ලංකාවේ තෙල් ලිං හතරෙන් තුනක් සාර්ථකයි..

December 1, 2020 at 6:28 am | lanka C news
ලංකාවේ තෙල් ලිං හතරෙන් තුනක් සාර්ථකයි..

අයවැය විවාදයට එක්වෙමින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකල කතාව මෙහි දැක්වෙයි.

වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව ලාභදායී බලශක්ති ප්‍රභවයන් සුලභව පවතින බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීමේ අරමුණ, අප ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ දැක්ම යථාර්ථයක් කරගන්න අපි දිගුකාලීන මැදි කාලීන හා කෙටි කාලීන ඉලක්ක වලට ගමන් කරමින් සිටිනවා. වසර 2600 ක අපේ ලිඛිත ඉතිහාසය පුරා අපේ රටේ පිහිටීම අපිට සාපයක් වුණා. ඉන්දියාව දාසය වතාවක් අපේ රට ආක්‍රමණය කළේ, චීනය පෘතුග්‍රීසින් ,ලන්දේසින් ,ඉංග්‍රීසින් එක් වතාව බැගින් අපේ රට ආක්‍රමණය කළේ අපේ පිහිටීම අපට ශාපයක් වූ නිසා.

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කරමු

අපේ දිගු කාලීන අරමුණ වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම අපට ආශිර්වාදයක් කර ගනිමින් ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කරගැනීමයි. ශ්‍රී ලංකාව නිසි ලෙස තමන්ගේ පිහිටීමේ වාසිය ප්‍රයෝජනයට නොගත් නිසා අද ආසියාවේ බල ශක්ති කේන්ද්‍රයක් ලෙස ‍ ලංකාවේ දෙපැත්තෙන් සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය මතුවෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හම්බන්තොට වරාය ඉලක්ක කරගෙන , ඈත ආසියාවට සහ මැදපෙරදිගට යන එන නැව් වලට තෙල් සැපයීමටත්, ත්‍රිකුණාමලය වරාය ඉලක්ක කරගෙන ඉන්දියාවේ නැගෙනහිර සහ බටහිර වෙරළවල් අතර ගමනාගමනය සිදුවන නැව්වලට තෙල් සැපයීමටත් , ගුවන් යානාවලට තෙල් සැපයීමටත් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් නිමි භාණ්ඩ නිෂ්පාදනය කරමින් ආසියානු වෙළෙඳ පොළට අපනයනය කරන්නටත්. අපේ දිගු කාලීන අරමුණ ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත්වීම.

අපේ මැද කාලීන ඉලක්කය තමයි ශ්‍රී ලංකාව ලාභදායී බලශක්ති සම්පත් සුලභව තිබෙන බලශක්ති ස්වයංපෝෂිත බව ඇති කර ගන්න. එහිදී ඉතාමත් වැදගත් වෙනවා

ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත සහ ගෑස් සම්පත ගොඩ අරගෙන ශ්‍රී ලංකාව ඛනිජ තෙල් නිෂ්පාදනය කරන ඒ ධනවත් රටවල් අතරට එක්කර ගැනීම. අපේ මායිම් වන ඉන්දියාව අද ගොඩබිමේත්, මුහුදේත් තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරමින් ඉන්නවා . මීට වසර මිලියන එකසිය පනහකට කලින් ලංකාවේ දකුණු පළාත තිබ්බෙ මොසැම්බික් රටට මායිම් වෙමින්, පොසිල ඉන්ධන නිෂ්පාදනය වන යුගයේ. එහෙම නම් අද මොසැම්බික් කියන්නේ දැවැන්ත ලෙස තෙල් නිෂ්පාදනය කරන රටක්. ඉන්දියාවට මායිම් වන උතුරු පළාතේ වගේම මොසැම්බික් වලට මායිම් වුණු අපේ දකුණු පළාතේත් අනිවාර්යෙන්ම මේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත ගොඩ ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි .

ලංකාවේ ඛනිජ තෙල් නිධි තියෙනවා ද?

