රැකියා 150,000 වැඩසටහන ජනපති විමසුමට…

August 18, 2020 at 2:10 am | lanka C news

සැප්තැම්බර් 02 වැනිදා සිට ක්‍රියාත්මක එක්ලක්ෂ පනස්දහසක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වෙයි.

සුදුසුකම් සපුරා ඇති උපාධිධාරීන් හදාරා ඇති විෂය මාලාව අනුව අදාළ ක්ෂේත්‍රයේ රැකියා සඳහා යෙදවීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තෝරා ගැනීමේදී සෑම ග්‍රාම සේවා වසමකම දරිද්‍රතාවයෙන් ඉහළම පිරිස තෝරා ගැනීමට පියවර ගත යුතුයැයි ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

රැකියා එක්ලක්ෂ පනස්දහසේ වැඩසටහනේ ඉදිරි වැඩ පිළිබඳව සාකච්ඡාවේදි ජනාධිපතිතුමා මේ බව පැවසීය.

රාජ්‍ය සේවයේ ඇති දුර්වලතා සහ අඩු පාඩු මග හැරෙන ලෙස රැකියාගත පුහුණුවක් ලබාදීමේ (on the Job Training) අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පෞද්ගලික අංශයේ පුහුණුව සඳහා ද අනුයුක්ත කෙරේ. නායකත්වය, ඉලක්ක සපුරා ගැනීම, විශ්වාසී හැඟීම යන කරුණුවල ප්‍රමුඛතාව වසරක පුහුණු කාලයට එක්කර ගත යුතුයැයි ද ජනාධිපතිතුමා කීය.

නව රාජ්‍ය අමාත්‍යාංශවල ඉලක්ක සුපරා ගැනීමටද උපාධිධාරී රැකියාලාභින් යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මහ මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රීක්ක රැසක කල චාරිකාවේදී බොහෝ පිරිස් පාසැල්වල ඇති ගුරු හිඟය පිළිබදව ජනාධිපතිතුමා දැනුවත් කළහ. නව පත්වීම්ලාභීන් ඒ සදහා පත්කිරීමට ද තීරණය කෙරිණ.

රැකියා ලක්ෂය සදහා තෝරා ගැනෙන අඩු ආදායම්ලාභීන් වෘත්තීන් 24ක ඇති පුරප්පාඩු සඳහා යොමු කෙරේ. ඔවුනට පුහුණුව ලබාදීම ආධුනිකත්ව මණ්ඩලය සිදු කරයි.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ

– ජනාධිපති මාධ්‍ය අංශය

5,187 views
Main News