ගාල්ල දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාල්ලේ සියළු පොලිස් ස්ථාන වලට මේ සම්බන්ධව දැනුම් දී තිබෙන බවද ආරංචි මාර්ග සදහන් කරයි. ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගාල්ල ප්‍රදේශයේ සියළු පොලිස් ස්ථානවලට මෙම තරුණයින් පිළිබද අපරාධ වාර්තාව සකස් කළ යුතු බවටත් එය ඉතාම ඉක්මනින් දුරකථන මාර්ගයෙන් හෝ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා වෙත ලබාදෙන ලෙසත් දැනුම් දී තිබෙන බවද පොලිස් ස්ථාන වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන යාම සම්බන්ධයෙන් රවී විජේගුණවර්ධන, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ මාසයකට ආසන්න කාලයක් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ ගාල්ලේ පොලිස් ස්ථාන මේ වන විට ලහිලහියේ ව්‍යාපාරිකයින් දෙදෙනා අපරාධ වලට සම්බන්ධදැයි සොයමින් සිටින බවද දැනගන්නට තිබේ. මේ වන විට ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඝාතකයින් සොයනවා වෙනුවට ඝාතනයට ලක්වූවන්ගේ යටගියාව සෙවීමට පොලීසිය වැඩි කාලයක් වැය කරන බවද ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් ප්‍රකාශ කරයි.

රවී විජේගුණවර්ධන මහතා, දකුණු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරින් ස්ථාන මාරුකර පොලිස් මූලස්ථානයට යවා තිබියදීත් මෙසේ ගාල්ලේ පොලිස් ස්ථානවලට නියෝග ලබා දීම තුල යුක්තිය ඉෂ්ඨ වීමේ සාධාරණත්වය සම්බන්ධයෙන් ප්‍රබල සැකයක් මතුව තිබෙන බවද රත්ගම, බූස්ස ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කරයි. ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයින් දෙදෙනා අපරාධ කරුවන් බව හා රවී විජේගුණවර්ධන මහතා මෙම ඝාතනයන්ට කිසිදු සම්බන්ධයක් නොමැති බව හැගවෙන ආකාරයට ඇතැම් මාධ්‍ය වාර්තා පල වන්නේ මේ නිසා යැයිද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

රත්ගම තරුණයින් දෙදෙනාගේ ඝාතනයන් අපක්ෂපාතීව හා ස්වාධීනව සිදු කිරීම සදහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා සක්‍රීය සේවයේ සිටීම ප්‍රබල බාධාවක් බව ප්‍රකාශ කරන ඝාතනයට ලක් වූ තරුණයින්ගේ ඥාතීන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ රවී විජේගුණවර්ධන මහතා අනිවාර්යය නිවාඩු හැර පරීක්ෂණ පැවැත්වුවහොත් පරීක්ෂණ යම් දුරකට හෝ සාධාරණ විය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

රවී විජේගුණවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා මට එහෙම කිසිම නියෝගයක් දීල නැහැ. මගෙන් එහෙම ඉල්ලීමකුත් කරල නැහැ. මෙම තරුණයින් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 15 දින පරීක්ෂණ ආරම්භ කළා. ඔවුන් අපිට දැනුම් දුන්නා අපි විසින් කරන සියළු පරීක්ෂණ අත්හිටුවන්න කියල. ඒ අනුව අපි එම තරුණයින් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ වන විට කරන්නේ නැහැ.

මන්නාරමේ අයෙකු මේ තරුණයින් දෙදෙනාගේ ඥාතීන්ට දුරකතන ඇමතුමක් ලබා දී පුතා එවන්න මුදල් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිස් අධිකාරීතුමා විසින් පරීක්ෂණයක් කරනවා. අපි ඒ හැර මොකුත් කරන්නේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන වලට අතුරුදන් තරුණයින්ගේ අපරාධ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර රවී විජේගුණවර්ධන මහතාට ලබා දෙන්න කියල, මම කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙක්ට දැනුම් දීමක් කරලත් නැහැ යැයිද ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

18,339 Viewers

One Comment to “රත්ගම ව්‍යාපාරික දෙදෙනා ඝාතනයට සැක නියෝජ්‍ය පොලිස්පති තාමත් සක‍්‍රිය පොලිස් සේවයේ..”

  1. බයියෙක් says:

    හූ ඇම්පී නෙ……….. අයෙ අහන්න දෙයක් නෑ……

Main News