රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..

July 19, 2017 at 5:30 pm | lanka C news
රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..

රැකියා ලබා දීමේදී පියපුතු පදනම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද ඉදිරියේදී හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේබව කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ දූදරුවන් වෙනුවෙන් පිදෙන වාර්ෂික සරසවි ශිෂ්‍යත්ව වැඩසටහනට එක් වෙමිනි.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (19) පැවැති එම වැඩසටනේදී 2016 – 2017 වර්ෂය සඳහා සරසවි සුදුසුකම් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ දූදරුවන් 17දෙනකුට ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ යහපත් පුරවැසියකු වීම දෙමාපියන් උදෙසා දරුවන්ට දිය හැකි හොඳම තිළිණය වන බවයි.

“​සරසවි වරම් ලබන්න එක පැත්තකින් දක්ෂයෙක් විය යුතුයි. අනෙක් පැත්තෙන් වාසනාවන්ත විය යුතුයි. නමුත් අපි ඇතැම් විට දකිනවා අවුරුදු 8, 9 විශ්ව විද්‍යාලයේ රස්තියාදු වෙමින් ඉන්න දරුවෝ. මේ ගැන අපේ මේ දූලා පුතාලා හොඳින් හිතන්න. තමන්ගේ අයිතිවාසිකම් දිනාගත හැකි ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඒ ක්‍රමය තමන් තීරණය කරන්න. එක එක්කෙනාට තමන්ව පාලනය කරන්න දෙන්න එපා. විශ්ව විද්‍යාලයේදී තමන්ව පාලනය කිරීම වෙනත් පුද්ගලයින්ට දුන්නොත් සමහරවිට විශ්ව විද්‍යාලයෙන් අත වන වනා එළියට එන්න වේවි. අපිට අවශ්‍ය වෙන්නේ ඉගෙන ගත්ත දරුවෝ. හොඳට ඉගෙන ගත්ත දරුවෝ. අපේ සංස්ථාවේ ඉහළට ඉගෙන ගත්ත දරුවන්ට අවස්ථා තියෙනවා. අපිට ඒ අවස්ථා මේ ආයතනයේ සේවකයින්ගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන්. මමත් අද මගේ දරුවන් නිසා තෘප්තියක් ලබන තාත්තා කෙනෙක්. ඒ තෘප්තිය මෙතන ඉන්න තාත්තාලා අම්මාලාට ලබා දෙන්න පුළුවන් මේ ඉන්න දරුවන්ට. හැමවෙලේම තමන් තීරණයක් ගන්න කොට අම්මා තාත්තා ගැනත් හිතන්න. අම්මා තාත්තාගෙන් අහන්න. එතනින් පටන් ගත්තොත් කවදාවත් වරදින්නේ නෑ……” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වන්නේ 1982 වර්ෂයේ සිටය. එහිදී එක් ශිෂ්‍යත්වලාභියකුට මාසිකව ගෙවනු ලබන දීමනාව රුපියල් පන්දහසක් වේ. අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ තම සේවක සේවිකාවන්ගේ සුභසාධනය උදෙසා සංස්ථාව ගත් මේ පියවර සැබවින්ම අගය කරන බවයි. “මේ කරන්නේ මහා පිංකමක්. අපිට මතකයි අපි පොඩිකාලේ ඉගෙන ගත්ත ආකාරය. ඒ කාලේදී අපි බොහෝම දුෂ්කරතා මධ්‍යයේ ඉගෙන ගත්තේ. ඉගෙන ගන්නා කාලේ යම්කිසි කෙනකුගෙන් යම් සහනයක් ලැබෙනවා නම් එය අගය කළ හැකි මහඟු සේවාවක් බවට පත් වුණා. මිනිස්සු හැදෙන්නේ නැතිව රටක් නිර්මාණය කරන්න අපහසුයි. ලෝකයේ අනෙක් රටවල් දෙස බලන්න. සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව වැනි රටවල් මීට පෙර අපි වගේම දුප්පත් මට්ටමක සිටියේ. නමුත් අද වන විට විශාල ජයග්‍රහණ අත්පත් කර ගැනීමට ඒ රටවල් සමත්ව සිටිනවා. මේ සියලු ජයග්‍රහණ ඔවුන් අත්පත් කර ගත්තේ මිනිස්සු හදලා. මිනිස්සු හදන ගමන් ගොඩනැඟිලි හැදුවා. යාන වාහන හැදුවා. අපිටත් මෙය කරන්න පුළුවන්. සැබෑ ලෙසම රටට අවශ්‍ය වෙන්නේ වෙලාව බලන්නේ නැතිව රටවෙනුවෙන් වැඩ කරන පිරිස්….” යැයිද අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.

– තමීර මංජු

90 views

One Comment to “රැකියා ලබා දීමේදී පියපුතු පදනම තෙල් සංස්ථාවටත් හඳුන්වා දෙනවා..”

  1. sangabo says:

    Ai Sahodara Samagam Kramaya ?

Main News