ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක්.. මේ වසරේදී බස්රථ 24ක් සමාගමෙන් එළියට..

March 23, 2019 at 8:02 am | lanka C news
ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක්.. මේ වසරේදී බස්රථ 24ක් සමාගමෙන් එළියට..

ලක්දිව ඒකල ඉංජිනේරු සමාගම නව මාදිලියේ බස්රථයක් හඳුන්වා දුන්නේය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතීතයේ භාවිත කළ බස්රථ ආකෘතියට අනුව එම බස්රථය නිපදවා තිබේ. ඒ නවින පහසුකම්ද ඊට එක් කරමිනි. සාමාන්‍ය බස් රථයක් නිපැදවීමට යන මුදලට වඩා සියයට තිහක අඩු පිරිවැයකින් එම මාදිලියේ බස්රථයක් නිපැදවීමට හැකි වීමද විශේෂත්වයකි. 1987 වසරේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල අනන්‍යතාව වූ බස්රථ බදෙහි නිල් පටියද මෙම නව මාදිලියේ බස්රථයට යොදා තිබේ. අද එම නවමාදිලියේ බස්රථය හඳුන්වා දුන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදීය.

උත්සවයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සහ අමාත්‍යාංශ ලේකම් එල්. පී. ජයම්පති මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් එක් වූහ. එහිදී එම උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ ලක්දිව ඉංජිනේරු සමාගමට අලුත් ව්‍යාපාරික අවස්ථා හඳුන්වා දීමටද කටයුතු කරමින් සිටින බවයි.

“ලක්දිව ඉංජිනේරු සමාගම දැන් ක්‍රම ක්‍රමයෙන් ලාභ ලබන තත්ත්වයකට ළඟා වෙමින් තිබෙනවා. අපේ අරමුණ වන්නේ බස් රථ නිපැදවීමට අමතරව මෙම සමාගමට අලුත් ව්‍යාපාර අවස්ථා හඳුන්වා දෙන්න. ඒ යටතේ දුම්පරීක්ෂණ මධ්‍යස්ථානයක් මේ සමාගමට ලබා දීමට පසුගියදා අපි පියවර ගත්තා. එහි ව්‍යාපාර කටයුතු නොබෝ දිනකින්ම ආරම්භ කිරීමටත් අපි අපේක්ෂා කරනවා. ඒ වගේම මේ ආයතනයේ සේවකයින්ගේ සුභ සාධනය ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගේ වැටුප ඉතාම අඩුයි. අපි අපේක්ෂා කරනවා සමාගම ලාභ ලැබීමත් සමගම සේවකයින්ගේ සුභසාධනයත් ඉහළ නංවන්න. ඇත්තටම සේවකයින් කැපවුණොත් මේ සමාගම ඉහළට ගේන්න පුළුවන්. එහෙම වුණොත් මේ සමාගම් පෞද්ගලීකරණය කරන්න වෙන්නේ නැහැ. කොහොමත් මම පෞද්ගලීකරණය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. මේ සමාගම විකුණනන්න ඉඩ නොදී ඉහළට ගෙනෙන්න කළ හැකි හොඳම දේ මම කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

ප්‍රවාහන අමාත්‍යංශය යටතේ එන ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම අබිලි බස්රථ යොදා ගනිමින් නව බස්රථ නිපදවන සමාගමකි. ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ වැඩ ඒකකයක් ලෙස ආරම්භ වු මෙහි 1200කට ආසන්න සේවක සංඛ්‍යාවක් මුල් යුගයේදී සේවය කළේය. ශ්‍රී ලංගම සඳහා බස් බොඩි සකස් කිරිම එහිදී සිදු කෙරිණි. එහෙත් පසුකාලීනව ශ්‍රී ලංගමයේ කඩා වැටීමත් සමඟම ඒකල මෙම ඉංජිනේරු අංශයද කැඩී යන තත්ත්වයකට පත් විය. එහෙත් මෑතත කාලිනව එම ඉංජිනේරු අංශය ලක්දිව ඉංජිනේරු සමාගම නමින් නැවතත් ස්ථාපිත කෙරිණ. මෙම වසර ආරම්භයට පෙර එම සමාගම මසකට නිපදවූ බස්රථ සංඛ්‍යාව හත ඉක්ම නොවීය. කෙසේනමුත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරී මාසයේ සිට එම නිෂ්පාදනය සියයට සියයකින් මේ වන විට වැඩි කිරීමට කටයුතු යොදා තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙසට පෙබරවාරී මාසයේදී බස්රථ 7ක් නිපැදවීමට ලක්දිව ඉංජිනේරු සමාගම සමත්ව තිබේ. මේ මාසයේදී දැනට නිපදවූ බස්රථ සංඛ්‍යාව 14කි. ඒ අනුව 2018 වසරේදී මේ දක්වා එම සමාගම නිපැදවූ මුළු බස්රථ සංඛ්‍යාව 24ක් වේ. එක් බස්රථයකින් ශුද්ධ ලාභය ලක්ෂ දෙකක් පමණ වන බැවින් මේ වන විට මේ වසරේදී සමාගම උපැයූ ශුද්ධ ලාභය ලක්ෂ 48ක් බවද අද අනාවරණය විය.

– තමීර මංජු

32,299 Viewers

3 Comments to “ලක්දිව ඒකල ඉංජිනේරු සමාගමෙන් නව මාදිලියේ බස් රථයක්.. මේ වසරේදී බස්රථ 24ක් සමාගමෙන් එළියට..”

  1. tikka says:

    ලොරි බස් ආකෘතියෙන් මිදෙන්න බලන්න ඕන. රියෙදුරා සාමාන්‍ය වෑන් රථයක රියදුරු අසුන හා සමාන උසකට ගේන්න ඕන. එතකොට ඔය රේස් දිවිල්ලයි පාරෙ මිනිස්සු යටකිරිල්ලයි අඩුවෙනවා.. ඉන්දියන් කබල් වලට වඩා මිනිස්සු දෙන්නෙකුට ඉඩ ඇතුව ඉඳගෙන යන්න සීට් පලල් වෙන්න ඕනෙ. සීට් අතර ඉඩ වැඩිවෙන්න ඕනෙ. මෙන්න මේ වගේ තමන්ගෙම අනන්‍යාතාවයක් ගොඩනගාගන්න පුළුවන්නම් හොඳ ඉල්ලුමක් තියේවි.

  2. NAK says:

    What a shame Ravi Goonawardena who pioneered the turn around of this company is not even mentioned!

  3. Siri says:

    It`s High time Sri Lanka Bands importation of Aluminum body buses built on lorry chassis for passenger transportation.
    Must be fully steel body in future
    Loss of valuable lives as well as foreign exchange.

Main News