රුපියලක් වැය නොකර සම්පූර්ණ විදේශ ණය ගෙවිය හැකි ව්‍යාපෘතියක් සූදානම්..

September 16, 2021 at 12:40 pm | lanka C news
රුපියලක් වැය නොකර සම්පූර්ණ විදේශ ණය ගෙවිය හැකි ව්‍යාපෘතියක් සූදානම්..

ශ්‍රී ලංකාවේ මන්නාරම සහ කාවේරි ද්‍රෝණියේ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ඛනිජ තෙල් සම්පත් ගවේෂණය ඉලක්ක කරගෙන ප්‍රථම වරට ගුවන් මගින් සිදුකෙරෙන ගුරුත්වාකර්ෂණ හා චුම්බක ක්ෂේත්‍ර දත්ත රැස්කිරීම හා සමීක්ෂණය මේ වන විට ආරම්භ කර ඇත.

බෙල් ජියෝස්පේස් පුද්ගලික සමාගම විසින් මෙම ගවේෂණ කටයුතු සිදු කෙරෙන අතර බලශක්ති අමාත්‍යාංශයට අයත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙම ව්‍යාපෘතිය මෙහෙයවයි.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් 15 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පැවැත්විනි. බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා එහිදී මෙසේ අදහස් දැක්වීය.

ලංකාවේ තෙල් ගවේශනය පිලිබඳ වැදගත් සන්ධිස්ථානයකට මේ වන විට පැමිණ තිබෙනවා. ලබන මාසයේ ඛනිජතෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වුනේ පසුගිය මාසයේ එය සම්මත කරගන්න. එහෙත් කොවිඩ් තත්වය එක්ක පාර්ලිමේන්තුවේ දින ගණන අතිශය සීමාකාරී වීම නිසා අපට එය ලබන මසට කල් දමා ගැනීමට සිදු වුනා. මෙම පනත සම්මෙත කල පසු ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවනවා. එය කල වහාම ශ්‍රී ලංකාවේ තෙල් ගවේශනයට සහ උකහා ගැනීමට විදේශීය ආයෝජකයන්ට ආරාධනා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

දීර්ඝ කාලයක් පුරා ලංකාවේ ඛනිජතෙල් තිබිය හැකි භූමි ප්‍රදේශය බිම් කැබැලි 20කට කඩලා තිබුණේ. බිම් කැබැලි විශාල වුනාම එක් සමාගමකට තනියම එක බිම් කැබැල්ලක් ගවේශනය කරන්න දිගු කාලයක් යනවා වගේම විශාල වියදමක් දරන්නත් වෙනවා. ලංකාවට පැමිණීමට ආයෝජකයින් මැලි වීමට මේ කාරණයත් බලපෑවා. මෙයට විසදුමක් විදිහට දැවැන්ත කැබැලි 20 ට කඩලා තිබුණු බිම් ප්‍රමාණය අපි කුඩා කැබැලි 873කට කඩලා ගවේශණ සිතියම් නැවත සකස් කලා. ලංකාවට එන ඛනිජතෙල් ආයෝජකයින් තමන් මේ කොටස් 873 න් ගවේශනය කිරීම සඳහා තෝරා ගත යුත්තේ කුමන කැබැල්ල දැයි තීරණය කිරීමට නම් මෙම කැබැලිවල භූ විද්‍යාත්මක තොරතුරු අවශ්‍යයි.

ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ බෙල් ජියෝස්පේස් ආයතනය ගුවන් යානයක් යොදා ගෙන කරන්නේ ආයෝජකයින්ට ලබා දීමට අවශ්‍ය කරන දත්ත රැස් කිරීමයි. මෙම සමීක්ෂණය සඳහා අපට කිසිම මුදලක් වැය වන්නේ නෑ. සමස්ථ වියදම දරන්නේ බෙල් ජියෝස්පේස් සමාගම. ඔවුන් සොයාගන්නා තොරතුරු හා දත්ත වල අයිතිය තියේනනේ ශ්‍රී ලංකා ආණ්ඩුවට. ඒ නිසා අනාගතයේ එන ආයෝජකයන්ට අවශ්‍ය තොරතුරු මේ සමාගම වසින් විකුණලා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුවත් සමග හවුලේ බෙදාගන්නවා. ඉතාම සරලව කිව්වොත් මේක අපෙන් රුපියලක් වත් වැය නොවී රටට විදේශ විනිමය උපයන ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත්වෙනවා.

මන්නාරම් ද්‍රෝණියේ පමණක් අප හඳුනාගෙන තිබෙනවා බොරතෙල් බැරල් බිලියන 2ක් පමණ පවතින බව. තෙල් බැරලයක මිල ඩොලර් 75 ක් ලෙසින් අප ගණන් හැදුවොත් ඩොලර් බිලියන 150ක් වටිනා තෙල් නිධි පවතිනවා. ගෑස් සම්බන්ධයෙන් ගත්තොත් ඝණ අඩි ට්‍රිලියන නවයක් පවතිනවා. ස්වාභාවික වායු එක් ඝණ අඩියක වටිනාකම සත 13ක් ලෙස ගණන් හැදුවොත් ඩොලර් බිලියන 117 වටිනාකමක් එහි තිබෙනවා.මේ දෙකේ වටිනාකම එකතු කර බැලුවොත් ඩොලර් බිලියන 267 යි. ආයෝජකයාට 50% සහ අපට 50% ක් විදියට ගණන් හැදුවත් ඩොලර් බිලියන 133.5 ක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ආණ්ඩුවට උපයා ගැනීමට පුළුවන්. ආණ්ඩුව සහ ආණ්ඩුවේ සියලුම ආයතන එක්ව ගත්තොත් විදේශ ණය තියෙන්නේ ඩොලර් බිලියන 47යි. නමුත් ඒ වගේ තුන් ගුණයක වගේ ආදායමක් මන්නාරම් ද්‍රෝණියේ පමණක් තෙල් සහ ගෑස් විකිණීමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