ඛනිජ තෙල් සම්පත ගොඩගැනීමේ සිහිනය පිළිබඳ වසර 50 කට අධික කාලයක් අප කතා කළත් එය යථාර්ථයක් වුණේ නෑ. කබිර් හෂිම් මන්ත්‍රීතුමා සදහන් කරා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ලිං දෙකක් සොයාගෙන තියෙනවාය කියලා. හරියට එතුමා කතා කලේ ඒ ලිං එතුමන්ලා සොයා ගත්ත වගේ . මන්නාරම් ද්‍රෝණියේ එම් 2 කියන කැබැල්ලේ ගවේෂණ ආරම්භ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ යුගයේ . 2011 දී අපි හාරන ලිං හතරෙන් දෙකක ගෑස් සොයා ගන්නවා,මුහුදේ දිය මට්ටමේ සිට කිලෝමීටර 3.3 ක් ගැඹුරින්. ලිං දෙකක ගෑස් හොයා ගන්නවා.තවත් ළිඳක ඛණිජ තෙල් තිබීමේ මූලික ලක්ෂණ පහළ වෙනවා. ලිං හතරින් තුනක්ම සාර්ථකයි .ලෝක සම්මතය තමයි ලිං හතක් හෑරූවොත් එකක තමයි තෙල් හෝ ගෑස් හමු වීමේ සම්භාවිතාව තියෙන්නේ .නෝර්වේ රාජ්‍යට ලිං 31 ක් හාරන්න වුනා , පලවෙනි තෙල් ලිඳ හොයාගන්න.නමුත් අපේ හතරෙන් තුනක්ම සාර්ථකයි. අතිවිශිෂ්ට තැනක අපි ඉන්නවා .

අපට තෙල් නිශ්පාදනය කරන රටවල් අතරට යන්න බැරි උනේ ඇයි ?

එහෙනම් කෝ තෙල්, මෙතරම් දියුණු රටක් බවට පත්වීමට ,තෙල් සහ ගෑස් සම්පත නිෂ්පාදනය සිදු කරන දියුණු රටක් බවට පත්වීමට ශක්‍යතාවක් තිබියදී අපි තවමත් දිළිඳු රටක් ව සිටින්නේ ඇයි ?. අපට තෙල් නිශ්පාදනය කරන රටවල් අතරට යන්න බැරි උනේ ඇයි ? දුකයිනෙ! දුකක් ඇති උනහම දුකයි දුකයි කියලා අඩනවා වෙනුවට දුකට හේතුව වටහාගෙන දුකින් මිදීමේ මාර්ගය පාදා ගැනීමයි අප කල යුත්තේ. අපිට වැරදුනේ කොතනද කියලා අපි බැලුවා . 2011දී මේ කැණීම් කරපු සමාගමට ගෑස් සම්පත ලැබුණත් පස්සේ ඒගොල්ලන්ගෙ මූල්‍ය දුෂ්කරතාවන් නිසා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා අපි ඉන්දියාවට පමණක් සීමා වෙන්න කියලා . ඉන්දියානු සමාගම ඉවත් වෙලා ගියා .එහෙනම් අපට අවශ්‍ය වෙන්නේ ගැඹුරු මුහුදේ තෙල් කැනීම පිළිබඳ අත්දැකීම් ඇති අතර මැද දී අත්හැර නොයන තෙල් කර්මාන්තයේ සිටින දැවැන්තයන් ,වැඩි වැඩියෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඉහළ තරගයක් ශ්‍රී ලංකාව තුළම ඇති කරගන්න . එහෙම කර ගන්න අපට බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නයට අපි උත්තර හෙව්වා, අපි කාරණා තුනක් අඳුන ගත්තා. එකක් තමයි ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ඒගොල්ලන්ගෙ භාෂාව දන්න technical jargons දන්න ඒ විෂය පිළිබඳ ක්ෂේත්‍රයෙහි අය අතර කීර්තියක් ගෞරවයක් දිනාගෙන ඉන්න චරිත අප අතරේ නොසිටීම . අද අපි ඒ ප්‍රශ්නෙ විසදලා තියෙනවා. සාලිය වික්‍රමසූරිය මහතා සුරත් ඕවිටිගම මහතා වැනි දක්ෂ නිලධාරීන්, ක්ෂේත්රයේ කීර්තියක් දිනා ගෙන සිටින නිලධාරීන් අපේ ඛනිජ තෙල් ගවේෂණ කාර්යාංශයට අපි අරගෙන තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕන කීර්තිමත් නිලධාරිනියක් ඉන්නවා ආචාර්ය රණාලී පෙරේරා .එතුමියගේ දක්ෂතාව අපි යන හැන්සාඩ්ගත කරන්න ඕන .2019වසරේ global energy elite magazine එකෙන් Top ten future leaders of global energy industry, තෙල් කර්මාන්තයේ අනාගත නායකයන් දසදෙනා අතරට ආචාර්ය රණාලී පෙරේරා අපේ කාර්යාංශයේ වැඩ කරන නිලධාරිනිය තේරී තිබෙනවා. මේ වසරේත් S&P Global Platts Global Energy Awards වල තෙල් කර්මාන්තයේ නැගීඑන තාරකාවිය සම්මානය සඳහා අවසානයට නිර්දේශිත නම් 10 අතර එතුමියගේ නම තියෙනවා . ඒ නිසා අපි අවශ්‍ය මානව සම්පත දැන් සූදානම් කරගෙන තිබෙනවා.

