රියදුරන් ඔලිම්පික් යවලා.. – අර්ජුන යහපාලන රෙදි ටික ටික ගලවයි..

October 9, 2016 at 4:40 pm | lanka C news
රියදුරන් ඔලිම්පික් යවලා.. – අර්ජුන යහපාලන රෙදි ටික ටික ගලවයි..

ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරග සදහා සහභාගි කළ යුත්තේ තමන්ගේ රියදුරන් නොව ක්‍රීඩකයින් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර වත්තේගම තෙන්නකෝන් විමලානන්ද විද්‍යාලයේ පැවැති සේව් ද ස්පෝර්ට්ස් පුහුණු කදවුරේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ වත්මන් ක්‍රීඩා පරිපාලකයින්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ මාධ්‍ය ඔස්සේ පෙනී සිට ස්වකීය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම පමණක් වන බවයි.

ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම මිස තම අභිමතාර්ථ උදෙසා ක්‍රීඩාව භාවිත කිරීම නතර කළ යුතු බවද ඔහු එහිදී අවධාරණය කළේය.

“අපි ක්‍රීඩාවෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නවා. යාළුවෝ ඇති කර ගන්නවා. ඒවගේම තරහකාරයෝ ඇති කරගන්නවා. ජීවිතයට මුහුණ දෙන්න ඉගෙන ගන්නවා. අද දිනන කෙනා හෙට පරදිනවා. අද පරදින කෙනා හෙට දිනනවා. මේක නිදහසේ ලැබෙන අධ්‍යාපනයක්. අවාසනාවකට වගේ මේ රටේ ක්‍රීඩා ලෝලීනටවත් අද මේ ගැන තේරෙන්නේ නැහැ. ක්‍රීඩාව ගැන කතා කරමින් ක්‍රීඩාවේ බලය ලබාගන්න අයටවත් මේක තේරෙන්නේ නැහැ. ඒක රටේ අවාසනාව. සමහර අයට තියෙන ලොකුම අවශ්‍යතාවය රූපවාහිනියේ, පත්තරේ තමන්ගේ පින්තූරය දාගන්න එක. දැන් බලන්න ඔලිම්පික් උළෙලට ක්‍රීඩකයින් නවදෙනෙකු යන විට නිලධාරී හතලිස් පමණ යනවා. නමුත් සිදුවිය යුත්තේ නිලධාරීන් හතලිස් ගාණෙන් භාගයක් අඩු කිරීම. භාගයක් අඩු කරලා ක්‍රීඩා කරන දරුවන්ට අවස්ථාව ලබාදීම. එතොකොට ඒ දරුවෝ ඔලිම්පික් තරග නරඹලා අනාගතයේ යම් දවසක ඔලිම්පික් තරගවලට සහභාගි වෙන්න අවම වශයෙන් අභිප්‍රේරණයක් ලබාගන්නවා. ඒත් මේවට යන්නේ එක එක නිලධාරීන්ගේ යාළුවෝ. මිත්‍රයෝ. මේක ඔලිම්පික්වලට පමණක් සීමා වුණු දෙයක් නෙවෙයි. පසුගිය එංගලන්ත ක්‍රිකට් තරග සංචාරය නරඹන්න මට ආරාධනාවක් ලැබුණා. එහිදී මම එංගලන්ත ක්‍රිකට් සංගමයේ සභාපතිතුමා සමග විශේෂ සාකච්ඡාවකට එක් වුණා. එම සාකච්ඡාවට එංගලන්තයෙන් සහභාගි වුණේ ක්‍රිකට් ප්‍ර‍වීණයන් පමණයි. නිලධාරීන් සිටියේ නැහැ. නමුත් මම දැක්කා අපේ රටේ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් එංගලන්තයට පැමිණි පිරිස. එතැන විස්සක් විතර හිටියා. ඔක්කොම නිලධාරීන්. ක්‍රිකට් ප්‍ර‍වීණයින් නැහැ. ඉතිං මම කල්පනා කළා මේ අපේ රටේ සල්ලි නේද කියලා. අපි උත්සාහ කළ යුත්තේ රටේ මුදල් ඉතුරු කරන්න. මේ මුදල් තමයි අපි පරිස්සම් කරලා මේ දරුවන් වෙනුවෙන් යොදවන්න ඕන. එහෙම නැතුව පරිපාලනයට එන්න ඡන්දයට උදව් කළ අයව, අමාත්‍යවරයාගේ රියදුරාව විදෙස් රටවලට ගෙනයන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ දරුවන්ට ක්‍රීඩාව කියන එක පෙන්වීමයි වැදගත් වෙන්නේ…” යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරායා එහිදී පැවසීය.