කොවිඩ් අපට අභියෝගයක් වුණත් අභියෝගයට ද අභියෝගයක් වෙමින් ඉතා වේගයෙන් වැඩ කරලා අපි අලුත් පනත හදාගත්තා. විෂය ප්‍රවීනයන් නිලධාරීන් විදිහට බඳවා ගත්තා. මේ සිතියම අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හැදුවා. දත්ත ටිකත් මෙම සමීක්ෂණය මගින් ලබාගත්තාට පස්සේ අපට තියෙන්නේ ආයෝජකයන්ට ආරාධනා කරන්නයි. මන්නාරමේ එම් 2 කියන කොටසේ ලිං හාරලා ගෑස් සහ තෙල් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. එම් 2 කියන කොටස අපි ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙන්දේසි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතිරි කොටස් ඕනෑම ගවේෂණය කිරීමට කැමති සමාගමක් සමඟ ගවේෂණය සඳහා අපි ගිවිසුමකට එළඹෙනවා. ගිවිසුමෙන් පසුව ඒ අය වියදම් කරලා ගවේෂණය කරලා හොයාගන්න දත්ත අප සතු වෙනවා. එසේම එම ගවේෂණයෙන් තෙල් හො ගෑස් ඔවුන් සොයා ගත හොත් ඔවුන්ට එම තෙල් හා ගෑස් ගොඩගැනීමට අපි ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තු වෙනවා.

මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ මේ නිලධාරීන් මා සමඟ ලෝකයේ විවිධ රටවල තියෙන තෙල් සහ ගෑස් සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන වලට සහභාගී වෙමින් අපේ රටට ඇවිත් ආයෝජනය කරන්න කියන ඉල්ලීම අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ දැවැන්ත තෙල් සමාගම් මේ කෙරෙහි ඉහළ උනන්දුවක් දක්වනවා. ලබන සතියේ මමත් අපේ නිලධාරිනුත් ඩුබායිවල තිබෙන ගෑස්ටෙක් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශණය හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා. ඊලග මාසයේ ඉන්දියාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් සදහාත් අපි සහභාගී වෙනවා. නොවැම්බර් මස අබුඩාබි සහ දෙසැම්බර් මස ඇමරිකාවේ පැවැත්වෙන සම්මන්ත්‍රණයක් හා සම්බන්ධ වෙමින් අප සොයා ගත්ත දත්ත අප සිදු කරලා තිබෙන කාර්යභාරය ලෝකයේ සිටින ආයෝජකයන්ට පෙන්වා මේ රටේ ආයෝජනය කරන්න කියන ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වෙනවා.

මොකද තෙල් ගවේෂණ කාර්යයේදී ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කරන්නට සිද්ධ වෙනවා. ලංකාවේ කිසිම ධනවතෙක් නැහැ ඩොලර් බිලියන ගණනින් එවැනි ආයෝජනයක් කරන්න පුළුවන්. එනිසා අපට අනිවාර්යෙන්ම දේශීය ආයෝජකයා මත රැඳිලා තමයි මෙම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්නට සිද්ධ වෙන්නේ.

ප්‍රශ්නය
අපට මෙම ව්‍යාපෘති සාර්ථක වීම සඳහා කොපමණ කාලයක් ගත වෙයිද ?

පිළිතුර
අපට ලැබෙන ආයෝජකයාගේ ශක්තිය මතයි එය තීරණය වෙන්නේ. පහසු තැනක නොවේ මේ නිධි තියෙන්නේ. මුහුදු මතුපිට සිට කිලෝමීටර් එක හමාරක් පමණ ගියාම මුහුදේ පතුල හමු වෙනවා. එතැන් සිට තවත් කිලෝමීටර් දෙකක් පමණ ඇතුලට ගියාමයි දැනට හඳුනාගෙන තිබෙන ගෑස් නිධි පවතින්නේ. මුහුදේ කිලෝමීටර් තුන හමාරක් පමණ ගැඹුරේ කැණීම් කරනවා කියන එක අතිශය දුෂ්කර කටයුත්තක්. මේ තාක්ෂණය තියෙන දැවැන්ත සමාගම් රටට දිනා ගැනීමයි අභියෝගය. එම් 2 කියන බිම් කැබැල්ලේ ගෑස් තිබෙන තැන තෙල් තියෙන තැන නිශ්චිතවම හදුනාගෙන තියෙන නිසා අපට ආයෝජකයා ලංකාවට පැමිණිලා වසර තුනක් ඇතුළත තෙල් සහ ගෑස් ගොඩට ගැනීමේ හැකියාව තියනවා.

මෙම අවස්ථාව සඳහා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා, බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සුරත් ඕවිටිගම, බෙල් ජියෝස්පේස් ආයතනයේ අධීක්ෂණ නිලධාරී ඇන්ඩෘ ජෝෂප් සියර්ල් යන මහත්ම මහත්මින්ද සහභාගී විය.

– midea unit

56,953 views

34 Comments to “රුපියලක් වැය නොකර සම්පූර්ණ විදේශ ණය ගෙවිය හැකි ව්‍යාපෘතියක් සූදානම්..”

  1. ඇයි මතක නැද්ද මයිනා ඕක කිව්වා මහනුවර දි ජාතිය අමතන කොට ලැබුණු විශේෂ පණිවිඩයක් කියල

Main News