ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය එයි.. ඩොලර් බිලියන 03යි.. රුපියල් කෝටි 60,000යි.

June 4, 2021 at 3:22 am | lanka C news
ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය එයි.. ඩොලර් බිලියන 03යි.. රුපියල් කෝටි 60,000යි.

තමන් විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කරමින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනීයන්නේ යැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය

මා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් වැරදි ලෙස හුවා දක්වමින් ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලිකරණයට සූදානම් වන බවට වැරදි මතයක් සමාජගත කරමින් ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතිය විනාශ කිරීමට ජාතියේ සතුරන් උත්සාහ කරන බව පෙනී යනවා.

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය

1969 ආරම්භ කළ සපුගස්කන්ද පිරිපහදුව ලංකාවේ ඇති එකම පිරිපහදුවයි. 1983 සිට මේ දක්වා විවිධ ආණ්ඩු විසින් නව පිරිපහදුවක් ඉදි කිරීමට වෙර දැරුවත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නෑ. වත්මන් පිරිපහදුවේ ධාරිතාව දිනකට බැරල් 38,000 සිට 45,000 දක්වා වැඩි කිරීමටත් බැරල් ලක්ෂයක ධාරිතාවයක් ඇති නව පිරිපහදුවක් සපුගස්කන්දේම ඉදි කිරීමටත් අපි මේ දිනවල ශක්‍යතා අධ්‍යනයක් කරනවා.

මේ ව්‍යාපෘතියට ඩොලර් බිලියන 3ක් හෙවත් රුපියල් බිලියන 600ක් පමණ වැය වෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ඒ අනුව මේක ලංකා ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘතියයි. හම්බන්තොට වරායට වියදම් වුණේ ඩොලර් මිලියන 1,350යි. නොරොච්චොලේ විදුලි බලාගාරයට ඩොලර් මිලියන 900යි. හම්බන්තොට වරාය, නොරොච්චොලේ විදුලි බලාගාරය, මත්තල ගුවන් තොටුපොල සහ කටුනායක අධිවේගි මාර්ගය යන දැවැන්තම ව්‍යාපෘති හතරටම වැය වුණේ ඩොලර් මිලියන 2,916යි. නමුත් මේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 3,000යි. ඒ වගේම තරගකාරි ලංසු කැඳවීමකින් කරන ලංකාවේ පළමු දැවැන්ත ව්‍යාපෘතිය ලෙසත් මේක හඳුන්වා දෙන්න පුළුවන්. මේ දක්වා ලංකාවේ ප්‍රධාන ව්‍යාපෘති සියල්ලටම සිදු කලේ තරගකාරි ලංසු කැඳවීමක් නැතිවයි.

මේ දැවැන්ත මුදල ණයක් ලෙස ලබා ගන්න ණය බරින් මිරිකිලා ඉන්න ආණ්ඩුවටවත් සංස්ථාවටවත් හැකියාවක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ බීඕටී නැතිනම් ඉදිකර මෙහෙයුම් කර පවරන ව්‍යාපෘතියක් හැටියටයි. තවත් සරලව කිව්වොත් පිරිපහදුව ඉදි කරන ආයෝජකයා තමන්ගේ පිරිවැය ලාභයක් සහිතව අය කර ගැනීමෙන් පසුව එහි අයිතිය තෙල් සංස්ථාවට පැවරිය යුතුය.

දැනට ලංකාවේ තෙල් පිරිපහදුවක් පවත්වා ගෙන යෑමේ ඒකාධිකාරිය හිමි වන්නේ තෙල් සංස්ථාවටයි. ඒ නිසා වෙනත් ආයෝජකයෙකුට තෙල් පිරිපහදු කිරීමේ අයිතිය ලබා දීමට නම් 1961 අංක 28 දරණ ඛනිජතෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න වෙනවා. පනත සංශෝධනය කරන්නේ නැතුව කිසිම ආයෝජකයෙක් පිරිපහදුවක් හදන්න එන්නේ නෑ. ඒක හරියට ලංකාවේ හෙරෝයින් නිෂ්පාදනයට ආයෝජකයින්ට ඇරයුම් කරනවා වගේ වැඩක්.

