රාජපක්‍ෂවරුන් සිවු දෙනෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසියි…

July 1, 2018 at 9:20 am | lanka C news
රාජපක්‍ෂවරුන් සිවු දෙනෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසියි…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායන හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සමගින් දිවයින පුවත්පත කරන ලද සම්මුක සාකච්චාවක් මෙහි දැක්වෙයි.

ප්‍රශ්නය – ඔබට අලුත්ම දේශපාලන නාමයක්‌ මේ වන විට පට බැඳිලා තියෙනවා. පොලිටිකල් ගෝඩ් ෆාදර් ලෙස ඔබව සමහරු හඳුන්වනවා. පොදුජන පෙරමුණ මෙහයවීම, ඒකාබද්ධ විපක්‌ෂය මෙහෙයවීම, මහින්ද රාජපක්‌ෂ මහතාගේ මතය මෙහෙයවීම ඔබගේ තනි අතට අරගෙන තිබෙන බවට සමහරු ප්‍රකාශ කරලා තියෙනවා…. මේ ලැබී තිබෙන අලුත් විරුදාවලිය ගැන මොකද හිතන්නේ….

පිළිතුර – අපි කුඩා කාලයේ සිටම දේශපාලනය කරපු පවුලක්‌… අපේ පවුලේ හැමෝම ඒ දේශපාලන කටයුතු වල නිරත වුණා. දේශපාලනයෙන් තොරව අපේ පවුලේ වැඩ කටයුත්තක්‌ තිබුණේම නැති තරම්. අපේ පවුලේ සමහර චරිත දේශපාලනයට අලුත් කියලා, සමහරු කියනවා මම දැක්‌කා… අපේ කවුරුත් එහෙම දේශපාලනයට අලුත් චරිත නැහැ. ඒ අයත් ඉපදුණු දවසේ ඉඳලම දේශපාලනය කරපු අය. ජනතා සේවය, ජනතාව සමග ආශ්‍රය ඒ අයත් දිගටම කළා. ඒ ගැන හොඳටම අපි සියලුදෙනා දන්නවා. 1970 වසරේදී ලංකා පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා ලෙස මහින්ද රාජපක්‌ෂ මහතා තරග කරන වෙලාවේ, අපේ පවුලේ සියලු දෙනාම, ඒ සඳහා සහයෝගය ලබා දුන්නා. මම, ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඒ කාලයේ පාසල් යන ළමුන්… අපිත් එම මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණා. එදා ඉඳලා දිගටම මම දේශපාලන ප්‍රවාහයේ හිටියා. දිස්‌ත්‍රික්‌ තරුණ සංවිධානයේ, සිට මම දිගටම කටයුතු කළා. 2015 ජනවාරි අටවැනිදායින් පස්‌සේ සුවිශේෂ දෙයක්‌ සිද්ධ වුණා. නිල වශයෙන් හෝ අනියමින් ලංකාවේ සියලු දේශපාලන පක්‌ෂ, එක තැනකට එක්‌ වුණා. අද සිටින විපක්‌ෂ නායකයා පවා අයවැයේදී ඡන්දය දෙන්නේ ආණ්‌ඩුව සමග… විශ්වාසභංග යෝජනාවේදී අගමැතිට පක්‌ෂව ඡන්දය දෙන විපක්‌ෂ නායකයෙක්‌ තමයි අපේ රටේ ඉන්නේ… විපක්‌ෂයේ ප්‍රධාන සංවිධායකත් ඒ හා සමාන කාර්යයභාරයක්‌ තමයි ඉටු කරමින් ඉන්නේ… එජාපය, ශ්‍රීලනිපය, දෙමළ සන්ධානය, ජවිපෙ, අනෙකුත් මුස්‌ලිම පක්‌ෂ, සියල්ල එක පැත්තකට ආවහම, ආණ්‌ඩු විරෝධීන්ට නිල වශයෙන් ප්‍රබල දේශපාලන පක්‌ෂයක්‌ තිබුණේ නැහැ. ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ අනුමත නොකරන අයට ඡන්ද ව්‍යාපාරයක්‌ කිරීම සඳහා තමයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහි වුණේ. එදා 1951 දී බණ්‌ඩාරනායක මහත්තයා, ශ්‍රීලනිපය ආරම්භ කරලා කිව්ව දේ තමයි Ñමම වින්නඹු කාර්යයක්‌ විතරයි කරන්නේ…” කියලා. එදා මේ රටේ හිටපු ස්‌වදේශිකයන්ට, ඒ කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට, පල්ලියේ පියතුමාට, රෙද්ද බැනියම අඳින ගුරු මහත්තයට, වෙද මහත්තයට, ගොවියට, කම්කරුවට, අයිති පක්‌ෂයක්‌ මේ රටේ තිබ්බේ නැහැ. ඒ කාලයේ ආණ්‌ඩු කරපු අයව හඳුන්වා දුන්නේ කළු සුද්දෝ කියලා… ඒ ඒ වෙලාවේ, ශ්‍රීලනිපය බිහිකරන්න බණ්‌ඩාරනායක මැතිතුමා යම් සේවයක්‌ කළා. ඩී. ඒ . රාජපක්‌ෂ මැතිතුමා, ශ්‍රී නිශ්ශංක මැතිතුමා, ආදි පිරිසකුත් ඒ සඳහා සේවය කළා. ඒ වගේ කාර්යයක්‌ තමයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීම සඳහා මම ඉටු කළේ… සමහර විට ඒ නිසා මට එහෙම කියනවා වෙන්න පුළුවන්…

