රා බීම ඉහල යයි..

February 15, 2017 at 5:30 pm | lanka C news
රා බීම ඉහල යයි..

මේ වන විට බියර් අලෙවි පරිමාව සියයට 40 කින් පහළ ගොස් ඇති බවත් බියර් සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය සියයට 70 කින් ඉහළ දැමීම ඊට හේතු වී ඇති බවත් ලයන් බියර් සමාගම කියා සිටී. 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශය එළිදක්වමින් සමාගම මේ බව කියා සිටී.

මෙහිදී වැඩිදුරටත් සමාගම සඳහන් කර සිටින්නේ බියර් සඳහා වූ බදු 2015 ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී සියයට 70 කින් ඉහළ යද්දී අරක්කු ඇතුළු සැර මත්පැන් සඳහා බදු වැඩි කිරීම සියයට 25 ක් වූ නිසා බියර් සඳහා වූ ඉල්ලුම සැර මත්පැන් වෙත විතැන් වී ඇති බවයි. එසේම මද්‍යසාර සාන්ද්‍රණය සියයට 5 හෝ ඊට වැඩි බියර් සඳහා වන බද්ද ලීටරයක් සඳහා රුපියල් 315 ක් වන බවත් මීට සමාන මද්‍යසාර සාන්ද්‍රණයක් ඇති රා වලට අයකරනු ලබන්නේ ලීටරයකට රුපියල් 50 ක බද්දක් පමණක් බවත් ලයන් සමාගම වැඩිදුරටත් අනාවරණය කර සිටී. මේ තත්ත්වය තුළ වර්තමානයේ දී බොහෝ දෙනා රා පානය සඳහා යොමුව ඇති බව සමාගම කියා සිටී.

මේ අතර 2016 නොවැම්බර් මාසයේ සී වැට් බදු හඳුන්වා දීම හරහා මත්පැන් මිල ගණන් යළිත් වරක් ඉහළ ගිය බව සමාගම පවසා සිටී.

පසුගිය මැයි මාසයේ දී ගංවතුර ව්‍යසනයට මුහුණ පෑම හේතුවෙන් බියගම ලයන් බියර් සමාගම් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර සුපුරුදු පරිදි එහි මෙහෙයුම් ආරම්භ කරනු ලැබුයේ 2016 දෙසැම්බර් මස ආරම්භයේ දීය.

මේ හේතුවෙන් 2016 දෙසැම්බර් කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 5.3 දක්වා සියයට 35 කින් පහළ ගොස් තිබෙන අතර 2016 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් මිලියන 613 ක අලාභයක් වාර්තා කර තිබේ.

– biz.adaderana.lk

811 views
Main News