කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

February 5, 2019 at 12:00 pm | lanka C news
කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව අන්තර් ජාතික වෙළදාම් කටයුතු සඳහා සුවිශේෂී ප්‍රසිද්ධියක් ඉසිලීය. ලොව හොඳම කුළුබඩු, මුතු,මැණික් සොයා අතීතයේ වෙළඳුන් පැමිණියේ ශ්‍රී ලංකාවටය. වර්තමානයේදීද, ශ්‍රී ලංකාව කුළුබඩු සඳහා ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ශ්‍රී ලාංකීය කුළුබඩු වල ඇති ඉහල ගුණාත්මකබාවය නිසාමය. විශේෂයෙන්ම, “සත්‍ය කුරුඳු” (True Cinnamon) හි නිජබිම ශ්‍රී ලංකාවය. ලෝක වෙළඳපොළෙහි ඉල්ලුමට අවශ්‍ය තරම් “සත්‍ය කුරුඳු” සැපයීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති නිසා අතිරික්ත ඉල්ලුම වෙනත් රටවල නිපදවන තත්වයෙන් බාල  “කැසියා කුරුදු” හරහා සැපයීම සිදුවේ. තවද අනෙක් රටවල ගම්මිරිස් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා ගම්මිරිස්වල ඇති  ඉහල ගුණාත්මකබාවය නිසාම “සගන්ධ තෙල්” නිෂ්පාදනය සඳහා  වැඩිවශයෙන්ම  යොදාගන්නේ ශ්‍රී ලාංකීය ගම්මිරිස්ය. මෙවැනි සුවිශේෂිතා නිසාම  ලෝක වෙළඳ පොලෙහි ශ්‍රී ලංකා කුළුබඩු සඳහා සාපේක්ෂව ඉහල මිලක් ලැබී තිබේ.

තවද, මෙම ඉහල ගුණාත්මකභාවය පිළිබඳ මැනවින්ම හදුනන ඉන්දියාව හා පකිස්ථානය, තම “සගන්ධ තෙල්” වැනි කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ලෙස ශ්‍රී ලංකා කුළුබඩු වැඩි වශයෙන් ලබාගැනීමේ අරමුණින් නිදහස් වෙළඳ ගිවිසුම් හරහා  මෙම භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීමේදී තීරුබදු  වලින් නිදහස් කොට ඇත.

ජාවාරම පටන් ගන්නේ මෙම ඉහළ ගුණාත්මකභාවය හා තීරුබදු නිදහස් කිරීම නිසා ඇතිවී ඇති තරඟකාරී වාසි අයථා ලෙස භාවිතා කරමිනි. ජාවාරම්කරුවන්ගේ ක්‍රියා නිසා අද වනවිට අඩුවී තිබුණ ද මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලාංකීය ගම්මිරිස් මෙට්‍රික් ටොන් එකකට වෙනත් රටවලට වඩා ඇමෙරිකානු ඩොලර් 1000 – 1200ත් අතර වැඩි ප්‍රමාණයක් ලැබෙමින් පැවතිණ. තවද නිදහස් වෙළඳ ගිවිසුම හරහා අන් රටවලට සාපේක්ෂව 40% ක තීරුබදු වාසියක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. ඒ ඔස්සේද මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000 – 3500ක වාසියක් හිමිවේ. ප්‍රවාහන ගාස්තු  අත්හල විට මෙසේ වෙනත් රටක ගම්මිරිස් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිතව ඉන්දියානු වෙළඳ පොලට යැවීමේදී මෙට්‍රික් ටොන් 1කට ඇමෙරිකානු ඩොලර් 3000කට වැඩි (රුපියල් ලක්ෂ 4කට වැඩි) අමතර ලාභයක් මීට වසර 2කට පමණ පෙර ඉපයීමේ හැකියාව ලැබුණි. පුවක් සඳහාද තිබුනේ මෙවැනිම තත්වයකි. මෙය උපරිම ලෙස ප්‍රයෝජනයට ගත් ජාවාරම්කරුවන් මෙට්‍රික් ටොන් දසදහස් ගණනින් වෙනත් රටවල ගම්මිරිස්, පුවක්  ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට පටවා ඇත.

