ලසිත් මාලිංගට පුහුණුකරුගෙන් රතු එළි.. 20-20 නායකත්වයෙන් ඉවත් කිරීමටද සැරසේ..

January 25, 2020 at 6:26 am | lanka C news

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි විස්ස නායක ලසිත් මාලිංගගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් පවසා ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඒ අනූව කි. ග‍්‍රෑ. 10 කට ආසන්න ප‍්‍රමාණයක් ඔහුගේ බර අඩු කර ගන්නා ලෙස පුහුණුකරුවන් විසින් උපදෙස් දී ඇත.

ලසිත් මාලිංගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඔහුට මෙම පණිවුඩය ප‍්‍රධාන පුහුණුකරුවන් විසින් ලබාදී ඇත. ලෝක කුසලාන තරගාවලියට මාස නවයක් තිබෙන බැවින් ඒ වෙනුවෙන් කණ්ඩායම සූදානම් කිරීමේදී ගත යුතු ක‍්‍රියාමාර්ග අනූව පුහුණු කාර්යමණ්ඩලය විසින් සියලූම ක‍්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

ලබන මස ශ‍්‍රී ලංකාවට පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව්වන් සමග විස්සයි විස්ස තරග දෙකේදී මාලිංග ක‍්‍රීඩා කරනවාද නැද්ද යන්න තවම තේරීම් කමිටුව තීරණය කර නැති අතර ඔහුගේ නායකත්වය සම්බන්ධයෙන්ද ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි ක‍්‍රිකට් ප‍්‍රධානියකු පැවසීය.

මාලිංග දක්ෂ ක‍්‍රීඩකයෙක් වුවත් ඔහුගේ වත්මන් දක්ෂතා සම්බන්ධයෙන් පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව මේ වන විට අසතුටින් පසු වන අතර සමස්තයක් වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන්ද ඔවුන් අසතුටින් පසුවේ.

කෙසේ වෙතත් ලබන ඔක්තෝම්බර් මස පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන වෙනුවෙන් කණ්ඩායම ස්ථාවර කර ගැනීම සහ ස්ථිර නායකයකු පත්කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානයක් යොමුව තිබේ. ඒ අනුව ඉදිරියේදී බොහෝ විට ලසිත් මාලිංගගේ විස්සයි විස්ස නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දසුන් ශානකට හිමිවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එය සිම්බාබ්වේ තරගාවලියෙන් පසුව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා මීට පෙර කළ විමසීමකදී පැවසීය.

36 හැවිරිදි ලසිත් මාලිංග විස්සයි විස්ස තරගවලදී ලොව පළමු කඩුලූ සියය වාර්තා කළ පන්දු යවන්නාද වේ. ඔහු මේ වන විට විස්සයි විස්ස තරග 82 කදී කඩුලූ 106 ක් දවාගෙන ඇති අතර පළමු පෙළ සමස්ත විස්සයි විස්ස තරග 293 කදී කඩුලූ 389 ක් ලබාගෙන තිබේ.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ක‍්‍රීඩා කළ අවසන් විස්සයි විස්ස තරග පහේදී ලබා ඇත්තේ කඩුලූ දෙකක් පමණි. ඉන්දියාව සමග පැවැති විස්සයි විස්ස තරග දෙකේදී මාලිංග යවන ලද පන්දුවාර අටේදී ලකුණු 81 ක් උදුරා ගැනීමට ඉන්දියානු පිතිකරුවන් සමත් විය. එම තරගාවලියේදී සමස්ත ශ‍්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක වූ අතර මාලිංග විසින් මීට මාස හතරකට පෙර නවසීලන්තයට එරෙහිව ලකුණු හයකට කඩුලූ පහක්ද බිඳ දැමීය.

අසේල විතාන
– divaina

94 views

5 Comments to “ලසිත් මාලිංගට පුහුණුකරුගෙන් රතු එළි.. 20-20 නායකත්වයෙන් ඉවත් කිරීමටද සැරසේ..”

  1. මාලිංගත් කට කියෙව්වට දැන් වැඩ අඩුයි. දක්ෂතා නැත්තම් කටෙන් විතරක් ගහල තැනක් ගන්න බෑ.

  2. Nishan says:

    Indian fellows have stolen their talents ( or have got used to all his attacks ) with their thumping IPL money given to players worldwide.

  3. Kalana says:

    Better resign from captancy and after world cup.

  4. Kapila says:

    මාලිංග IPL යන හින්ද ඉන්දියාවට පක්ෂපාතියි. ඔහු ඉන්දියාවත් එක්ක Match fixed කරනවා වගෙයි මට පේන්නේ.

    • Udara says:

      Thanks to frequent IPL appearances by Malinga, Indians learned all his tricks and bowling variations.Shewag told that openly.

Main News