ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග‍්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග‍්‍රිසි පුළුවන් නිසා…

February 17, 2022 at 3:50 pm | lanka C news
ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග‍්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග‍්‍රිසි පුළුවන් නිසා…

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මැතිතුමාගේ සංකල්පයකට අනුව එම අමාත්‍යාංශය යටතේ ඇති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ක‍්‍රියාත්මක කරනු ලබන ගම්පහ දිස්ත‍්‍රික් ඉංග‍්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩ සටහනේ පළමු අදියරේ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ වැඩසටහන බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේදී රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මානව සංවර්ධනය උදෙසා සිදුකරන ‘‘ස්වශක්ති මානව සංවර්ධන” වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක උප වැඩසටහනක් වන ‘‘සෞභාග්‍යා නැණ බල” වැඩසටහන යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තරුණ දරුවන් වෙනුවෙන් මෙම ඉංග‍්‍රීසි භාෂා හා මෘදු කුසලතා සංවර්ධන පුහුණු පාඨමාලාව ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ සහයෝගයෙන් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

අද වන විට මෙරට පෞද්ගලික ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා සඳහා යොමු වීමේදී ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව පවතින ඌන දැනුම හේතුවෙන් දරුවන් විශාල ලෙස අපහසුතාවයට පත්වීම මගහැරවීමේ අරමුණින් අමාත්‍යවරයා විසින් ඇක්වයිනාස් ආයතනය සමඟ සාකච්ජා කර පෞරුෂ වර්ධනය, ඉංග‍්‍රීසි ව්‍යාකරණ දැනුම, ඉංග‍්‍රීසි කථන හැකියාව වර්ධනය කිරීම, ඉංග‍්‍රීසි ඉදිරිපත් කිරීම් හැකියාව දියුණු කිරීම, සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන ආකාරය පුහුණු කිරීම වැනි විශේෂ ඉගැන්වීම් ඇතුළත් රු. 50,000 ක පමණ වටිනාකමකින් යුතු විශේෂයෙන්ම සකස් කළ ත්‍රෛමාසික පාඨමාලාවක් සම්පුරණයෙන්ම නොමිලේ දරුවන් වෙත ලබා දීමට කටයුතු කරයි. පළමු අදියරේදී දරුවන් 30 බැගින් මේ වසර තුළ දරුවන් 120 දෙනෙක් සඳහා අදියර හතරක් ඔස්සේ මෙම පාඨමාලාව ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එහිදී දූ දරුවන් සහ දෙමාපියන් ඇමතූ අමාත්‍යවරයා,

‘‘අපි දන්නවා ලංකාවයි ඉන්දියාවයි නිදහස ලැබුවේ ඉතාමත් ලඟ ලඟ අවුරුදු දෙකක. 1947 ඉන්දියාව නිදහස ලැබුවා. අපි 1948 නිදහස ලැබුවා. අපි අවුරුදු 74 කට පස්සේ ආපහු හැරිලා බලනකොට ලංකාවට නැති සුවිශේෂී වාසියක් ඉන්දියාවට තිබෙන බව ඉන්දියාවේ ආර්ථික වර්ධනය දිහා බැලූවහම අපට පේනවා. ලංකාව තවමත් ආර්ථික ප‍්‍රශ්න ගැන කතා කරන රටක්. අපි හැමෝම කතා කරන්නේ ආර්ථික ගැටළු ගැන. මේ ආර්ථික ගැටළු වලින් ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන. නමුත් අපට ආසන්නයේ තිබෙන අපට වඩා විශාල දිළිඳු රටක් ඉන්දියාව. නිදහස ලබන වෙලාවේ අපි ආසියාවේ තිබිච්ච සාමාන්‍ය ධනවත් රටක්. අද ඉන්දියාව ලෝකයේ ආර්ථිකයන්ගෙන් පස්වෙනි ස්ථානයට ඇවිල්ලා තිබෙනවා. නිදහස ලබන වෙලාවේ ඉන්දියාව යටත් විජිතයක් කරගෙන හිටපු මහා බි‍්‍රතාන්‍යයට වඩා අද ඉන්දියාවේ ආර්ථිකය විශාලයි. තව අවුරුදු 5 ක් ඇතුළත ලෝකයේ තුන්වෙනි විශාලතම ආර්ථිකය වීමේ හැකියාව ඉන්දියාවට තිබෙනවා.