මුලදී නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහා සම්පුර්ණයෙන් තීරුබදු නිදහස් කලද පසුව ඒ සඳහා කෝටා සීමාවක් පැනවීමට ඉන්දියාව පියවර ගන්නේ මෙම තත්වය හරහා ඉන්දීය ගොවියන් ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය නිසාය. ඒ ඔස්සේ ද තත්වය පාලනය කරගත නොහැකි වූ නිසා ඉන්දියාව පසුගිය වසරේදී ගම්මිරිස් ආනයනයේදී  බදු ගණනය කිරීම සඳහා අවම ආනයනික මිලක් පැනවීමට කටයුතු කරන ලදී. මෙම තත්වය යටතේ ගම්මිරිස් සඳහා “සම්භව සහතික” (Certificate of Origin”) ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීම හදුන්වාදෙන ලදී. ජාවාරම්කරුවන් විසින් ගම්මිරිස් ජාවාරම සිදුකිරීම මේ සමඟම සැලකිය යුතු ලෙස අඩුවූ නමුදු සියඹලා, කුරුඳු වැනි වෙනත් භෝගවලට මෙම ජාවාරම මේ වනවිට ව්‍යාප්ත කොට ඇත. විශේෂයෙන්ම, යුරෝපා සංගමය විසින් පසුගිය සමයේදී මත්ස්‍ය අපනයන සඳහා තහනමක් පනවා තිබුනේද මෙවැනි ආකාරයට වෙනත් රටවල යාත්‍රා මඟින් අල්ලා ගන්නා මසුන් ශ්‍රී ලංකාවට ලබාදී ඇති GSP සහනය යොදාගනිමින් ජාවාරම්කරුවන් විසින් යුරෝපයට අයථා ලෙස අපනයනය කිරීම නිසාය. මීට පෙර ඉන්දියාවට නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය කල වනස්පති අපනයනයන්ද අහිමිවී යාමට හේතුව ජාවාරම්කරුවන් තීරු බදු සහන අයථා ලෙස භාවිතා කිරීමය.

මේ තත්වය උඩ අන්තර්ජාතික වෙළඳාම සඳහා ශ්‍රී ලංකාවට   ඇති ඓතිහාසික කීර්තිනාමය බිදවැටීමට පටන් ගෙන ඇත. අපගේ   අපනයන වෙළඳපොළවල් වපර ඇසකින් ශ්‍රී ලංකාව දෙස බැලීමට පෙළඹී ඇත. භයානකම ලෙස දේශීය ගොවියාට ඇති අවස්ථාවන් කූට ජාවාරම්කාර වෙළෙන්දන් නිසා අහිමිවී යාමට පටන්ගෙන ඇත. මීට පැහැදිලි ලෙසම අන්තර් ජාතික වෙළඳාම සම්බන්ධයෙන් ක්‍රියාකරන ආයතන වගකිවයුතු අතර විශේෂයෙන්ම පහත අඩුපාඩු  නිවැරදි කරගැනීම හරහා මෙම ජාවාරම්කරුවන්ගේ කූට වැඩකටයුතු නැවැත්වීමේ හැකියාව ඇත.

