ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සරත් ෆොන්සේකා වගකිව යුතුයි.. – රනිල් පාර්ලිමේන්තුවේදී කියයි..

January 31, 2017 at 2:10 pm | lanka C news
ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට සරත් ෆොන්සේකා වගකිව යුතුයි.. – රනිල් පාර්ලිමේන්තුවේදී කියයි..

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මරණයට එකල හිටපු හමුදාපති සරත් ෆොන්සේකා වත්මන් ඇමති වගකිව යුතු බව එවකට විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල මහතා පවසයි.

සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

‘ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන පරීක්ෂණ වල දැන් අරමුණ වෙලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කිරීමයි. මේ ආන්ඩුවට අළුත් ලෙඩක් හැදිල . ඒ තමයි ගෝඨාභය භීතිකාව. ඒ නිසා රවිරාජ් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වැනි මොන ඝාතනය ගත්තත් ආණ්ඩුවේ ඉලක්කය වෙලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාවයි. අගමැතිතුමා එදා විපක්ෂ නායක විධියට පාර්ලිමේන්තුවේ දී කිව්වා ලසන්ත වික්‍රමතුංගගේ මරණයට සරත් ෆොන්සේකා ඇමතිතුමා වගකිව යුතුයි කියලා. විපක්ෂ නායකවරයෙකු වගකීම් විරහිතව පාර්ලිමේන්තුවට කියන්නේ නෑනෙ. එතුමා මොනවා හරි දන්නවා ඇති. ඒකයි එහෙම කියන්න ඇත්තේ. එහෙම නම් ඝාතන විමර්ශකයින් අගමැතිතුමාගෙන් ප්‍රශ්න කළ යුතුයි.

නමුත් අද වන තුරු ප්‍රශ්න කරලා නෑ. එ් වගේම ලසන්ත ඝාතනය කලේ මෝටර් සයිකල් වලින් පැමිණි හමුදා භටයින් බවට ඒ දින වල එජාපය චෝදනා කළා. නමුත් ඒ දින වල කොළඹ නගරයේ ආරක්ෂාව භාරව සිටි 112 බ්‍රිගේඩයේ අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කැප්පෙටිවලානගෙන් මේ දක්වා ප්‍රකාශයක් අරන් නෑ. මේ විමර්ශනයේ අරමුණ විය යුත්තේ සැබෑ ඝාතකයින් හඳුනා ගෙන යුක්තිය ඉටු කිරීම මිස තමන්ට දේශපාලන තර්ජනයක් වන අය හඳුනා ගෙන ඒ අය මර්දනය කිරීම නොවේ. එහෙම කළොත් රවිරාජ් ඝාතන නඩුවට අත් වුණු ඉරණම මේ නඩුවටත් අත් වෙන්න ඉඩ තිබෙනවා. රවිරාජ් වගේම ලසන්තත් තමන්ට වෙඩි තියා ගෙන සිය දිවි හානි කර ගත්තේ නෑනෙ. ඒ නිසා සැබෑ ඝාතකයින් නීතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එසේ නැතිව තමන්ට දේශපාලණිකව තර්ජනයක් විය හැකි අය හදුනාගෙන ඔවුන් මර්ධනය කිරීම නෙවෙයි’

 

– අරවින්ද අතුකෝරල

128 views
Main News