රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපතියෙක්.. තුන් දෙනෙක් එකතුවෙලා රට විකුණනවා.. මේ ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගේ…

December 16, 2016 at 5:30 pm | lanka C news
රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපතියෙක්.. තුන් දෙනෙක් එකතුවෙලා රට විකුණනවා.. මේ ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගේ…

සම්මත කර ගැනීමට සැරසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවිධ සංවිධාන විවිධ පාර්ශ්වයන් නොයෙකුත් කතා කියනවා. මේ හේතුවෙන් ජනතාවට චකිතයක් ඇති වෙලා තිබෙනවා. රටේ ජාතියේ, ආගමේ ආරක්ෂාව ගැන. මිනිස්සුන් ඉන්නේ ආතතියකින්. ලබන මාසෙ 9 වැනි දින හෝ එයට ආසන්න දිනයක අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතයි කියලා ආරංචියක් තිබෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුතු ආකාරය ගැන ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විවිධ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා තිබුණා. එලෙස කරුණු විමසීම් කරල තිබුණේ බෙදුම්වාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයගෙන්. ඒ අය ඉදිරිපත් කරලා තිබුණු යෝජනා අපි දැක්කා.

ඒකීය රටක් වෙනුවට නොබෙදුණු එක්සත් රටක් බුදු සසුනට ප්‍රමුඛ ස්ථානයක් ලබාදිය යුතුය යන්න ඉවත් කිරීම, ජාතික ගීය දෙමළ බසින්ද ගායනා කිරීම ආදී භයානක සහ ජාතිවාදී ස්වරූපයෙන් යුක්ත වූ යෝජනා ඒ තුළ තිබුණා. රටට ජාතියට, ආගමට ආදරය කරන සියලු දෙනා එකාවන්ව එක්වී එවැනි යෝජනා මත පදනම් වී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් නොකරන ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඒ සඳහා බලකළ යුතුයි.

ආණ්ඩුව කරන්නේ ජනතාවගේ අවධානය ව්‍යවස්ථාව දෙසට යොමු වෙද්දී රටේ සම්පත් විකුණා දැමීමයි. ඩොලර් මිලියන දහසකට හම්බන්තොට වරාය චීන සමාගමකට දෙන්න හදනවා. මත්තල ගුවන්තොටුපොළත් චීනෙට විකුණන්න යනවා. පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න හදනවා. එතැනිනුත් නොනැවතී හම්බන්තොටින් අක්කර පහළොස් දහසක් චීන සමාගමකට දෙන්න හදනවා. මෙවැනි තත්ත්වයක් අපි ඉතිහාසයේ දැකල නැහැ.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් රටට වැඩක් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය නැහැ. මිනිස්සු ඉල්ලුවෙත් නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ රටේ සාමකාමී වාතාවරණය. නිදහස සහ ආර්ථික සමෘද්ධියයි. මිනිස්සු අද බඩ වියත රැකගන්න ලොකු සටනක නිරත වෙලයි ඉන්නේ.

ව්‍යවස්ථාව සම්බන්ධව ජනමත විචාරණයක් තියන්න හදනවා. ඇත්තම කතාව මිනිස්සු මේ ගැන හරියට දැනුවත් නැහැ. මේක අවශ්‍ය වෙලා තිබෙන්නේ බෙදුම්වාදීන්ට සහ ඔවුන්ට ආධාර අනුබල දෙන පාර්ශ්වවලට විතරයි. අලුත් ව්‍යවස්ථාවලින් රට තවත් නරක තැනකට තල්ලු වුණොත් ඒකෙන් ඇති වැඩේ මොකක්ද?

මේ ආණ්ඩුව ගැන පැහැදිලි පින්තූරයක් අපට නැහැ. රට කරන්නේ කවුද කියලා හරියටම දන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව අම්බලන්ගොඩ රූකඩයක් වගෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පමණක් නෙවෙයි කිසිම දෙයක් ගැන ආණ්ඩුවේ පූර්ණ එකඟතාවක් නැහැ. හම්බන්තොට වරාය චීනයට විකුණන්න හදනවට වරාය අධිකාරියත් සභාපතිත් විෂයභාර ඇමැතිවරයාත් විරුද්ධයි.

නමුත් තුන්දෙනෙක් එකතු වෙලා ඒක විකුණන්න තීරණය කරලා. මේක යහපාලනයද? රනිල් වික්‍රමසිංහ කියන්නේ පැහැදිලිවම ඒකාධිපතියෙක්. ඔහු මහින්ද රාජපක්ෂටත් වඩා එහා ගිය ඒකාධිපතියෙක්.

– මව්බිම

22 views
Main News