‘රාජරාජ’ නම් චෝල ආක‍්‍රමණිකයාගේ යුගයට ලංකාව ගෙන යන බව ජනපති මෛත‍්‍රී කියයි..

August 12, 2018 at 9:20 am | lanka C news
‘රාජරාජ’ නම් චෝල ආක‍්‍රමණිකයාගේ යුගයට ලංකාව ගෙන යන බව ජනපති මෛත‍්‍රී කියයි..

‘දැන්වත් ගෙදර පලයල්ලා’ කියා මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත් පාලන ඡන්දයෙන් ලබාදුන් පණිවිඩය තේරුම් නොගෙන රට දිනෙන් දිනම අගාධයට රැගෙන යන මේ ආණ්ඩුවට එම පණිවිඩය යළි වෙනත් අයුරකින් ලබා දෙන දිනය ‘සැප්තැම්බර් 05 වැනිදා’ බවත් එදිනට ලක්‍ෂ සංඛ්‍යාත ආණ්ඩු විරෝධී ජන ගඟකින් කොළඹ නගරය පිරී ඉතිරී යනු ඇති බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී ‘රට බෙදන – රට විකුණන – රට වනසන – පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය කොළඹට’ යන තේමාව යටතේ පැවැති ජනහමුව අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘නූතන පස්වැනි මිහිඳු’

“ගෙවුණු අවුරුදු තුන මේ රට හතරගාතෙන් ඇදවට්ටපු අවුරුදු තුනක්. එහෙම තිබියදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියනවා, ‘මම මේ රට ක්‍රි. ව. 1000 දී තිබුණු තැනට ගෙන යනවා’ කියලා. ඒක නම් හරියටම හරි. එයා පවසලා තියෙන්නේ ඇත්ත. එයාලා මේ රට අරගෙන යමින් තිබෙන්නේ අවුරුදු 1000කට කලින් තිබුණු තැනට තමයි. ක්‍රි. ව. 1018 වන විට ‘රාජ රාජ’ නැමති චෝල ආක්‍රමණිකයා මේ රට අල්ලා ගෙනයි හිටියේ. ඊට කලින් හිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි පාලකයෙක්.

ක්‍රි. ව. 1017 දක්වා රජකම් කළ පස්වැනි මිහිඳු තමයි ඒ පාලකයා. ඔහු තමයි අනුරාධපුර යුගයේ හිටපු අසාර්ථකම පාලකයා. ඔහුගේ පාලන කාලය තුළ ජනතාවට විශාල බදු බරක් පැටවූවා. අවසානයේ ජනතාව බදු ගෙවීමෙන් වැළකුණා. ඒ සමඟම මහා භාණ්ඩාගාරය හිස් වුණා. රටේ ආර්ථිකය බිඳ වැටුණා. ජනතාව රජු කෙරෙහි කලකිරුණා. රටේ ආරක්ෂාවත් බිඳ වැටුණා. මේ තත්ත්වය දැකපු ‘රාජ රාජ’ නම් චෝල ආක්‍රමණිකයා පස්වැනි මිහිඳු සිහසුනෙන් නෙරපා හැර මේ රටේ පාලනය සියතට ගත්තා. අදත් මේ නූතන පස්වැනි මිහිඳු සියල්ල ඉන්දියාවට ඩැහැගත හැකි වාතාවරණයක් හදා තිබෙනවා.

‘ළඟින් යන්න එපාෟ ඉන්දියාවට විකුණයි’

මත්තල ගුවන්තොට, කන්කසන්තුරේ වරාය, පලාලි ගුවන්තොට, ත්‍රිකුණාමල වරාය (ඉන්දියන්-ජපන්- සිංගප්පූරු හවුල් සමාගමකට) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යන සියල්ල මේ බ්‍රෝකර් සහ ජෝකර් ඉන්දියාවට දීමට සූදානම්. ඒ විතරක් නොවෙයි බ්‍රෝකර් අගමැති කියනවා, ‘සීගිරි ගලත් ඉන්දියාවට දීලා දියුණු කරනවා’ කියලා. ළඟින් යන්න එපාෟ තමුන්නාන්සේලාවත් ඉන්දියාවට විකුණාවි, ‘දියුණු කරලා දෙන්න’ කියලා. මේ සියල්ල ඉන්දියාවට ඩැහැගන්න දුන්නොත් ඉදිරියේදී දුටුගැමුණු රජතුමා රජ වුවත් ඒ උගුලෙන් රට ගලවා ගැනීමට හැකි වන්නේ නැහැ. ඉන්දියානු අර්ධ කොලනියක් බවට මේ රට පත් කරන ගමනක් තමයි මේ පරගැති ආණ්ඩුව යමින් සිටින්නේ.