ප්‍රශ්නය – වින්නඹු කාර්යය ඉෂ්ට කරපු කෙනා, පියාට හෙවත් ෆාදර්ටත් එහායින් ගොස්‌, ගෝඩ් ෆාදර් වෙන්නේ කොහොමද…?

පිළිතුර – ඒ නාමය මට ආදරයට කියනවාද… අපහාසයට කියනවාද කියලා මම දන්නේ නැහැ. මම පියා නෙමෙයි… මේ දේශපාලන ව්‍යාපාරයේ පියා කවුද කියලා රටම දන්නවා.

ප්‍රශ්නය – ඔබගේ ගෝඩ් ෆාදර් ජවනිකාව මතු වෙන්නේ, ගෝඨාභය රාජපක්‌ෂ මහතා 2020 ජනාධිපතිවරණ අපේක්‌ෂයා ලෙස නම් කිරීම සඳහා ජාතික සංවිධාන කටයුතු කරන අවස්‌ථාවේදීයි… ඔබ ඒ සඳහා අනුකූලතාවක්‌ නොපෙන්වා, ඔබගේ හිතෛෂීවන්තයන් මාර්ගයෙන් ජාතික සංවිධානයන්හි කටයුතු කරන පිරිස්‌ වෙත චෝදනා එල්ල කිරීමේ ව්‍යාපාරයක්‌ දියත් කළ බවටත් චෝදනාවක්‌ තිබෙනවා…

ප්‍රශ්නය – එහෙම කිසිම ගැටුමක්‌ මමයි, ගෝඨාභය රාජපක්‌ෂ මහතායි අතර නැහැ… අපි පුද්ගලිකව ගත්තත් දේශපාලනිකව ගත්තත් එහෙම ගැටුමක්‌ නැහැ… ඔය කියන අපේක්‌ෂකත්වය පිළිබඳව තවම පක්‌ෂය හෝ මහින්ද ජනාධිපතිතුමාගෙන් අනුමැතියක්‌ හෝ නම් කිරීමක්‌ සිදු නොවුණත් අපි දෙන්නා අතර එකඟතාවයක්‌ ඇතිවෙලා තිබෙනවා. අපි දෙන්නා මේ ප්‍රශ්න වල හෝ ගැටුම් වල කිසිම පාර්ශවකාරයෙක්‌ නෙමෙයි. ඒක නිල වශයෙන් ක්‍රමානුකුලව කෙරෙන්න ඕනේ… ඒක අපි දෙන්නාට ගන්න පුළුවන් තීන්දුවක්‌ නෙමෙයි… පක්‌ෂය සහ මෛත්‍රී ජනාධිපතිතුමා ඒ තීන්දුව ගනිවී… දෙවැනි කාරණය වන්නේ මෙතැනදී හැමෝටම විවිධ මත තිබෙනවා. උදාහරණයකට අපි කවුරුවත් 2020 අපේක්‌ෂකත්වය බලාපොරොත්තු නොවුණට අපි කවුරුවත් නුසුදුස්‌සෝ නෙමෙයි. ඒක තමයි අපේ පක්‌ෂයට තියෙන ශක්‌තිය… සමහර විට ඒක පක්‌ෂයටත් ශක්‌තියක්‌ වෙන්න පුළුවන්. සුදුස්‌සෝ සියලු දෙනාම තරග වදී කියලා හෝ තරගයට ඉදිරිපත් වෙන්න කැමැතියි කියන එක ඒකෙන් අදහස්‌ වෙන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබ හා ගෝඨාභය රාජපක්‌ෂ මහතා අතර යම් එකඟතාවක්‌ ඇතිවී තිබුණත් පක්‌ෂය තුළ එවැනි එකඟතාවක්‌ තවම ඇතිවී නැහැ. විමලවීර දිසානායක මන්ත්‍රීතුමා ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්‌ෂකයා ලෙස යෝජනා කරන්නේ ඔබව. වාසුදේව නානායක්‌කාර මන්ත්‍රීතුමා පවසා සිටින්නේ ඔහුට ගෝඨාභය රාජපක්‌ෂ මහතා පිළිබඳව තමන්ට තවම එකඟතාවයක්‌ නොමැති බවයි. මෙවැනි පසුබිමක 2020 අපේක්‌ෂකයා පිළිබඳව තවම අර්බුදයක්‌ නිර්මාණය වෙලා තිබෙනවා නේද…?