හැබැයි මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා ගෑස් ටික එළියට ගත්තහම ඒවා විකුණා ගැනීම පිළිබඳ අවිනිශ්චිතභාවයක් මතුවෙනව. මොකද ශ්‍රී ලංකා ආණ්ඩුවට ගෑස් පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණේ නෑ. ඒක හැදුවේ අපේ කාලේ කියලා කබීර් හෂීම් මන්ත්‍රිතුමා සඳහන් කළාට ඇත්තටම සිද්ධ වුණේ හැමදාමත් කතා කරමින් තිබිලා අවසන්ව නොතිබූ ගෑස් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අපි අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අනුමත කරල අද ගැසට් මගින් ප්‍රසිද්ධ කරල තියෙනවා. එතුමා ගෑස් ලිං වලටත් අයිතිය කීවා, ප්‍රතිපත්ති වලටත් අයිතිය කීවා, ඕවට තමයි මන්ත්‍රීතුමනි කියන්නේ මගේ කලිසම හොඳහැටි ඇඳගෙන උගේ වගේ යනවා කියලා .

මේ තෙල් කර්මාන්තයේ ආයෝජනය කරන්නේ ඩොලර් මිලියන වලින් නෙමෙයි ඩොලර් බිලියන වලින් ,දැවැන්ත ආයෝජනයක් , මේ වගේ ආයෝජනයක් ආවට ගියාට කරන්නේ නෑ

තමන්ගෙ ආයෝජනය සුරක්ෂිතතාව තහවුරු කරන නීතිමය රාමුවක් අවශ්‍යයි. ලබන වසර මුලදී එම නීතිමය රාමුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත විදිහට මේ ගරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ මූලික අවශ්‍යතා ඉටු කරාට පස්සේ තමයි අපි කර්මාන්තයට ගිහිල්ල එන්න අපේ රටේ ආයෝජනය කරන්න කියලා ඉල්ලීම කළ යුත්තේ . ඇල්බට් අයින්ස්ටයින් වරක් කියනවා if you repeat the same test under same conditions ,expecting different results , you are insane ඔබ එකම කොන්දේසි යටතේ එකම පරීක්ෂණය වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන් නැවත නැවත සිදු කරනවා නම් ඔබ මානසික රෝගීයෙක් කියලා

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂයේ ඇමතිවරු කලින් අවුරුදු පහේ කරලා තිබුණේ ඒක. කලින් වතාවේ අසාර්ථක වීමට හේතු නොසොයා නැවත නැවත ලංසු කැඳවලා තියෙනවා , සාර්ථක වෙලා නෑ .එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් නැවත නැවත කරන අයට අදාළ වන්නේ ඇල්බට් අයින්ස්ටයින්ගේ කියමනයි කියන එක අපි මතක් කරන්න ඕන.

කබීර් හෂිම්ට සැර පිළිතුරක්

ඒ වගේම කබීර් හෂිම් මාගේ මිත්‍ර මන්ත්‍රිතූමා කතා කරනකොට මට මතක් වුනේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වරයෙක් වන බෙන්ජමින් ඩිස්‍රරාඑලි විපක්ෂනායකවරයා විදිහට අයවැය කතාවකට එකතුවෙමින් කරපු ප්‍රකාශයක්. එතුමා තමන්ගේ අය වැය කතාව ආරම්භ කරේ lies ,damn lies then statstics කියමින්. බොරුවටත් වඩා ලොකු ඒක තමයි පට්ටපල් බොරුව. පට්ටපල් බොරුවටත් වඩා ලොකු එක සංඛ්‍යාලේඛන කියන එකයි ඔහු ඒකෙන් අදහස් කලේ. හැබැයි කබීර්හෂීම් මන්ත්‍රීතුමාගේ කතාව අහගෙන ඉද්දි මට හිතුනා, බෙන්ජමින් ඩිස්‍රරාඑලි කතාව දැන් අවුරුදු 150 ක් පරණයි මේ කතාව දැන් වෙනස් වෙන්න ඕන lies ,damn lies then kabir hashim කියලා. බොරු, පට්ට බොරු, ඊටත් පස්සෙත් ලොකුම බොරුව තමයි කබිර් හෂිම් මන්ත්‍රිතුමා කියලා. ඇයි මං එහෙම කියන්නේ.