‘ඔටුන්න රජුගේ වුවත් රට ජනතාවගෙයි’

ලෝකයේ වැඩිම නැව් ප්‍රවාහනය සිදුවන නව සේද මාවතේ තමයි ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ. ඒ අනුව තමයි හම්බන්තොට වරාය ලෝකයේ වැදගත් වරායන් 10න් එකක් ලෙස පිළිගැනුණේ. තාක්ෂණය කොපමණ දියුණු වුවත් නාවික ප්‍රවාහනය හෑල්ලු වෙන්නේ නැහැ. එහි වැදගත්කම එලෙසම පවතිනවා. තවමත් ලෝකයේ ඉන්ධන ප්‍රවාහනයෙන් 50%ක් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් 70%ක් පමණ සිදු වන්නේ නැව් මගිනුයි. මේ සාගර කලාපයේ බලය තමන් සතු කර ගැනීමට බලන ඕනෑම බලවතකුට ශ්‍රී ලංකාව ඉතාම වැදගත්. ශ්‍රී ලංකාවේ පාලන සුක්කානම තමන් අතට ගන්නයි මේ අය හදන්නේ. ඉන්දියාව හා ඇමෙරිකාව වගේම චීනයත් මේ සාගර කලාපයේ බලය තමන් සතුකර ගැනීමට හදනවා. දැන් කෙසේ හෝ චීනය හම්බන්තොට වරාය තමන් සතුකර ගෙන තිබෙනවා. අර ‘සුවපති’ කියනවා වගේ ඒක ‘බැලන්ස් කරන්න’ මත්තල ගුවන්තොටුපළ ඇතුළු ඉහත කී සියලු ආර්ථික මර්මස්ථාන ඉන්දියාවට ඩැහැගැනීමට දීමයි මේ පාලකයන් කරන්නේ. මේ නිසා මේ රට අවසානයේදී ඉන්දු – චීන යුද ගැටුමක ගොදුරක් බවට පත්වේවි. මේ රටේ අනාගත දූ දරු පරම්පරාවයි මේ විදියට අනතුරට ඇද දමන්නේ. අපි මේ රටට ආදරේ නම් මේ විනාශයට එරෙහිව සටන් කරන්න ඕනේ. කෝච්චිය නැති වන විට විතරක් නොවෙයි මත්තල ඇතුළු මේ ජාතික සම්පත් විකුණා දමන විටත් පාරට බැහැලා සටන් කරන්න ඕනෙ.

අපි මතක තබා ගත යුතුයි ‘ඔටුන්න රජුගේ වුවත් රට ජනතාවගෙයි’ කියා. ඒ නිසා ඔටුන්න දාගෙන රට තාවකාලිකව භාරගත්තු අය, රට සදාකාලිකව බිලිදෙන්න හදනවා නම් ඒකට ජනතාව විරුද්ධ විය යුතුයි. ඒක අපේ වගකීම. දැන් මේ පාලකයන්ට අපි කියන්න ඕනේ ‘මහත්තයෝ ඔයාලා ඔටුන්න දාගත්තේ තාවකාලිකව. ඒ නිසා මේ රට සදාකාලිකව බිල්ලට නොදී දැන් ඉතිං ගෙදර පලයල්ලා’ කියලා.

‘සජිත් ප්‍රේමදාසට යළිත් අභියෝගයක්ෟ’

