රහස් පොලීසියෙන් සිවිල් ගුවන්සේවා අධිකාරිය වටලයි..

March 9, 2017 at 8:02 am | lanka C news
රහස් පොලීසියෙන් සිවිල් ගුවන්සේවා අධිකාරිය වටලයි..

ගුවන්සේවා අධිකාරියේ වංචා හා දූෂණ පිළිබඳ දිගින් දිගටම වෙබ් අඩවි මගින් වාර්තා කිරීම හේතුවෙන් මේ වන විට සේවකයන් ආයතන පරිපාලනය පිළිබඳ දැඩි අප්‍රසාදයකින් පසුවේ.

එම තොරතුරු පිටතට යාම වැලැක්වීම සහ සේවකයින් මර්ධනය කිරීමේ අරමුණින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ විශේෂ ඉල්ලීම පිට මාර්තු 08 CID නිලධාරීන් 20දෙනකුගෙන් සමන්විත වූ කණ්ඩායමක් පැමිණ අධ්‍යක්ෂ ජනරාල්වරයා සැක කටයුතු යයි දැනුම් දුන් සේවකයින් කිහිප දෙනකුගේ කාර්යාල පරිගණක සහ පෞද්ගලික පරිගණක වැඩිදුර විමර්ශනය සඳහා CID ය වෙත රැගෙන ගොස් ඇත.

යම් කණ්ඩායමක් විසින් අධිකාරියේ ප්‍රතිරූපයට හානි කොට ඇතැයි සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම හදිසි වැටලීම කර ඇති අතර සංවේදී ලිය කියවිලිද පිටස්තරයන් අතට පත්වීම පිළිබඳවද අධිකාරිය පැමිණිලි කොට ඇත.

යහපාලන රජයේ කාර්යයභාරය වන්නේ වංචාවෙන් සහ දූෂණ වලින් තොර රටක් ගොඩ නැගීම වුවත් අධිකාරියේ දූෂණ වංචා පිළිබඳ මහජනතාව තොරතුරු දැනගැනීම වැලැක්වීම උදෙසා මෙවැනි බියගුළු පියවර ගැනීම යහපාලනයදැයි සේවකයෝ ප්‍රශ්න කරති.

තවද මේ දක්වා සිදුකරන ලද මහා පරිමාණ මුදල් වංචා මෙන්ම දූෂණ හේතුවෙන් අධිකාරියේ ප්‍රතිරූපය විනාශ කොට ඇත්තේද ඉහළ පරිපාලනය විසින්ම බව සේවකයෝ පවසති.

– සේනක

0 views
Main News