රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ කියන්නේ රාජිතටයි..

August 9, 2017 at 1:20 pm | lanka C news
රවි ආණ්ඩුවේ එකම හොරා නොවේ.. ‘නැවු සුදා-බෙහෙත් සුදා’ කියන්නේ රාජිතටයි..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ඒකාබද්ධ විපක්ෂය හොරා කියන්නේ රවි ඇමතිතුමාට විතරයි කියලා රාජිත ඇමතිතුමා කියනවා. රාජිත ඇමතිතුමාට වැරදිලා. අපි ඔය කියන රාජිත ඇමතිතුමාටත් ඇතුළුව ඇමතිවරු බහුතරයකට අපි හොරා කියනවා. නැව් සුදා වගේම බෙහෙත් සුදාත් කියන්නේ එතුමාට තමයි. සුදා කියලා අපි මේ කියන්නේ සුදු පාටයි කියන එක නෙමෙයි. අර ටැංකි සුදා කියලා මාළුවෙකුත් ඉන්නවා. එයා සුද්ද කරන්නේ මාළු ටැංකිය. ඒ වගේ නැව් වලට සුද්දය දුන්න කෙනා තමයි නැව් සුදා වෙන්නේ.බෙහෙත්වලින් සුද්දය දුන් කෙනා තමයි බෙහෙත් සුදා වෙන්නේ. ඒ වගේ සුදාලා ගොඩක් ඉන්නවා. ටොප් ටෙන් වැඩපිළිවෙල යටතේ මහ පරිමාණ සොරකම් 10ක් හෙලි කරලා අල්ලස් කොමිසමට පැමිණිලි කළා. රාජිත ඇමතිතුමාත් එක චුදිතයෙක්. අද වෙන තුරු විමර්ශන නෑ. ළඟදීම ටොප් 20 නමින් හොරු හෙලි කරන වැඩසටහනේ දෙවන පියවර පටන් ගන්නවා. එදාට ගල් අඟුරු සුදා කැලෑ සුදා වැලි සුදා තඹ සුදා ඔය ඔක්කොම හෙලි වේවි.

අපි අතර කම්බ හොරු ඉන්නවාලු. අනේ ඉන්නවා නම් බොරුවට කියවා කියවා ඉන්නේ නැතුව දඬුවම් කරන්න. අපි ඒකට විරුද්ධව වචනයක් වත් කියන්නේ නෑ. ආණ්ඩු බලය තිබෙන්නේ අපට නොවෙයිනෙ. නමුත් රාජිත ඇමතිතුමාගේ කට තරමට වැඩ නෑනේ. දැන් සියළුම රාජපක්ෂවරු ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විමල් වීරවංශ මැතිතුමා වගේ පක්ෂ නායකයෝ ජනාධිපති කොමිසම ඉදිරියට ගියානේ. ඔය කවුරුත් දන්නේ නෑ මතක නෑ තොත්ත බබා චරිතය රඟපෑවේ නෑනේ. ඇඳගෙන ගිය ඇඳුම් එතන තියලා නිරුවතින් එළියට ආවේ නෑනේ. ඒ නිසා රවි ඇමතිතුමා මුහුණ දුන් සිද්ධියට සම කළ හැකි සිද්ධියක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වෙලා නෑ කියලා අපි ඉතාම වගකීමෙන් කියනවා.

– අරවින්ද අතුකෝරල

90 views
Main News