පිළිතුර – මම ඒ දීපු පිළිතුරෙන් 2020 අපේක්‌ෂකයා කවුද කියන එක නිශ්චිතයි කියලා කියන්නේ නැහැ… එහි වගකීම පක්‌ෂයට, සහෝදර පක්‌ෂවලට සහ එහි සම්පූර්ණ වගකීම මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා වෙත පැවරෙනවා. එතුමා තමයි ඒ තේරීම සඳහා සුදුස්‌සා. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැති කරලා, 1982 දී ඡේ.ආර්. ජයවර්ධන විසින් ජනාධිපතිවරණය පැවැත්වුවා වගේ දෙයක්‌ තමයි අදත් වෙන්නේ… තමන්ට හැමදාම රජ වෙලා ඉන්න කියලා එජාපය විසින් ජනාධිපති ක්‍රමය ඇති කර ගත්තත්, පළමු ජනාධිපතිවරණය තියෙන කොටම ඒකට සිරිමාවෝ මැතිනිය ඉදිරිපත් වෙනවාට ඡේ.ආර්. භය වුණා. මේ ආණ්‌ඩුව ආපු හැටියේම මහින්ද ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිතිය නැති කළෙත් ඒ බයට. ඒක මහින්ද ජනාධිපතිතුමාගේ විතරක්‌ නෙමෙයි, රටේ සියලු ජනතාවට එතුමා, ඒ කියන්නේ තමන්ට සුදුසු නායකයා තෝරා ගැනීම සඳහා වූ අවස්‌ථාව නැති කළා. එතැනින් නතර වුණේ නැහැ… තව රාජපක්‌ෂවරුන් තුන්දෙනෙකුගේ ප්‍රජා අයිතිය නැති කළා. ඒ කියන්නේ රාජපක්‌ෂවරු හතර දෙනෙකුගේ ප්‍රජා අයිතිය නැති කළා. දෙන්නෙක්‌ගේ ඉවත් කර ගන්න පුළුවන්… තව දෙන්නෙකුට බැහැ. එහෙම තත්ත්වයක්‌ තියෙද්දී මේ වගේ වෙලාවක, නියමිත වෙලාවේදී ඒ තීන්දුව ගැනීමත් මහින්ද ජනාධිපතිතුමා ඉටු කරාවි…

ප්‍රශ්නය – ප්‍රජා අයිතිය සඳහා දැමූ බාධක ඉවත් කරගන්න පුළුවන් රාජපක්‌ෂලා දෙන්නා කවුද…? ඉවත් කර ගන්න බැරි දෙන්නා කවුද…?