ඉන්දියාවේ මේ වෙනස විශේෂයෙන් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ මහා විශාල ආර්ථික සංවර්ධනයක් ඇතිවෙන්නට හේතුව කවුරු හරි ගිහින් හරියට හොයලා බැලුවොත් ඒකේ පිටුපස තිබෙන රහස තමයි ඉන්දියාවේ බහුතරයක් තරුණ පරපුර ඉංග‍්‍රීසි භාෂාව කතා කරන එක. මොකද ඉන්දියාවේ ආර්ථිකය දියුණු වෙන්නේ සේවා ආර්ථිකයක් විදිහට. ඒ සේවා ආර්ථිකයේ ශක්තිය වෙලා තිබෙන්නේ ඉන්දියාවේ සෑම තරුණ තරුණියකටම ඉංග‍්‍රීසි කතා කිරීමේ හැකියාව තිබෙන නිසා. ඒක යම්කිසි හේතුවක් නිසා ඉතිහාසය විමර්ෂණය කරන කොට යම්කිසි වෙලාවක හොඳයි කියලා දැකපු දේවල් අද අපට නරකට පිහිටලා තිබෙනවා. අද ලංකාවේ ඒ ශක්තිය නැහැ. අද ලංකාවේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය අතින් ඉතාමත්ම පිටිපස්සෙන් ඉන්නේ ඉන්දියාව පාකිස්ථානය වගේ රටවල් එක්ක සංසන්දනය කරනා විට. ඒ නිසා සේවා ආර්ථිකයෙන් ඉහළට යන්නට අපට තිබෙන අවස්ථාව සෑහෙන දුරට සීමා වෙලා තිබෙනවා මෙන්න මේ කාරණය නිසා. මොකද අපි අද ඉන්නේ ගෝලීය වෙළෙඳපොලක. මේ ගෝලීය වෙළෙඳපල තුළ බොහෝ දේවල් කරන්න පුළුවන් අපේ තරුණ පරපුරට හොඳ ඉංග‍්‍රීසි දැනුමක් තිබෙනවා නම්.

අද අපේ සමාජයේ තරුණ තරුණියන්ට රැකියාවක් ලබාගන්න ගියහම තිබෙන ප‍්‍රධානතම ගැටළු වලින් එකක් තමුන් ගැන ආත්ම විශ්වාසයක් නැතිකම. සම්මුඛ පරීක්ෂණයට ගිහින් ආත්ම විශ්වාසයකින් මුහුණ දෙන්නට බැරිකම. ඒ ආත්ම විශ්වාසය නැතිවෙන්නටත් එක ප‍්‍රධාන හේතුවක් තමයි ඉංග‍්‍රීසි දැනුම. හුඟක් වෙලාවට සම්මුඛ පරීක්ෂණයකට ගියහම වචනයක් දෙකක් හරි ඉන්න සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉංග‍්‍රීසියෙන් අහනවා. ඇහුවේ නැතත් අහයි කියලා බයේ යන්න කලින්ම ආත්ම ශක්තිය කඩා වැටිලා තමයි එතනට යන්නේ. පහුගිය කාලේ මම හුඟක් දරුවෝ පුද්ගලික අංශයේ රැකියාවලට යොමු කරන්න උත්සාහකළා. ඒ ආයතනවලට කතා කරලා ඒ දරුවන්ව රැකියාවලට ඇරියහම, ඒ රැකියාවලට මං වෙනුවෙන් ගන්න කැමැත්ත තිබුනත් ඒ දරුවෝ සම්මුඛ පරීක්ෂණයට ආවහම ඒ අය කියනවා ඇමතිතුමා තරහා වෙන්න එපා ඒ දරුවෝ ගන්න බැහැ. සම්මුඛ සාකච්ඡාවලටවත් මුහුණ දී ගන්න බැහැ. කතා කරගන්න බැහැ. වෙව්ලනවා. අපි කොහොමද ගන්නේ. එහෙනම් රැකියාවලට එක එක්කෙනාට වැඳ වැඳ රැකියා ඉල්ල ඉල්ල යවන්න කලින් දරුවන්ව රැකියාවලට යවන්න පුළුවන් වෙනසක් කරන්නට ඕනේ. ඒ වෙනස කරන්න පුළුවන් ප‍්‍රධානම ක‍්‍රම දෙකක් තමයි, පළවෙනි එක ඒ දරුවන්ගේ ඉංග‍්‍රීසි මට්ටම ඉහළ නංවන එක. දෙවන එක තමයි අපි කියනවා මෘදු කුසලතා, හැසිරෙන විදිහ, කතා කරන විදිහ, තමුන් අඳින පළඳින විදිහ මෙන්න මේවා පිළිබඳ දැනුමක් දරුවන්ට ලබාදෙන එක.