එතුමා කියනවා m2 කැබැල්ලට ලන්සු තුනක් ලැබුණා.සමාගමකට ප්‍රදානය කරා , ඇයි ගිවිසුම අත්සන් නොකරන්නේ ? ඒවගෙම m1 c1 කැබලි දෙක ඒකාබද්ධව තනි සමාගමක් ලන්සු ඉදිරිපත් කරල තියනව ඇයි ඒ ලංසුව පිළිබඳ ඉදිරි පියවර නොගන්නේ කියලා? ඇයි ඒ සමාගමක් සමග ගිවිසුමකට එළඹෙන්නේ නැත්තෙ කියලා? ඇත්තටම මන්ත්‍රීතුමනි මේ දෙකම අමාත්‍ය මණ්ඩලය මගින් පත් කළ ප්‍රසම්පාදන කමිටුව මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරගෙන යමින් ඉන්නේ. අපි ඒවාට මැදිහත් වන්නේ නෑ. ඒව දුෂිත ගනුදෙනු බවට පත් කරන්නේ නෑ. ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ලෙස අනුගමනය වෙමින් තිබෙනවා. එතුමා කියන ආකාරයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් වෙලා අපි ගිවිසුම් අත්සන් කරන්නේ නෑ කියන එක පට්ටපල් බොරුවකටත් වඩා ලොකු බොරුවක් කියලා අපි ප්‍රකාශ කරන්න ඕන.ඒ වගේම එතුමා ඉතා ආඩම්බරයෙන් කීවා අපි බිලියන 3 ක් වැය කරලා තෙල් ටැංකි 6 ඉදිරි කරන්න පටන් ගත්තා කියලා.

හැබැයි එතුමා එහෙම තීරණයක් ගත්තට ඒක මහ පොළොවේ ක්‍රියාත්මක වුණේ නෑ. ඔය කියන තෙල් ටැංකි හයෙන් තෙල් ටැංකි අඟලක්වත් එතුමාගේ කාලේ ඉදි වුන් නෑ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕන . හැබැයි එතුමා තෙල් ටැංකි හයක් හදන්න තීරණයක් අරගෙන අපෙන් ප්‍රශ්න කරනවා තමුන්නාන්සේලාගේ අවුරුදු විස්සේදී තෙල් ටැංකි ධාරිතාව වැඩි කරන්න මොනවද කළේ කියලා. එතුමා තමන්ගේ දන්නකම ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා නොදන්නා කමයි ප්‍රදර්ශනය කළේ.

තෙල් ටොන් 220000 ධාරිතාවයෙන් යුත් තෙල් ටැංකි විසිනවයක් මුතුරාජවෙල ඉදිවන්නේ ඒ ඔබතුමා විවේචනය කළ වසර 20 තුළ දී කියන එක කබීර් හෂීම් මන්ත්‍රීතුමාට සිහිපත් කරන්න ඕන. ඒ වගේම එතුමා මේ තෙල් ටැංකි හයක් හදන්න තීරණය කරලා ලොකු සද්දයක් දානව . තෙල් ටැංකි 29ක්, අද ශ්‍රී ලංකාවේ සමස්ත ධාරිතාවෙන් 50% ක ධාරිතාව හදපු අය ඒ ගැන හඬක් නගන්නැතුව සිටින විට සිහිපත් වන්නේ පැස්බරා බිත්තර තොගයක් දාලා නිහඬ වෙද්දි එක බිත්තරයක් දාලා එක ලෝකෙටම ඇහෙන්ඩ කෙකර ගාන කියමනයි කියන එක අපි සිහිපත් කරන්න ඕන.

ඒ වගේම තව ප්‍රශ්නයක් ඇහුවා රට හරහා නල පද්ධතියක් එළිමේ ව්‍යාපෘතිය ඉදිරියට යනවාද නැද්ද කිවලා. කබීර් හෂීම් මන්ත්‍රීවරයා ඇමතිවරයා ලෙස එම ව්‍යාපෘතිය පටන් ගනිද්දී කරපු බරපතළ අඩුපාඩු නිසා අද ඒ ව්‍යාපෘතිය මන්දගාමී වෙලා තියෙනවා. මම එක පැහැදිලි කරන්ම්, නිසි ශක්‍යතා අධ්‍යනයක් සිදු කරලා නෑ. මෙම ව්‍යාපෘතියේ ලංසු කැඳවීම සිදු කරල තියෙන්නෙ සුදුතෙල් වලට එහෙම නැත්තං ඩීසල් පෙට්‍රල් වලට වගේම දැවිතෙල් වලටත් නලයක් එලන්න අඟල් 14 ක. අද විදුලි බල අමාත්‍යතුමන්ලා ඉතාම හොද තීන්දුවක් අරන් තියෙනවා දැවි තෙල් වෙනුවට ගෑස් භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කරන්න. දැනට දැවි තෙල් භාවිතා කරන විදුලි බලාගාර ගෑස් භාවිතා කරන විදුලි බලාගාර බවට පත් කරන්න. එහෙම කරනවා නම් දැවිතෙල් බටයේ අවශ්‍යතාව නැතුව යනවා.