පිළිතුර – ඉවත් කර ගන්න පුළුවන් දෙන්නා තමයි, ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයත් මමත්… මොකද අපි දෙන්නාට ඒ පුරවැසිකම ඉවත් කර ගන්න පුළුවන්… නාමල් රාජපක්‌ෂට දැම්මේ වයස්‌ සීමාව, ඒක ඉවත් කර ගන්න බැහැනේ… මහින්ද ජනාධිපතිතුමාට දැම්මේ, තුන්වෙනි වරට ඉල්ලන්න බැහැ කියන එක. ඒකත් ඉවත් කර ගන්න බැහැ.

ප්‍රශ්නය – ඔබ සහ ගෝඨාභය රාජපක්‌ෂ මහතා ඇමරිකන් පුරවැසිකම ඉවත් කර ගැනීම සදහා අදාළ කටයුතු යොදා තිබෙනවාද…

පිළිතුර – මම නම් ඒ සඳහා කටයුතු යොදා නැහැ… ගෝඨාභය රාජපක්‌ෂ මහත්මයා ඒ සඳහා අවශ්‍ය අවස්‌ථාවේ කටයුතු කරාවි.

ප්‍රශ්නය – පොහොට්‌ටුවේ පළාත් පාලන නියෝජිතයන් සිටින්නේ ඔබ සමග… ඒ වගේම ඒකාබද්ධ විපක්‌ෂයේත් ඔබගේ පිරිසක්‌ සිටිනවා… මේ නිසා මහින්ද පාර්ශවයේ අවසන් තීන්දු ගැනීමේදී පමණ ඉක්‌මවා ගිය බලයක්‌ ඔබ සතුව තිබෙනවා…

පිළිතුර – එහෙම එකක්‌ නැහැ… මම සමග සියලුදෙනා ඉන්න පුළුවන්, නමුත් අපි තීන්දු තීරණ ගන්න විදිහක්‌ තියෙනවා. මම කරන්නේ සංවිධාන කටයුත්තක්‌…

ප්‍රශ්නය – පසුගියදා පැවති නියෝජ්‍ය කථානායක තේරීමේ ඡන්දයේදී, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය දීම සඳහා ඒකාබද්ධ විපක්‌ෂය තීන්දුවක්‌ අරගෙන තිබුණත් එය අවසාන වශයෙන් වැළකී ගියේ ඔබ ඇතුළු කණ්‌ඩායමක අවශ්‍යතාව නිසා බව කියවෙනවා… මේ තීන්දුව පිළිබඳව මහින්ද රාජපක්‌ෂ මහතා පවා කලකිරීමෙන් ප්‍රකාශ කළ බව සඳහන් වුණා… මේක ඔබ කියන අන්දමේ පක්‌ෂයේ සංවිධාන කටයුත්තක්‌ නෙමෙයි. එම සංවිධාන කටයුතු ඉක්‌මවා ගිය කාර්යයන් ඔබගේ මූලිකත්වයෙන් කෙරෙන බවට හොඳම සාක්‌ෂියක්‌ මේක…

පිළිතුර – මම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ නෙමෙයි… ඒක මුලින්ම කියන්න ඕනේ… ඔය සිද්ධිය අවස්‌ථාවේ මට අධිකරණයට යන්නට සිදුවෙලා තිබුණා. ඒ එක්‌කම මම ඒ දවස්‌ ටිකේ අසනීප තත්ත්වයකිනුත් හිටියා. ඒ නිසා මට ඔය ගැන කතා කරන්න අවස්‌ථාවක්‌ ලැබුණේ නැහැ. එදා උදේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පිළිබඳව දුරකථනයෙන් කතා කළා. ඒ වෙනකොට අන්ගජන් මන්ත්‍රීතුමාගේ නමත් මේ සඳහා ඉදිරිපත්වෙලා තිබුණා. ඊට ඉස්‌සෙල්ලා පොදුවේ අපි හිතුවේ, තිලංග සුමතිපාල, නියෝජ්‍ය කථානායක තනතුරෙන් ඉල්ලා අස්‌ නොවිය යුතු බවයි. ඔහු ඇමැති තනතුරක්‌ නොදරන, පාර්ලිමේන්තුව විසින් තෝරා ගත් කෙනෙක්‌ නිසා ඔහු ඒ තනතුරේ සිටිය යුතු බවයි. ඔහු වෙනත් විදිහකින් ඉවත් කරන සූදානමක්‌ තිබීම නිසා, තමයි මේ සිද්ධිය ඇතිවුණේ… මේ සිද්ධියෙන් පස්‌සේ, යම් යම් අදහස්‌ වගයක්‌ මම ප්‍රකාශ කරපු බව ඇත්ත… ඒක අභ්‍යන්තර සාකච්ඡාවකදී මම ප්‍රකාශ කළා. ඒක එක මතයක්‌ විතරයි. එතකොට මේ සිද්ධිය වෙලා ඉවරයි.

ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණය පිළිබඳව රටේ කතාබහක්‌ ඇතිවී තිබෙන අවස්‌ථාවේ, බැසිල් රාජපක්‌ෂ ලැහැස්‌ති වෙන්නේ පළාත් සභා මැතිවරණයකට… මේකට හේතුව මොකක්‌ද…?

පිළිතුර – මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කිරීම සඳහා ප්‍රධාන අවස්‌ථා හතරක්‌ තිබෙනවා. ඒ තමයි පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ කියන අවස්‌ථා. මේ හතරම අපේ රටේ ජනතාවට තියෙන ප්‍රධානතම අවස්‌ථාවන්… අපි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලඑළි බැස්‌සේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන්… අපිට අවුරුද්දක්‌ පිරෙන්න යන අවස්‌ථාවේදී තමයි මේ මැතිවරණය පැවැත්වුණේ… ලංකාවේ පැරණි දේශපාලන පක්‌ෂ සියල්ල අභිබවා එම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන්න අපිට පුලුවන් වුණා. කොට්‌ඨාශ 4096 යෙන් 3545ක්‌ අපි ජයගත්තා. සමහර දිස්‌ත්‍රික්‌වල 95% – 98% දක්‌වා අපි කොට්‌ඨාශ ජයග්‍රහණය කරලා තියෙනවා. ප්‍රදේශීය සභා රාශියක කොට්‌ඨාශ සියල්ල අපි දිනලා තියෙනවා. ඒ සමගම අපි පළාත් සභා ඡන්දය බලාපොරොත්තු වෙලා ඉන්නවා. දෙවැනි කාරණය තමයි, අපේ පක්‌ෂයේ ආරම්භයේ ඉඳලා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු මෙන්ම පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරු අපිට විශාල සහයෝගයක්‌ දැක්‌වුවා. දැනට පළාත් සභා තුනක මන්ත්‍රීවරු අයින් කරලා, ඒවා විසුරුවලා මාස හයක කාලයක්‌ ගතවෙනවා. ලබන සැප්තැම්බර් වෙනකොට තවත් තුනක්‌ විසිරෙනවා. අපි දැන් එම ඡන්ද ලබා ගැනීම සඳහා සටන් කරන්න ඕනේ… වෙනදාට නම් විපක්‌ෂයකට තියෙන්නේ ආණ්‌ඩුව විසින් පවත්වන ඡන්ද සඳහා සූදානම් වෙන්නයි… අපිට ඊට වැඩ වෙනස්‌ විදිහට, ඡන්ද ඉල්ලන්නත් සටන් කරන්න සිදුවෙලා තියෙනවා.

ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින එක්‌ කණ්‌ඩායමක්‌, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටිමින් එජාපයට එරෙහිව කටයුතු කරන බව පෙනෙනවා. ඔබ දරන්නේ ඊට වෙනස්‌ මතයක්‌ බව පෙනී යනවා…