ඒ නිසා මම ඉල්ලීමක් කළා අපේ ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමාගෙන් මේ ළමයින්ගේ ඉංග‍්‍රීසි සහ මෘදු කුසලතා වර්ධනය කරන්න අවස්ථාව සලසලා දෙන්න කියලා. ඒ අනුව එතුමන්ලා මේ ගැන හොයලා බලලා මොකද්ද සුදුසුතම ආයතනය කියලා තෝරා ගත්තා, 1953 ආරම්භ කරපු, අද විශ්ව විද්‍යාලයක පිළිගැනීමක් තිබෙන ඇක්වයිනාස් කියන ආයතනය මෙම ඉංග‍්‍රීසි පාඨමාලාව කිරීම සඳහා. මෙම පාඨමාලාවේ සැබෑ වටිනාකම රුපියල් පනස්දහසකට කිට්ටු වෙනවා. මොකද සතියකට පැය දොළහක් දරුවන්ට ඉංග‍්‍රීසි උගන්වනවා. මාසයකට පැය 48 ක්, මුළු වැඩසටහන ඉවර වෙනකොට ඔයාලට ඉංග‍්‍රීසි උගන්වනවා පැය 140 කට වඩා. ඒනිසා මතක තියා ගන්න ඔයාලට ලැබෙන මේ ශිෂ්‍යත්වය ඉතාමත්ම වටිනා ශිෂ්‍යත්වයක්. අපිට 30 දෙනයි ගන්න පුළුවන් එක වාරයකට. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලනවා ඔයාලට මේක කරන්නේ නැත්නම් අදම කියලා අයින් වෙන්න. ඒක මගදි නම් දාලා යන්න එපා. මොකද වෙන ළමයෙක්ගේ අවස්ථාව මේ නැති කරන්නේ. අපි මහන්සිවෙලා ඔයාලා වෙනුවෙන්ම සකස් කරපු වටිනා වැඩසටහනක්. ඒක අපතේ යවන්න නම් එපා. මාස තුනක කාලයක් සතියේ දවස්වල කරන්නේ. අපි ඔයාලව තෝරාගෙන තිබෙන්නේ ඔයාලට කතා කරලා කරන්න පුළුවන්ද කියලා අහලා. සතියේ කාලය වෙන්කරන්න පුළුවන් කියපු ළමයි ටිකක් තමයි අපි තෝරගෙන තිබෙන්නේ. මම ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ මේ මාස තුනම ඉංග‍්‍රීසි ඉගෙන ගන්න කාලය වෙන් කරන්න. අපිට මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පන්තියකට යනවා නම් ඒ ගුරුවරයා උගන්වන දැනුමෙන් සීමා වෙන්නට එපා. අද පන්තියට ගිහින් ගුරුවරයා යම්කිසි දෙයක් ඉගැන්නුවා නම් හවසට ගෙදර ඇවිල්ලා ඒ ගැන පොතක් කියවන්න. ඒ ගැන අන්තර්ජාලය මගින් සොයා බලන්න. හෙට යනකොට හෙට ගුරුවරයා උගන්වන දේ ඔයාලා ඉගෙන ගෙන ඉන්නට ඕනේ. ඒක තමයි වැදගත් දේ. ගුරුවරයා මාස තුනක් ඉගැන්නුවට පස්සේ නෙමෙයි විෂය ඉගෙන ගන්නේ. ගුරුවරයා උගන්වන දේට වඩා ඉදිරියෙන් අපි ඉන්නට ඕනේ. අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙත් එහෙමයි. ඕනෑම විෂයක් පළවෙනි ලෙක්චර් එකට ගිහිල්ලා මොනවද ඒ ලෙක්චර් එක ගැන කියන්නේ කියලා කිව්වට පස්සේ දෙවෙනි ලෙක්චර් එකට යනකොට අපි ගුරුවරයා උගන්වන සියලූ දේ වලට සූදානම් වෙලා ඉන්නේ. පුස්තකාලයට ගිහින් ඒක ඉගෙන ගෙන විෂය දන්නවා. පාඩම් මාලාව ඉවර වෙනකොට අපි ගුරුවරයා උගන්වන දේට වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නේ. අන්න ඒක ප‍්‍රගුණ කර ගන්න. අන්න එකයි මම කිව්වේ මේ මාස තුන ඉංග‍්‍රීසි වෙනුවෙන් වෙන් කරන්න කියලා.

ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගන්න අමාරු දෙයක් නෙමෙයි. ඉංග‍්‍රීසි ඉගෙන ගන්න කතා කරන එක තමයි වැදගත්ම දේ. හැබැයි කතා කරන්නට ඕනේ. ඒ නිසා කිසිම දෙයකට බයවෙන්නේ නැතිව වැරදුනාට කමක් නැහැ. ලැජ්ජා වෙන්න එපා ගෙදරයි, එළියෙයි හැම තැනම මේ වැඩසටහන පටන් ගත්ත දවසේ ඉඳලා ඉංග‍්‍රීසියෙන් කතා කරන්න. භාවිතා කරන්න. භාවිතයේ තිබෙනවා නම් ඉංග‍්‍රීසි ඉගෙන ගන්න අමාරුවක් නැහැ.

මෙම පාඨමාලාවේ තිබෙන හොඳ දේ තමයි ව්‍යාකරණානුකූලව ඉංග‍්‍රීසි කතාකරන හැටි උගන්වනවා. ඒක වෙන වැඩසටහන්වලට වඩා ලොකු වාසියක් වනවා ඔයාලට. අපි මේක හරියට කළොත් අපිට ඊළඟ කණ්ඩායමත් ගන්න පුළුවන්. මාස තුනකට පස්සේ ඔයාලා හම්බවෙනකොට හොඳට ඉංග‍්‍රීසි කතා කරන විශ්වාසයෙන් වැඩකරන මට්ටමට ඇවිත් හිටියොත් මම එතුමන්ලාට කියනවා තිහක් නෙමෙයි හැටක් ගන්න කියලා. ඊළඟ වැඩසටහනට තවත් වැඩි කරන්න පුළුවන්. ඒනිසා තවත් අයට උදව් කරන්න පුළුවන් මේ වැඩසටහනින් ඔයාලා ඒ වැඩේ හරියට කරන කොට.