  • ඉන්දීය හා පකිස්ථාන නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාලව සියලුම භාණ්ඩ සඳහා නිකුත් කරන “සම්භව සහතික” ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කිරීමේ පහසුකම ලබාදීම

මෙම සියළු ජාවාරම් සිදුවන්නේ ව්‍යාජ ලෙස නිකුත් කරන ලද “සම්භව සහතික” යොදා ගනිමිනි. වාණිජ දෙපාර්තමේන්තුව විසින් ද්විපාර්ශවික නිදහස් වෙළඳ ගිවිසුම් වලට අදාල “සම්භව සහතික” නිකුත් කිරීම සිදුකලද පුවක් සඳහා අදාල  “සම්භව සහතික” නිකුත් කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය මඟිනි. මෙහි විෂයභාර අමාත්‍යවරයාගේ නම මෙම ජාවාරම් සඳහා නිරතුරුව  කියවෙන පසුබිමක මෙවැනි ක්‍රමවේදයක් සඳහා ඉඩ ලබාදීම පුදුම සහගතය. විශේෂයෙන්ම පසුගිය කාලයේදී වාණිජ දෙපාර්තමේන්තුව පැවතියේ මෙම අමාත්‍යාංශය යටතේය. විද්‍යාත්මක ලෙස විෂයන් බෙදා වෙන්කිරීමේදී ලෝක වෙළඳ සංවිධානයට අදාලව කටයුතු කරන නිදහස් වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අදාලව කටයුතු කරන වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාතික වෙළඳ අමාත්‍යාංශය යටතේ නොයෙදීමට කටයුතු නොකිරීමද පුදුම සහගතය. විශේෂයෙන්ම, පසුගිය කාලයේදී ආන්දෝලනයට ලක්වූ සිංගප්පුරු වෙළඳ ගිවිසුම නිසිලෙස සකස් නොවීමටද මෙය එක්‌ හේතුවක් විය හැක.

එමනිසා, මෙසේ අත්තනෝමතික ලෙස විවිධ ස්ථාන වලින් “සම්භව සහතික”  නිකුත් නොකොට වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ඔන්ලයින් ක්‍රමයට සත්‍යාපනය කල හැකිලෙස “සම්භව සහතික” නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හදුන්වා දිය යුතුය. එවිට අදාල දේශීය හා විදේශීය රේගු නිලධාරීන්ට සහතිකයේ වලංගුතාවය පහසුවෙන්ම සත්‍යාපනය කරගැනීමට හැකියාව ලැබේ. මෙම ක්‍රමවේදය GSP සඳහාද ඉන්දීය නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ගම්මිරිස් සඳහාද ක්‍රියාත්මක කොට ඇත. සාර්ථක ප්‍රථිපල ලබාගෙන ඇත.

  • TIEP, BoI, කේන්ද්‍රීය මෙහෙයුම්කරණය (HUB operation) වැනි සියළුම ආයෝජන ක්‍රමවේද යටතේ ශ්‍රී ලංකාවට ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු හා සුළු අපනයන භෝග ආනයනය කිරීමට ලබා දී ඇති තීරුබදු හා වෙනත් සහන ඉවත්කර දැමීම

යම්කිසි ආයෝජකයෙකුට කුළුබඩු හා සුළු අපනයන භෝග තම නිෂ්පාදන සඳහා අවශ්‍යනම් දේශීය ගොවියන්ගෙන් ලබා ගන්නා ලෙස දැන්විය යුතු අතර එසේ නොමැතිව මෙසේ ආනයනයට සහන ලබාදීම නිසා දේශීය ගොවියාගේ අස්වැන්නට ලැබෙන මිල අඩුවී ඇති  අතර වගාව ව්‍යප්තවීමද අඩපණ  වී ඇත.

  • කුළුබඩු හා සුළු අපනයන භෝග ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයනයට සීමා පැනවීම

සිංගප්පුරුව වැනි ප්‍රතිඅපනයනයේ දැවන්තයින්ද තම දේශීය කර්මාන්ත ආරක්ෂා කරගැනීමට ප්‍රතිඅපනයන සීමා කිරීම් සිදුකර ඇති වකවානුවක ශ්‍රී ලංකාව එවැනි පියවර නොගැනීම ඉතාමත් පුදුම සහගතය.

– GPD සිල්වා

243 views
Main News