ලංගමට සැප බස් පමණයි..

June 15, 2019 at 8:02 am | lanka C news
ලංගමට සැප බස් පමණයි..

වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශ්වයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදාන කෙරෙන සියයට එකක මුදල මේ වන විට සියයට දෙක දක්වා වැඩිකර ඇති බැවින් ඉදිරියේදි හප්පා පලාගිය රිය අනතරුවලින් මිය ගිය හා ආබාධිත වුවන් සදහා ලබාදෙන වන්දි මුදලද වැඩි කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම අදහස් පළකළේ මහවැලි කේන්ද්‍රෙය්දි ‘‘මහමග අනතුරු අවම දේශයක්” යටතේ පැවැති වැඩ සටහනේදි හදුනානොගත් අනතුරුවලින් හෙවත් හප්පා පලාගිය රිය අනතුරුවලින් මිය ගිය හා ආබාධිත වු 27දෙනෙකු සදහා රුපියල් ලක්ෂ හතලිහක වන්දි මුදල් පරිත්‍යාග කළ අවස්ථාවේදිය.

මෙහිදී මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ හරිමග පුවත්පතද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට පිළිගැන්විණ. උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව ඉදිරියේදී කොමිසම් සභාවක් බවට පත්කිරීමද පියවර ගන්නා බවයි.

ජාතික සභාවේ කාර්යය භාරය පුළුල් කිරීම උදෙසා එම පියවර ගන්නා බවත් ලබන අඟහරුවාදා දින පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට එහි පත්‍රිකාව ඉදිරිපත් කරන බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

“මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බස්රථවලට අමතරව ඉදිරියේදී පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රීවිල් නියාමනය කිරීමටත් පියවර ගන්නවා. එම නියාමනය සිදු කරන ලෙසට දැනටමත් එම සේවාවල සංගම්වලින් ඉල්ලා තිබෙනවා. අද අපිට අවශ්‍ය වන්නේ ආරක්ෂිත ප්‍රවාහන සේවාවන්. ඒ සඳහා එක් පියවරක් ලෙසට සැපපහසු බස් පමණක් ලංගමට ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරනවා. සමහර ව්‍යපාරිකයෝ මේවාට විරුද්ධයි. නමුත් ජනතාව වෙනුවෙන් සුදුසු පියවර ගන්න මම පසු බට වෙන්නේ නැහැ….”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

උත්සව සභාව අමතමින් මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ මනුස්සකම නැති රිය ධාවනය බොහෝ මරණවලට හේතු වී ඇති බවයි.
අනතුරට පත්වු පුද්ගලයා නිසි වෙලාවට රෝහල් කරා ගෙනියන්න කටයුතු නොකළ නිසා අහිංක ජිවිත මහ මග නැතිවෙනවා. අනතරුට පත්වු පුද්ගලයින් රෝහල් ගත කරන්න කටයුතු කරන්න තරම් මනුස්සකම වැඩි දියුණු වි තිබිය යුතුයි. අන්න ඒ තත්ත්වයට දියුණු වු විටයි රියදුරා මිනිසෙකු බවට පත්වන්නේ. ඒ සදහා දැවැන්ත වැඩ සටහන් රටපුරා ක්‍රියාත්මක කරනවා. දැන් අවුරුද්දෙන් අවුරුද්ද මහමඟ සිදුවන මරණ සංඛ්‍යාව අඩුවි තිබෙනවා. අද වන විට මාර්ගයේ ලක්ෂ අසුවක් පමණ රථවාහන ධාවනය වෙනවා. ලක්ෂ තිස් නමයක් පමණ තිබෙන්නේ යතුරු පැදි. ලක්ෂ එකොලහක් පමණ ත්‍රිරෝද රථ, හතළිස් දහසක් පමණ පාසල් වෑන් රථ තිබෙනවා.දැන් අළුතින් එකතුවුයේ කුලි රථ. මේ සියලු දෙනාටම ප්‍රශ්න තිබෙනවා. මේ සියලුදෙනාගෙන් වඩාත් ආරක්ෂාකාරීව වඩාත් ගුනාත්මක සේවාවක් ලබා ගන්න මාර්ග ආරක්ෂාව පිළිවද ජාතික සභාව කටයුතු කරනවා…”යිද වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.

මෙම උත්සවයේදී ත්‍රීරෝද රථ, පාසල් සේවා, කාර්යාල සේවා සහ කුලීරථ සේවා නියාමනය කරන ලෙස ඉල්ලමින් එහි සංගම් විසින් සංදේශද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත ඉදිරිපත් කෙරිණ. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පි.ජයම්පති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමතිවරයාගේ අමාත්‍යාංශ ලේකම් මල්කාන්ති ඒකනායක යන මහත්ම මහත්මින් හා මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

– තමීර මංජු

22 views

3 Comments to “ලංගමට සැප බස් පමණයි..”

  1. රෙජී says:

    ලංකාවේ මගී දාවනයට සුදුසු බස් රථ යොදවන්න රජය මීට වඩා මැදිහත් වනවානම් හොදයි.මේ ලොරි බස් දැන් වත් දාවනයෙන් අයින් කරන්න

  2. සුනිල් අත්තනායක says:

    Dan meyaa maara wangu daanne …horakam karala karala dan chande lan wenakota mun maara acting daanne…me apathayo 225 nathuwa aluth ewun daanna onee anika 225 mokatada me podi ratata…???

  3. Kings says:

    ගරු ඇමතිතුමනි. ඔබ තුමා වැඩක් කරන්න උත්සාහ කරන බව අපි දැක්කා. මේ එදිනෙදා කොළඹ ‍රැකියාවට එන අපි වාහන තදබදය නිසා කොච්චර දුක් විඳිනවද? රටක් විදිහට බැලුවම කොයි තරම් පිට රටින් ගේන පෙට්‍රල්, ඩීසල් නාස්තියක්, ඒ වගේම ලක්ෂ ගනනක කාලය නාස්ති වෙනවද?
    මම යෝජනා කරන්නෙ සැප පහසු බස් කිහිපයක් නුවර පාරෙ කඩවත හෝ ගම්පහ ප්‍රදේශයෙනුත්, ගාලු පාරෙ මොර‍ටුව ප්‍රදේශයෙනුත් කාර්යාල වේලාව වලදි ආරම්භ කලොත් කාර් වලින් එන අය අඩු වෙයි. තද බදය අඩු වෙයි. ලංගමට ආදායමත් වැඩි වෙයි.

Main News