පිළිතුර – පොහොට්‌ටුවට තනියෙන් පළාත් පාලන ඡන්දය දිනන්න බැහැ කියපු පිරිසක්‌ හිටියා. ඒත් ජනතාවගේ මතය එය නොවන බවත් අපිට එම මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත් මම කිව්වා. ඒ මොකද, ජනතාව විරුද්ධ මේ යහපාලන ආණ්‌ඩුවටම මිසක්‌ ඒකෙ එක එක කෑලි වලට නෙමෙයි කියලා අපි දන්නවා. ජනතාව අපිට ඡන්දය දුන්නේ ඒකට… දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ ළඟදි ඔය ගැන හොද විග්‍රහයක්‌ කළා. පොහොට්‌ටුව, එක පැත්තක තියලා, අලියා, අත, බුලත් කොලය, සීනුව, ගෙදර, ගහ ආදී සියලු ලකුණු පරාජය කළා කියලා, එතුමා කිව්වා. ජනතාව ඒක කළා. ඒක තමයි මම කියන්නේ. අද මේ රටේ සිද්ධ වෙලා තියෙන සියලු හොරකම් වලට, සියලු අපරාධ වලට සියලු වැරදි ප්‍රතිපත්ති වලට, රට බෙදෙන ව්‍යවස්‌ථා ගෙන ඒම් වලට, මේ සියලු වැරදි වලට මේ සියලු දෙනා වගකියන්න ඕනේ. අපේ ආණ්‌ඩුව කාලයේ වැරැද්දක්‌ වුණහම එක්‌කෙනෙකුට දෙන්නෙකුට දොස්‌ කියලා සමහරු, අද මේ ආණ්‌ඩුවේ ඇමැතිකම් අරගෙන ඉන්නවා. නැත්නම් මෙහෙන් ගිහිල්ලා, දවල් එකහමාරටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ පත්වීම් දාහක්‌ දීලා, දෙකහමාරට පුවත්පත් සාකච්ඡාවක්‌ තියලා පොදු අපේක්‌ෂකයා වෙන්න පුළුවන් වුණාට, අපිට ඒක කරන්න බැහැ. ඔක්‌කොම හවුලේ භුක්‌ති විඳලා ඊට පස්‌සේ, තමන් තනියෙන් ගැලවෙන්න හදනවා. අදත් ආණ්‌ඩුවේ ඉඳගෙන ඒකයි කරන්න හදන්නේ. මේකේ කොටස්‌ දෙකක්‌ තුනක්‌ නැහැ. ඔක්‌කොම එකට ඉන්නේ… ජනතාව කියන්නේ මේ ආණ්‌ඩුවම එපා කියලා මිසක්‌, එක එක කෑල්ල එපා කියලා නෙමෙයි. ජනතාව අද කියන්නේ ආණ්‌ඩුව එපා කියලා මිසක්‌, ආණ්‌ඩුවේ අර කෑල්ල එපා කියලා නෙමෙයි.

ප්‍රශ්නය – මේ වින්නඹුකම් කරලා ඔබ බලාපොරොත්තු වෙන්නේ, ඊළඟ ආණ්‌ඩුවේ අගමැතිකම ද…?

පිළිතුර – මට එහෙම බලාපොරොත්තු නැහැ… මේ රටේ ජනවාරි අට වැනිදා සිද්ධ වෙච්ච දේ යම් වගකීමක්‌ මටත් තිබුණා. ඒ පරාජයේ වගකීම මම තනියෙන්ම භාර ගත්තා. මගේ කාර්යය භාරයේ අඩුවක්‌ එදා ආණ්‌ඩුවේ තිබුණා. මේ තරම් රටට හානිකරන ආණ්‌ඩුවක්‌ එයි කියලා, එදා ඡන්දය දුන්න අයත් හිතන්න නැතුව ඇති. මේ රටේ ඒකීයභාවයට වෙච්ච හානිය කොතරම්ද…? රටේ ජාතික ආර්ථිකය මේ ආණ්‌ඩුව සම්පූර්ණයෙන්ම විනාශ කළා. මේ ආණ්‌ඩුව පරාජය කිරීම සඳහා මට කළ හැකි කාර්යයක්‌ තිබෙනවා. ඒ කාර්යය මම ඉෂ්ට නොකළොත් මේ මවුබිමට අපි අතින් ඉටුවිය යුතු යුතුකමක්‌ පැහැර හැරියා වෙනවා. අපි මේ රටෙන් ත්‍රස්‌තවාදය තුරන් කරලා, සැම දෙනාගේම ජීවත්වීමේ අයිතිය තහවුරු කළා. ඒ අවස්‌ථාවේත් මම සෑහෙන කාර්ය භාරයක්‌ ඉෂ්ට කළා. යුද්දේ තියෙන වෙලාවේ, මම තරම් උතුරු නැගෙනහිර පළාත්වල කිසිම කෙනෙක්‌ යන්න නැතුව ඇති. සිංහල අවුරුදු දෙකක්‌ම මම ගත කළේ ඒ පළාත් වල. උතුරට අවශ්‍ය ආහාර, බෙහෙත්, ආදිය යවන්න අපි කටයුතු කළා. මේ රටට ජාත්‍යන්තර බලපෑම් ඇවිල්ලා අපේ සටන නතර කරන්න හදනකොට, ඒක නැවැත්වීමේ වගකීම මට භාර දුන්නා. එදා ඡේ. ආර්.ජයවර්ධන වඩමාරච්චි සටන නතර කළේ ඇයි කියලා හැමෝම දන්නවා. ඒ බලපෑම මේ පාරත් අපිට ආවා. අපි ඒ ගැන හොඳට හදාරලා, එවැනි දෙයක්‌ නොවන විදිහේ වගකීම මම අරගෙනයි තිබුණේ… කරුණානිධි මහ ඇමැති උපවාස කරමින් ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරන කොට ඒ බලපෑම, නතර කරන්න භාර වුණේ මට. මදුරාසියේ නැව් වල පටවලා, රතුකුරුසය හරහා නැතිව ඇඳුම් එවන්න, කෑම එවන්න හදනකොට ඒවා අපි භාරගෙන බෙදපු නිසා තමයි මේ ප්‍රශ්න එතැනින් ඉවර වුණේ… මේ වගේ අවස්‌ථා රාශියක්‌ අපිට මඟහැර ගන්න පුළුවන් වුණා. අපි එහෙම ගරු කරපු මේ මවුබිම වෙනුවෙන් අපිට අදත් යුතුකමක්‌ ඉටු කරන්න තියෙනවා. ඒ කාර්යය අපි ඉටු කරන කොට සමහරු ඒක වැරදි විදිහට සමාජයට අවබෝධ කරවන්න හදනවා. ඒ නිසා මම ඉල්ලීමක්‌ කරනවා, අපි එහෙම තනතුරු ගැන කිසිම බලාපොරොත්තුවක්‌ නැහැ. ඒ නිසා අපිට එහෙම කතා ගොතන්න එපා කියලා.

