ලංකාවෙන් 1%ක් ඩෙංගු කරන ලෝක වාර්තාව ආසන්නයි.. ලංකාව විශාලාවක් වෙද්දී රාජිත පුරාජේරු කියමින් රට වටේ..

April 4, 2017 at 3:00 pm | lanka C news
ලංකාවෙන් 1%ක් ඩෙංගු කරන ලෝක වාර්තාව ආසන්නයි.. ලංකාව විශාලාවක් වෙද්දී රාජිත පුරාජේරු කියමින් රට වටේ..

පිවිතුරු හෙල උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

අද මේ රටේ අළුත් අවුරුද්දට අපි යන්නේ විශාලා නුවර තිබුනා වැනි තුන් බියකින් රට වෙලාගෙන ඇති තත්වයක. සියල්ලටම වඩා අද මරන බිය ඇතිවෙලා තියෙනවා. 2016 වසර අවසන් වුනේ 1964 වර්ෂයට පසු ලක් ඉතිහාසයේ වාර්තාවුනු වැඩිම ඩෙංගු රොගීන් ගණන සහ ඩෙංගු මරණ ගණන වාර්තා කරමින්. 2016 වසරේ ඩෙංගුරෝගීන් 55 154 වාර්තා වෙලා තියෙනවා. ඩෙංගු මරණ 90 වක් එම වසරේ වාර්තා වුනා. නමුත් මේ අවුරුද්දේ පළමු මාස තුන ඇතුලත පමණක් ඩෙංගු රෝගීන් 27 898 ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඩෙංගු මරණ 53 වාර්තා වී තියෙනවා.

මේ ප්‍රවනතාවය මේ විදිහට ගියොත් 2017 වසරේ දී 2016 වසරේ වාර්තාවත් අභිබවා යමින් ලක් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් ගණන සහ වැඩිම ඩෙංගු මරණ ගණන වාර්තා වු වසර ලෙසට පත්වීම නම් නතර කරන්න බෑ. සංසන්ධනාත්මකව බැලුවොත් ගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් තුන්ගුණයකට වඩා වැඩි ගණනකින් වර්ථනය වෙලා තියෙනවා. මේ ප්‍රවණතාවය මේ විදිහට ගියොත් නම් 2017 වසරේදී 150 000 වැඩි ඩෙංගු රෝගීන් ගනණක් ලංකාවෙන් වාර්තා වීමේ අවධානමක් තියෙනවා. ලක් ඉතිහාසයේ වැඩිම ඩෙංගු මරණ සිදුවූ වසර බවට 2017 වසර පත්වීමේ අවදානමක්ද තිබෙනවා.

මෙතරම් දැවැන්ත සෞඛ්‍ය තර්ජනයක් එක් පැත්තකින් මතු වෙද්දී N1H1 උණ රෝගය නිසා මේ වන විට 37 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. මධ්‍යම පලාතේ මේ වන විටත් පාලනය කරගත නොහැකි මට්ටමින් මේ රෝගය පැතිර යමින් පවතිනවා.

මේ සියළු සංඛ්‍යා ලේඛණ වලින් පෙන්වන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්වය අන්තිමයි කියන එකයි. නමුත් අපේ සෞඛ්‍ය ඇමතිතුමන්නම් තමන්ගේ අමාත්‍යංශයේ වැඩ පැත්තක තියලා සියළුම අමාත්‍යාංශවල වංචා දූෂණ සොයන විවධ ව්‍යාපෘතී වලට නායකත්වය දෙමින් කාලය නාස්ති කරනවා තමන්ගේ අමාත්‍යාංශයේ වැඩ ටික නොකර.

ඒ වගේම මෙතරම් දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්න තිබුනත් අද සෞඛ්‍ය ඇමතිතුමන්ගේ අවධානය යොමුවෙලා තියෙන්නේ එතුමන්ගේ පුරාජේරුව ගැන මාධ්‍ය වල දැන්වීම් දාන්නත් පාරේ පෝස්ටර් අලවන්නත්. ඒ නිසා අපි එතුමන්ට ඉතාම ගෞරවයෙන් මතක් කර දෙනවා සෞඛ්‍ය ක්‍රේෂ්ත්‍රයේ ප්‍රශ්න විසදිය හැක්කේ නිවාරණයෙන් මිස ප්‍රචාරණයෙන් නොවේ කියන බව. ඒ නිසා ප්‍රතිරූප පිම්බීම පැත්තක තියලා අහිංසක රෝගීන්ගේ ජීවිත බේරාගන්න එකට දැන්වත් අවධානය යොමු කරන්න නැතිනම් ලක් ඉතිහාසයේ බිහුවුණු අසාර්ථකම සෞඛ්‍ය ඇමති ලෙස රාජිත සේනාරත්න ඇමතිතුමන් ඉතිහාසයට එක්වීම වලක්වන්න බැහැ.

– අරවින්ද අතුකෝරල

115 views
Main News