කාරණා දෙකක් නැවතත් මම ඔයාලාට මතක් කරන්නවා. හොඳට ඉංග‍්‍රීසි ඉගෙන ගන්න. ඉංග‍්‍රීසි කවදාවත් අපතේ යන්නේ නැහැ. දෙවන කාරණය ආත්ම ශක්තිය වැඩි කරගන්න. මම ඉංග‍්‍රීසිවල අවශ්‍යතාවය පිළිබඳවත් කරුණු කිහිපයක් කියන්නම්. ඇයි ඉංග‍්‍රීසි අවශ්‍ය. පළවෙනි කාරණය තමයි රැකියාවක් ගන්න ගියහම ඉංග‍්‍රීසි අවශ්‍යයි. දෙවන කාරණය තමයි රැකියාව ඇතුලේ ඉහළට යන්න ගියහම, රජයේ වේවා පෞද්ගලික අංශයේ වේවා ඕනෙම තැනක ඉංග‍්‍රීසියෙන් හොඳට කතා කරන්න පුළුවන් නම් උඩට යන්න පුළුවන් හැකියාව වැඩියි. විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ.

දෙවන කාරණය තමයි ව්‍යාපාරයක් කරන්න ගියහම උනත් අද ඉංග‍්‍රීසි දැනුම තිබෙනවා නම් අපට ගෝලීය ව්‍යාපාර කරන්න පුළුවන්. ලංකාවේ ඉඳන් ලෝකයත් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්. ඒවා කරනකොට කවුරු හරි මත යැපෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ තමුන්ගේ දැනුම තිබෙනවා නම් තමුන්ට අන්තර්ජාලයට ගිහින් මොනවා හරි ඉගෙන ගන්න. විදේශ කෙනෙක් සමග ගණුදෙනු කරන්න වගේ හැම දේකටම ඉංග‍්‍රීසිවල වටිනාකම තිබෙනවා. ඊ ළඟට සමාජයේ පිළිගැනීමක් තිබෙනවා. ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. ඒ වගේ වාසි ගණනාවක් තිබෙනවා. ඒ නිසා මම ඔයාලට දෙන පළවෙනිම අවවාදය තමයි හොඳට ඉංග‍්‍රීසි ප‍්‍රගුණ කරන්න. හැමදාම ඉගෙන ගන්න. අපි අද උනත් අළුත් වචනයක් දැක්කොත් ඩික්ෂනරියෙන් හොයලා බලලා ඔළුවට දා ගන්නවා. ඒක අපතේ යන්නේ නැහැ. අපට කවදාවත් ඉංග‍්‍රීසි ඩික්ෂනරිය කියවලා ඉවර කරන්න බැහැ. හැමදාම අළුතෙන් ඉංග‍්‍රීසි ඉගෙන ගන්න. දෙවන කාරණය තමයි ආත්ම විශ්වාසය, මෘදු කුසලතාවයන් හදා ගන්න. හොඳට ආත්ම විශ්වාසය තිබෙනවා නම්, හොඳට ඉංග‍්‍රීසි කතා කරන්න පුළුවන් නම් ලොකු ගමනක් යන්නට පුළුවන්’’ යැයි පැවසීය.

මෙම අවස්ථාවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් සුභසිංහආරච්චි, අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රසන්න වික‍්‍රමසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

32,787 views

52 Comments to “ලංකාවට දියුණු නොවෙන්නෙ ඉංග‍්‍රිසි බැරි නිසා.. ඉන්දියාව දියුණු වෙන්නෙ ඉංග‍්‍රිසි පුළුවන් නිසා…”

  1. hectoraustralia says:

    ඉතින් බැසිල්ට කිව්වනම් හරිනෙ එයා උගන්වනවා හොදට modern English Kauptas have hit the plane

  2. අනුර සේනානායක says:

    මෙයා නම් ගොඩ ගොඩම තමයි අර හොර නඩු වලින් නිදහස්, දැන් කරන්න තියෙන්නේ මොනවා හරි කියලා ජනතාව මුලාකරන වැඩ පිළිවෙලක් දියත් කර මුල් පිටුව ලබා ගැනීමට හැකි කතා කරලා ජනතාව මුලාකරන වැඩ පිළිවෙලක් කරගන්න කරන්න පෘතුගීසි සමිබවයක් ඇති පවුලේ අයට සිරා කොලුවා වගේ ගේම් එකක් කරලා පෙන්නන්න

Main News