– divaina

121 views

9 Comments to “රාජපක්‍ෂවරුන් සිවු දෙනෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසියි…”

  1. polonnaruve wije says:

    ලංකාව නිවහල්, ස්වාධීන රටක් නොවන බව “නිව්යෝර්ක් ටයිම්ස්” සහ ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලීසිය සිංහලයන්ට කියාදෙන පාඩමයි. ඇමෙරිකාවේ මාධ්‍යවේදීන්ටත් ලංකාවේ පාලනය  හැසිරවිය හැකිනම්, ඇමෙරිකාවේ පුරවැසිභාවය වෙනුවෙන් වාල්කම් කරන සිංහලයන් ඉන්නේ නම්,ඇමෙරිකාව ඇතුලු බටහිර ඉංග්‍රීසියෙන් කියනදේ උත්තරීතරනම් සිංහලයන්ගේ දීනකම එයින්ම පෙනේ….!

    • manel says:

      His real name is 10-50%. How can he be a God father? May be the God father to the Rajapassa family. Normally the God fathers are not crooks anyway.

  2. Wijebahu says:

    Kiya Kiya innanathuwa oka wahama kalayuthui.

  3. සීගිරි says:

    බටහිර බලවතුන්ගේ plan A යහපාලන රජය පවත්වාගැනීම නම්…ඔවුන්ගේ plan B කුමක්ද ?
    ඔවුන්ගේ plan B රාජපක්ෂලා නැවතත් බලයට ගෙන ඒමයි…

  4. Hari says:

    Rajapksha warunge praja aithiya ahosi kranna issara PARANA NADU TIKKA katha karala inna etha kotta nekanma AHOSI WAEI

  5. Kiwan says:

    He had involved for few assassination happened in Rajapaksa regime, He had a dream to become a PM that case he had sent few famous people to under the ground .

  6. බබා says:

    දැන් මේ හොරාකාල ඒව අහුවෙලා ගලේ පැහැරූ බලලාගේ තත්ත්වයට පත්ව සිටින රෙජිමයට අනුකම්පාව ලබාගැනීම මෙම ලිපියේ මාතෘකාවේ අරමුණයි. වැඩේ වරදින විට රට පනින තියරිය 10% මෙන්ම සුදුවෑන් කොටාගේද තියරියයි. මුන්ගේ රටට කිසිදු ආදරයක් නැත. තවදුරටත් රට සූරාකෑම රෙජිමයේ එකම අරමුණයි.