ලෝක බෞද්ධ සමුළුවේ උත්තරීතර උපදේශක හිමිපාණෝ පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී “මුරුත” පැළයක් රෝපණය කරති…
November 10, 2017 at 2:04 am | lanka C news
හත්වන ලෝක බෞද්ධ මහා සමුළුව සැමරීම පිණිස ශ්‍රී ලංකාවට පැමිණි බෞද්ධ සමුළුවේ උත්තරීතර උපදේශක අතිපූජ්‍ය ආචාර්ය කියුස් එන්ෂින්ජෝ නාහිමිපාණන් විසින් පේරාදෙණිය රාජකීය උද්භීද උද්‍යානයේදී “මුරුත” පැළයක් රෝපණය කිරීම පසුගිය දා සිදුකරණ ලදී.
“මුරුත” ගසට බෞද්ධ ඉතිහාසය තුළ හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. අටවිසි බුදුවරුන්ගෙන් 11වැනි බුදුරජාණන් වහන්සේ වන පදුම බුදු හිමියන්ටත්, 12 වැනි බුදුරජාණන් වහන්සේ වන නාරද බුදු හිමියන්ටත් බුදුවීම සඳහා පිටදුන් බෝධිය වන්නේ මුරුත ගසයි.
ආයුර්වේද ශාඛයක් වශයෙන්ද දැව ශාඛයක් වශයෙන්ද භාවිතා කරන මුරුත ශාඛය උද්‍යාන අලංකරණය සඳහා යොදාගන්නේ එම ශාඛයේ අලංකාර මල් පිපෙන නිසාය.
බෞද්ධ ඉතිහාසයට නෑකම් කියන මෙවැනි ශාඛයක් ශ්‍රී ලංකාවේ ලස්සනම ස්ථානයක් වන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ රෝපණය කිරීමට අවස්ථාව හිමිවීම ගැන තමා බෙහෙවින් සතුටට පත්වන බව අතිපුජ්‍ය ආචාර්ය කියුස් එන්ෂින්ජෝ නාහිමියෝ මෙහිදී ප්‍රකාශ කළහ.
රටවල් ගණනාවකින් පැමිණි නාහිමිවරුන්ට අමතරව රටවල් කිහිපයකින් පැමිණී රජ පවුල්ද පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණ සිටීම විශේෂත්වයකි.
එසේ පැමිණි රජ පවුල් තුනකට තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය විසින් ඇහැල, මගුල් කරඳ, නා යන ශාකවල පැළ පරිත්‍යාග කළේ ශ්‍රී ලංකාවට පැමිණී සංචාරය සිහිවීම පිණිසය.
ඉන් අනතුරුව මහා සංඝරත්නය සහ බෞද්ධ දූත පිරිස පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය නිරීක්ෂණය කළ අතර එම දූත පිරිස ප්‍රකාශ කළේ මෙම රාජකීය උද්භිද උද්‍යානය ඉතා විශිෂ්ඨ නිර්මාණයක් බවයි. එය නඩත්තු කෙරෙන ආකාරය එම දූත පිරිසෙහි පැසසුමටද ලක්විය.
තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන,නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් යාපා නානායක්කාර මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– ප්‍රසාද් මංජු
marutha kiyanne kubuk walatada?