සේව්ද ස්පෝරට් ක්‍රීඩා සංවිධානයේ අරමුණ ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරයට හදුන්වා දීම වේ. මහනුවර වත්තේගම තෙන්නකෝන් විමලානන්ද මහා විද්‍යාලයේ පැවතුණේ එම සංවිධානය ඉදිරිපත් කරන ක්‍රීඩා පුහුණු කදවුරු මාලවේ අටවැන්නයි. ක්‍රිකට්, නෙට්බෝල්, පාපන්දු, වොලිබෝල්, බැඩ්මින්ටන් සහ ටේබල්ටෙනිස් ක්‍රීඩා ඊට ඇතුළත් විය. පාසල් 84ක් නියෝජනය කරමින් ඊට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 600කි. ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර ඇතුළු ජාතික මට්ටමේ පුහුණුකරුවන් රැසක් ඊට සම්පත්දායකත්වයෙන් සහභාගි විය. එහිදී අදහස් දැක්වූ යෝගානන්ද විජේසුන්දර මහතා පැවසුවේ මේ වන විට ක්‍රීඩා සංස්කෘතියේ විශාල පරිහානියක් ඇති වෙමින් පවතින බවයි. එය යළි ප්‍ර‍තිෂ්ඨාපනය කිරීමට වහාම පියවර ගත යුතු බවද එතුමා පෙන්වා දුන්නේය.

“දැන් අපි ගියා ලොකු ලොකු තරගවලට. තරගයට ගියා කිව්වා ක්‍රීඩකයෝ නවදෙනෙක්. නරඹන්නන් සහ වෙනත් වෙනත් කාර්යයන් කරන අය 46ක් ගියා කිව්වා. හැබැයි සද්දේ එතැනින් ඉවරයි. ආයි අවුරුදු හතරකින් පසුව ඔය දෙය ඔය විදියට සිද්ධ වෙන බව මතක තියා ගන්න. දේශපාලනය තියෙන්නේ පක්ෂවල පමණක් නෙමෙයි. ක්‍රීඩාවේත් දේශපාලනක් තියෙනවා. ක්‍රීඩාවේත් දේශපාලනයක් තියෙනවා. ඔබ සැමොව දකින්න ඇති පසුගිය දවස්වල ජාත්‍යන්තර ක්‍රීඩාවලදී ජයග්‍ර‍හණය ලැබූ අය පරාජය ලැබූ අය ළගට ගොස් ආදරයෙන් වැළද ගන්නවා. නමුත් අපේ ජාතික ක්‍රීඩා උළෙලේදී ජයග්‍ර‍හණය ලැබූ අය බොහෝම ආඩම්බරයෙන් එහා මෙහා යනවා. පරාජිත අය දිහා බලන්නේවත් නැහැ. උඩගුතාලයෙන් හැසිරුණා. මේක හොද නැහැ. සංවර්ධනය සහ ක්‍රීඩාව එකතු කරලා කථා කරන එක පහසු කාර්යයක් නෙමෙයි. මේ විෂය ඇති වුණේ 1970 දශයේදී. එදා සිට අද දක්වාම මේ ක්‍රීඩා සංවර්ධනය යන්න අර්ථ කථනය කිරීම පහසු දෙයක් වුණේ නැහැ. ක්‍රීඩාව යන්න පැහිදිලි කරන්නේ සංස්කෘතිය යන විෂය පථයෙහි. නැටුම් කලාව වුණත්, සංගීතය තුළ වුණත් රිද්මයානුකූල බවක් තියෙනවා. මේ රිද්මයානුකූලබව නැතුව කිසිම කෙනෙකුට ක්‍රීඩාව කරන්න බැහැ. ක්‍රීඩාවෙන් ක්‍රීඩාවට ඉසව්වෙන් ඉසව්වට පැහැදිලි වෙනස්කම් රාශියක් තියෙනවා. එය වටහා ගැනීමත් තමා විසින් එය මතු කර ගැනීමත් පුහුණුවීම්වලදී සිදු කළ යුතුයි. ලෝකයේ කවුරු පුහුණු කළත් කළ යුත්තේ ශරීරයේ ඇති පද්ධතීන් වර්ධනය කිරීම….” යනුවෙන්ද ඔහු කියා සිටියේය.

– තමීර මංජු

6 views

2 Comments to “රියදුරන් ඔලිම්පික් යවලා.. – අර්ජුන යහපාලන රෙදි ටික ටික ගලවයි..”

  1. Xman says:

    When I read this article only word come to my mind is HYPOCRITE,

  2. silva says:

    Redi galewwada ? redi galawanda meya dakshai

Main News