රනිල්ට ඕනෑ දෙයක් කරගන්න දීලා පාඩුවේ බලා ඉන්න ජනාධිපති ගැන කිසි විශ්වාසයක් නෑ..

October 23, 2017 at 4:40 pm | lanka C news
රනිල්ට ඕනෑ දෙයක් කරගන්න දීලා පාඩුවේ බලා ඉන්න ජනාධිපති ගැන කිසි විශ්වාසයක් නෑ..

රට බෙදන ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සන කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරයකුට යළිත් ගම්වලට ඒමට ඉඩක් නොලැබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

රනිල්ගේ උගුලට අසු වී ව්‍යවස්ථාවට පක්ෂව අත උස්සන කවුරු කවුරුත් ගමට නෑවිත් කොළඹටම වී සිටීම ඇඟට ගුණ බව පැවසූ රණතුංග මහතා සිරිකොතේ ඉඳුල් කෑ පලියට මෙවැනි පාවාදීමක් කළහොත් නම් කිසිදා ජනතාවගෙන් සමාව නොලැබෙනු ඇති බවත් පැවසීය.

මන්ත්‍රිවරයා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරිකයන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ දී ඊයේ (23) පැවැති උත්සව සභාවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම ගැන දැන් සමාජයේ ලොකු කතාබහක් ඇති වී තිබෙනවා. අලුත් ව්‍යවස්ථාවක් ගැන අවශ්‍යතාවක් තියෙන්නේ කාටද? අද පේන්න තියෙන විදියට ජනතාවට වඩා අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් තිබෙන්නේ ආණ්ඩුවටයි.

ආණ්ඩුව කියන්නේ ‍අලුත් ව්‍යවස්ථාව කොහොම හරි ගේනවා කියලයි. ආණ්ඩුවට අද තියෙන ලොකුම ප්‍රශ්නය අලුත් ව්‍යවස්ථාව. ඒ වුණත් අද ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නය ව්‍යවස්ථාව නොවෙයි. මිනිස්සුන්ට විසඳගන්න ඊට වඩා ප්‍රශ්න තියෙනවා.

එක පැත්තකින් ගත්තොත් මහ බැංකුවේ ඉඳලා පිටරට බැංකු පවා කොල්ලකන හොරු රැලක් රටේ ඇති වෙලා. තව පැත්තකින් ආර්ථිකය කඩා වැටිලා ජනතාවට එදාවේල කන්න නැහැ. රටේ සංවර්ධනය අඩාල වෙලා. අනෙක් ක්ෂේත්‍ර ගත්තත් කිසිම දියුණුවක් නැහැ.

යහපාලන ආණ්ඩුවේ තකතීරු වැඩ හින්දා මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න‍ කොට ආණ්ඩුව ඒකට පිළියම් හොයන්නේ නැතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න හදනවා. මේක හරියට හිඟන්නට සෙන්ට් පවුඩර් දානවා වගේ වැඩක්.

මේ ව්‍යවස්ථාව ඕනෑ වෙලා තියෙන්නේ කොටින්ට කත් ඇදපු දේශපාලකයන්, එන්. ජී. ඕ කාක්කන් සහ ඩයස්පෝරාව කියන තුන් කට්ටුවට පමණයි. කොටියට එදා කිරි පොවපු අය අද රට බෙදලා මේ පොවන්න හදන්නේ සුප්.

සයිටම් වහන්න කියලා සිසුන්, වෛද්‍යවරුන් පෙලපාලි යනවා. සහන ඉල්ලලා විශ්‍රාමිකයන්, ආබාධිත රණවිරුවන් පෙලපාලි යනවා. ජාතික සම්පත් විකුණන්න එපා කියලා පොදු ජනතාව පෙලපාලි යනවා. ආණ්ඩුව ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නවා.

ජනතාවගේ සාධාරණ ඉල්ලීම් නොදැක්ක ගාණට ඉන්න ආණ්ඩුව බලෙන් අලුත් ව්‍යවස්ථාවක් මිනිස්සුන්ගේ ඇගේ ගහන්න යනවා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලලා කවුරුවත් පෙලපාලි යන්නේ නැහැ. මේක මහා විහිලුවක්.

මේ ව්‍යවස්ථා මෙහෙයුම පිටිපස්සේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ. එදා සටන් විරාම ගිවිසුම හරහා රට කොටියට ලියලා දෙන්න කටයුතු කරපු රනිල් දැන් හදන්නේ අලුත් ව්‍යවස්ථාවක් හරහා  එදා බැරිවෙච්ච බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්නයි.

ඒ බලාපොරොත්තුවට එරෙහි වන සේරටම රනිල් නයා වගේ පන්න පන්න දෂ්ඨ කරනවා. රනිල්ට ඕනෑ දෙයක් කරගන්න ඉඩ දීලා පාඩුවේ ඉන්න ජනාධිපතිවරයා මේ ව්‍යවස්ථා උගුලෙන් රට බේරා ගන්න මැදිහත් වෙයි කියලා අපට විශ්වාස කරන්න බැහැ.

ඒ නිසා දැන් අපට පැවරිලා තිබෙන බරපතළම යුතුකම තමයි මේ ව්‍යවස්ථා උගුලෙන් රට බේරා ගන්න එක. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය නැති වුණොත් ආණ්ඩුවට මේ ව්‍යවස්ථාව සම්මත කර ගන්න බැරි වෙනවා.

අන්න එතැනදී නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගිහින් ආණ්ඩුවට මුක්කු ගහගෙන ඉන්න අය ගන්න තීන්දුව වැදගත් වෙනවා. ඔවුන්ට සිදුවෙනවා එක්කෝ මේ රට බෙදන ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න. එහෙමත් නැත්නම් කොන්ද කෙළින් තියන් මේකට විරුද්ධව එළියට බහින්න.

රට බෙදන ව්‍යවස්ථාවකට අත උස්සලා නම් ගමට එන්න එපා කියලයි අපි නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට කියන්නේ. රනිල්ගේ ගැටේට අහුවෙලා අත ඉස්සුවොත් ගම්වලට නෑවිත් කොළමම ඉන්න එක තමයි කාගේ කාගෙත් ඇඟට ගුණ.

රට බෙදන්න සහයෝගය දෙන කාටවත් ආයෙත් ගමේ මිනිහාගේ ඡන්දය නම් ලැබෙන්නේ නැහැ. මේ අපේ රට බෙදන්න අත ඉස්සුවොත් ඒක ‍එලොවදි වගේම මෙලොවදිත් පඬිසන් දෙන මහා පාපකර්මයක් බව කවුරුත් මතක තබාගත්තොත් හොඳයි.

– ප‍්‍රදීප් අනුර කුමාර

13 views

One Comment to “රනිල්ට ඕනෑ දෙයක් කරගන්න දීලා පාඩුවේ බලා ඉන්න ජනාධිපති ගැන කිසි විශ්වාසයක් නෑ..”

  1. msss says:

    Sirisena has no other option. If he opposes Ranil, he knows his fate.

Main News