වසරකට ඩොලර් මිලියන 300ක ඉතිරියක්

මේ ව්‍යාපෘතියෙන් රටට ඩොලර් බිලියන 3ක ආයෝජනයක් ලැබෙනවා වගේම රට තුල තෙල් පිරිපහදු කිරීමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් ඉතිරි කරන්නත් පුළුවන්. ඒ වගේම ජාතික ඛනිජතෙල් අවශ්‍යතාව රට තුලම පිරිපහදු කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව ඉහළ නැංවෙනවා.

2003 දී ඛනිජතෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කළ 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලිකරණය කරන්න හදපු එජාප ආණ්ඩුවේ සිටිය පා ච රණවක වැනි ඇමතිවරු සහ වෘත්තිය සමිති නායකයින් මෙන්න තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවෝ කියා බෙරිහන් දෙන්නේ. මේක දෛවයේ සරදමක් නොවේ ද? එදා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පාච රණවක අමාත්‍යතුමන්ලා 2018 දී තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්න තීරණය කරපු අවස්ථාවේ ඒක බේරගන්න හදපු ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානයේ ආරම්භකයන් දෙදෙනෙක් විදියට හිටිය මම අද බලශක්ති අමාත්‍යවරයා. සුමිත් විජේසිංහ මැතිතුමා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති වරයා. ඒ නිසා අපි ඉන්න තුරු තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමත් ඉඩ තියන්නේ නෑ කියන එක ඉතාම වගකීමෙන් රටේ ජනතාවට ප්‍රතිඥාවක් ලබා දෙනවා.

ප්‍රශ්නය

මෙම ටෙන්ඩරයෙන් සමාගමක් තෝරා ගන්නා ආකාරය කෙසේද ?

පිළිතුර

මෙහිදී සිදුවන්නේ තරගකාරී ලංසු කැඳවීමක්. අපි දන්නවා නැගෙනහිර ජැටිය ගත්තොත් වසර 35 කින් නැවත ලංකා රජයට භාර දෙනවා කියලා අදාල සමාගම සමග එකඟතාවයක් හදාගත්තා. මොකද අදානි සමාගම පමණයි එම කාර්යයට සම්බන්ධ වුණේ. නමුත් මෙහිදී සමස්ත ලෝකයේම තරගකාරී ලංසු කැඳවීමක් කරනවා. දැනටමත් ඇමරිකා එක්සත් ජනපදය රුසියාව චීනය කැනඩාව දකුණු අප්‍රිකාව මේ සඳහා විවිධ රටවලින් කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා ඉතාම තරගකාරී තත්ත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ටෙන්ඩරයක දී සිදුවෙන්නේ අවශ්‍ය ප්‍රමිතිය සහිත ඉල්ලුම්කරුවන් අතරින් අවම මිල සඳහන් කරන පුද්ගලයාට තමයි ටෙන්ඩරය ලබා දෙන්නේ. මෙහි දී සිදු වන්නේ අපට අවශ්‍ය ප්‍රමිතියෙන් හදන පිරිපහදුව අවම කාලයකින් අපට බාරදෙන සමාගමට තමයි ටෙන්ඩරය ලැබෙන්නේ.

ප්‍රශ්නය

මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ අභියෝග මේ වන විටත් ඉදිරිපත් වෙනවා නේද?

පිළිතුර

වසර පනස් දෙකක් පුරා කිසිම ආණ්ඩුවකට නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට බැරිවුනේ නිකම්ම නොවෙයි. නොයෙකුත් අභියෝග තියෙනවා. එම අභියෝග වලට මුහුණ දීමට සූදානමින් තමයි අපි වැඩේට බැස්සේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ද මෙහිදී මෙසේ අදහස් දැක්වීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේත් ඛනිජ තෙල් පිරිපහදු වෙත් ඒ වගේම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේත් සියලු සේවකයන්ගේ අභිප්‍රාය අලුත් පිරිපහදුවක් ඉදිකිරීම. විශේෂයෙන්ම මේ රටට අපි අවශ්‍ය ඉන්ධන වලින් 30% ටත් වඩා අඩු ප්‍රමාණයක් පමණයි අපේ සපුගස්කන්ද පිරිපහදුවෙන් දැනට නිෂ්පාදනය කරන්නේ.

