ලංකාව දැන් අපනයනයේදී වඩාත් තරඟකාරීයි..

July 13, 2017 at 2:04 am | lanka C news
ලංකාව දැන් අපනයනයේදී වඩාත් තරඟකාරීයි..

පසුගිය වසර කිහිපයේදී අත් කරගත් ප්‍රගතිය හරහා ගෝලීය අපනයන වෙළෙඳපොලේ වඩාත් තරඟකාරී භූමිකාවකට ශ්‍රී ලංකාව අවතීර්ණව ඇතැයි ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

විශේෂයෙන්, අමුද්‍රව්‍ය වෙනුවට අගය එක් කළ භාණ්ඩ අපනයනයට වඩාත් යොමු වීම ඊට හේතුව බව හෙතෙම කියා සිටී.

අඩු ප්‍රමිතිය සහ ප්‍රමාණවත් නොවන සැපයුම වැනි කරුණු හේතුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාවට එම තරඟාකාරීත්ව වාසිය අත් කර ගැනීමට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙයි.

ඊයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති නේපාල-ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවක් අමතමින් ඇමතිවරයා ඒ බව පැවසීය.

ලංකා තේ, ලංකා කුරුඳු සහ ලංකා නිල් කැට වැනි ශ්‍රී ලංකාවේ සන්නාමය සහිත ඉහළ ප්‍රමිතියේ අපනයන භාණ්ඩ හරහා රටේ කීර්තිය ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

තවදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා පැවසූයේ, නව ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් අපනයන වෙළෙඳපොල වැඩිදියුණු කිරීමට තම අමාත්‍යංශය පියවර ගනිමින් සිටින බවයි.

පසුගිය වසරේදී නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සිදු වූ වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඩොලර් මිලියන 1.4ක් පමණක් බව පෙන්වා දුන් හෙතෙම, එය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

එහිදී විශේෂයෙන් ඇඟළුම්, අපනයන කෘෂිකර්මය, ඖෂධීය ශාක සහ ආගමික සංචාරක ක්ෂේත්‍රය වැනි අංශවලදී දෙරට අතර වඩාත් සමීප සබඳතා ඇති කරගත හැකි බව ඔහු අවධාරණය කර සිටියේය.

– ජෝර්ජ් ද සිල්වා

67 views
Main News