රෝහල් 480 ක් රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක්…

October 24, 2017 at 5:30 pm | lanka C news
රෝහල් 480 ක් රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක්…

කලුතර දිස්ත්‍රික්කයේ රෝහල් සංවර්ධනය පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙහිදී කලුතර මහ රෝහල, බේරුවල මුලික රෝහල, අලුත්ගම, දර්ගා නගරය, හොරණ, බණ්ඩාරගම, පිඹුර, මීගහතැන්න, බදුරලිය, ඉංගිරිය, කටුගහහේන, මෝල්කාව යන රෝහල් වල සංවර්ධන කටයුතු පිළිබදව සාකච්ඡා කෙරුනි. කලුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා කොන්ත්‍රාත් සමාගම් වලට මෙහිදී දැනුම් දුන්නේය.

කලුතර මහ රෝහලේ ඉදිකෙරෙන රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ලබන මස 23 දින විවෘත කෙරෙන අතර, ඒ සදහා අවශ්‍ය යන්ත්‍ර කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයට දැනුම් දෙන ලදි. දිවයින පුරා පිහිටි වතු රෝහල් 480 ක් වතු සමාගම් වලින් රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙලක් ද මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි. මේ යටතේ කලුතර දිස්ත්‍රික්කයේ වතු රෝහල් 13 ක් ද රජයට පවරා ගැනීමට නියමිතය.

වතු රෝහල් 480 රජයට පවරා ගැනීමෙන් පසු සංවර්ධනය කළ යුතු රෝහල් හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් අනෙකුත් රෝහල් වෙනත් සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සදහා භාවිත කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

වතු රෝහල් සංවර්ධනය කිරීම තුලින් මහ රෝහල්, ශික්ෂණ රෝහල්, මුලික රෝහල් සහ ප්‍රාදේශීය රෝහල්වල පවතින තදබදය අවම කර ගත හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

– ප‍්‍රසන්න අධිකාරී

37 views

One Comment to “රෝහල් 480 ක් රජයට පවරා ගැනීමට කැබිනට් පත‍්‍රිකාවක්…”

  1. Nandasoma says:

    ඔන්න සයිටම් ප්‍රශ්ණෙට රජයේ අවසාන විසඳුම….!

Main News