ඇමතිතුමා බලයට පැමිණුනාට පස්සේ, එතුමාගේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පළමු කැබිනට් පත්‍රිකාව උනේ සපුගස්කන්දේ නව පිරිපහදුවක් ඉදි කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය කිරීමේ ඉල්ලීම. ඒකට කැබිනට් අනුමැතිය අපිට ලැබුණා. ඒ අනුව මේ වෙලාව වෙනකොට ඇමතිතුමා සඳහන් කලා වගේම ඒ ශක්‍යතා අධ්‍යයනය කටයුතු ආරම්භ කරලා තියෙනවා.

මේ ශක්‍යතා ආරම්භ කිරීමත් සමගම පිරිපහදුවක් අලුතෙන් ඉදිකරන කොට ඒ පිරිපහදුව අපට නිවැරදිවම ආරම්භ කරන්න නම් ඒකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕනේ .ඒ අවශ්‍ය කටයුතු මේ දිනවල අපි කරගෙන යනවා.

ඇමතිතුමා පැහැදිලිව කිව්වා වගේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ රටේ තියන බල ශක්තිය සපයන ප්‍රධානම ආයතනය. තමුන්නාන්සේලාට මතකයි 2001 වසරේ බලයට පත් වුණු ආණ්ඩුව මේ රටේ තිබුණු ආයතන පෞද්ගලීකරණකරණය ආරම්භ කළා. ඇමතිතුමාලා, වෘත්තිය සමිති, අපි සියලු දෙනා එකතු වෙලා අපිට හැකියාව ලැබුණා ඒ පෞද්ගලීකරණ කටයුතු සම්පූර්ණයෙන් නතර කරන්න. ඒ ආණ්ඩුව පෙරළා දමන්න. ඒ ආණ්ඩුව පෙරළා දැමුවේ ඒ සියලු කටයුතු රටට අහිතකර වුණු නිසා. ඒ නිසා ඉතාම පැහැදිලිව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, රටේම ඉල්ලීම අලුතෙන් පිරිපහදුවක් ඉදි කිරීම. ඒ තුළින් අපි ගණන් හදලා බලනකොට ඉන්ධන සඳහා කරන වියදමෙන් 40% විතර ප්‍රමාණයක් මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් .

40% කියන්නෙ ඩොලර් මිලියන ගණනක් වසරකට ඉතිරි කරන්න පුළුවන්. ඒ නිසා ඒ අවශ්‍ය කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපි ඉතාම පැහැදිලිව කියනවා කවුරු කෙසේ කිවුවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු එක සම්පතක් වත් මේ රටේ සාමාන්‍ය ජනතාවට අයිති දේවල් කිසිදු ආකාරයකින් පෞද්ගලීකරණය කිරීමට කිසිසේත් අපි ඉඩ තියන්නෙත් නැහැ. ඒකට අවශ්‍ය කටයුතු කරන්නෙත් නෑ කියන එක ඉතා වගකීමෙන් කියනවා. කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට ආයතන ප්‍රධානීන් හැටියටත් ඒ වගේම අමාත්‍යාංශය භාර ඇමතිතුමා හැටියටත් ඒ නිලධාරීන්ටත් විශේෂ වගකීමක් තිබෙන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය සහ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද මෙම මාධ්‍ය හමුව සදහා එක් විය.

– media unit

224,442 views

60 Comments to “ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය එයි.. ඩොලර් බිලියන 03යි.. රුපියල් කෝටි 60,000යි.”

  1. කඩියා says:

    ප්‍රොජෙක්ට් එකනම් හොදයි. නමුත් කොවින් එයගෙ හොරු සෙට් එකට සබ් දෙන්න බලපෑම් කරාවි. ප්‍රවෙශමින්.

Main News