ඒ වගේම ලංසු ලේඛන බිඩ් ඩොකියුමන්ට් එකේ තියන අඩුපාඩු නිසා ,අතෘප්තිමත් , ලංසුව දිනාගැනීමට නොහැකි වූ ලන්සුකරුවන් අභියායචනා මණ්ඩලයට , ජාතික ප්‍රසම්පාදන කොමිසම පැමිණිලි සිදුකිරීමෙන් මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවුල් වෙලා තියෙන්නෙ. ඒ නිසා විධිමත් ලංසු ලේඛනයක් හදාගන්න බැරි වෙච්ච එතුමාගේ ආණ්ඩුව විධිමත් විනිවිද ක්‍රියාවලියකින් ප්‍රසම්පාදනය සිදු කරගන්න බැරි වෙච්ච එතුමාගේ ආණ්ඩුව නිසා තමයි නළ එලීමේ ව්‍යාපෘතිය අවුලෙන් වියවුලට ගියේ අපි ඒ අවුල් වියවුල් ලිහා මෙහි ඉදිරි කාලය තුළ පරණ නල පද්ධතිය වෙනුවට අනිවාර්යෙන්ම නව නළ පද්ධතියක් ඉදිරි වසර පහ තුළ අනිවාර්යෙන්ම ඉදිවෙනවා කියන සහතිකය අපි මේ ගරු සභාවටත්, ජාතියටත් ලබා දෙනවා

දුම්රිය භාවිතයෙන් ඉන්ධන ප්‍රවාහනය ඉහලට

අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා මතු කළා ඉංග්‍රීසි යුගයේ දී අපි දුම්රියෙන් තමයි තෙල් ගෙනිච්චෙ ඇයි දැන් දුම්රිය භාවිතා නොකරන්නේ කියලා. මේ වන විටත් දුම්රිය භාවිතාවෙන් තෙල් ප්‍රවාහනය සමස්ත ප්‍රවාහනයෙන් 35% ක්. නමුත් අපේ අරමුණ වෙලා තියෙන්නේ එය 60% දක්වා වැඩි කරන්න. මොකද එතුමා සඳහන් කළ ආකාරයට පරිසර දූෂණය ,වාහන තදබදය සහ පිරි වැය අධිකවීම යන කාරණා අපි හඳුනාගෙන ඊට විසඳුමක් ලෙස දැනටමත් දුම්රිය ප්‍රවාහනය 35% සිට 60% දක්වා වැඩි කිරීමට අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙන්නවා .එතුමා සඳහන් කළ ආකාරයට එය සියයට සියය දක්වා වැඩි කර ගැනීමට නොහැකි වීමට හේතුවක් තියෙනවා දුම්රියේ නිරන්තරයෙන් වැඩවර්ජන ඇතිවෙනවා ඒ වගේ වෙලාවට රටේ ඉන්ධන බෙදුන් නැති වුණොත් මුළු රටමකර්මණ්ය වෙනවා

ඒ නිසා අවිධිමත් ක්‍රමවේද වෙනුවට විධිමත් ක්‍රමවේදයක් හරහා ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මෙතෙක් 1969 පස්සේ පිරිපහදුවක් ඉදිරිපත් කරන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක ආරම්භ කරන්න ඉරානයෙන් අරමුදල් අරන් මුල්ගලක් තිබ්බා. ජාත්‍යන්තර සම්බාධක ඉරානයට පැනවූ නිසා තමයි ඒක ඉදිරියට නොගියේ. නමුත් මේ වන විට අලුත් ශක්‍යතා අධ්‍යනයක් සිදු කරමින් ඉදිරි වසර පහ තුළ අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට වසර පනස්පහකට පසු නව පිරිපහදුවක් ලබා දෙනවා කියන ප්‍රතිඥාවක් මේ සභාව හමුවේ තබනවා

– අරවින්ද අතුකෝරල

109,620 views
Main News