අද මේ ආණ්ඩුවේ ඇමතිලාගේ තියෙන්නේ කටේ නරිවාදම විතරයි. අනෙක් හැමෝටම අවලාද ගහන එකයි එයාලාගේ වැඬේ. අර ‘බිම් මට්ටමේ ගම් මට්ටමේ නිවාස ඇමති’ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එහෙම කෙනෙක්. එයාට කියලා නිවාස ව්‍යාපෘතියක් හදා ගන්න උවමනානම් නිදන් වස්තු තියෙන ඉඩමක් පෙන්නන්න. එයා පටගාලා වැඬේට බහිනවා. එළාර – දුටුගැමුණු අවසන් සටන සිදු කෙරුණු අනුරාධපුරයේ විජිතපුර බලකොටුව පිහිටි පුරාවිද්‍යා ස්ථානයේ නීතිවිරෝධි ලෙස නිවාස සංවර්ධන අධිකාරිය නිවාස ව්‍යාපෘතියක් පටන් ගත්තා. එතැන නිදන් ටික අතුරුදහන් වුණා. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ භූමිය ඩෝසර් කළ දිනයේ නිවාස ඇමතිවරයා හිටියේ අනුරාධපුරයේ කුමන හෝටලයේ ද? ඒ නිසා මම සජිත් ප්‍රේමදාස මහත්තයාට යළිත් අභියෝග කරනවා. ‘මහත්තයෝ අතන මෙතැන බයිලා ගහලා වැඩක් නැහැ. ඔබ නායකයකු නම් මා සමඟ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විවාදයකට එන්න. එතැනදී නිවාස, ඉදිකිරිම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා ලෙස මගේ කාලයේ කෙරුවාවත්, ඔයාගේ කාලයේ කෙරුවාවත් කථා කරමු. ඒ වගේම මම එදාට කියන්නම් ‘රුපියල් 5000 කොළ හොරාට අච්චු ගහලා බැංකුවට දාන්න ගියේ කාගේ සහෝදරිය ද, ඒ හොරකම අහු වුණාම, ඊට අදාළ විමර්ශන නතර වුණේ කා සමග ඩීල් දමලා ද? කියා.

‘ජනතා මුදලින් සුරසැප විඳීම’

මේ සියලුදෙනා එකතු වෙලා මේ රට රැගෙන යන්නේ යළි ගොඩ ඒමට නොහැකි අගාධයකටයි. දැන් බලන්න, ඇමති ෆොන්සේකාම කියනවා, ‘මට ලැබෙන්නේ රුපියල් ලක්‍ෂ තුනහමාරක මාසික වැටුපක්. ඒක තනිකඩයකුට නම් ඇති’ කියා. ඉතින් දැන් ඒ පඩිය එයාටත් මදිනම් වැඩි පඩි ඉල්ලා දුම්රිය සේවකයන් වර්ජනය කිරීම අසාධාරණ ද? ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ‘අධීක්‍ෂණ’ කෑල්ලක් දාලා මාසිකව වැඩිපුර රුපියල් ලක්‍ෂ දෙකක් දෙනවා. ඒවා හොඳට කෙරෙනවා. ඒ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අද නීත්‍යනුකූලව රුපියල් ලක්‍ෂ 07ක පමණ මුදලක් මාසිකව ලැබෙනවා. ජනතාව මත බදු පිට බදු ගහලා ඒ ජනතා මුදල්වලින් සුරසැප විඳින පරපුටු පාලනයක් තමයි අද තිබෙන්නේ. මේ අඳුරු පාලන යුගයෙන් මේ රට එළියට ගන්නට ඕනෙ.

‘සැප්තැම්බර් 05 වැනිදා’

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ රටේ ජනතාව මේ පරපුටු ආණ්ඩුවට කන පැළෙන උත්තරයක් ලබා දුන්නා. පළාත් පාලන මැතිවරණවලින් මේ රටේ ඉතිහාසය පුරා ජයග්‍රහණය කළේ බලයේ සිටි ආණ්ඩුවයි. නමුත් බලයේ ඉන්න ආණ්ඩුව පරදවා, කලින් බලයේ සිටි පිරිසට පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය එදා මේ රටේ ජනතාව විසින් ලබා දුන්නා. එවැනි මැතිවරණයකින් එවැනි පණිවිඩයක් ලබා දුන්නත් මේ ආණ්ඩුව එම පණිවිඩය භාර ගත්තේ නැහැ. එවැනි පණිවිඩයකින් පසුවත් මේ ආණ්ඩුව බැහැලා යන්නේ නැත්තම් කුමක්ද කළ යුත්තේ ? මහ පාරේ අරගලය දියත් කිරීමයි. ‘තවදුරටත් මේ රට වනසන්නේ නැතිව අපට වද නොදී පලයල්ලා’ කියන පණිවිඩය ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා ලබාදිය යුතුයි. ඒ දිනය තමයි 2018 සැප්තැම්බර් මාසයේ 05 වැනිදා. ඒ සටනට අපි දැන් සිටම සැරසෙමුෟ ‘දැන්වත් බැහැලා පලයල්ලා’ කියා 2018 පෙබරවාරි 10 වැනිදා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් සියලුදෙනා එදාට කොළඹට රොද බඳිමුෟ ‘පරගැති – වැඩබැරි – හිඟන ආණ්ඩුව පලවා හරින සටන ජයග්‍රහණයෙන් කෙළවර කරමුෟ”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

272 views