ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා කුරුඳුවලට ඉතා ඉහළ ඉල්ලුමක්…

June 16, 2017 at 8:03 am | lanka C news
ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා කුරුඳුවලට ඉතා ඉහළ ඉල්ලුමක්…

කුරුඳුවල ඇති ඖෂධීය ගුණය හඳුනා ගෙන නොමැති නිසා එහි නියම ප්‍රයෝජනය ගැනීමට නොහැකි බව පවසන ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ, එය හඳුනා ගතහොත් බොහෝ රෝගවලින් මිදීමට හැකි බව කියා සිටී.

මේ වන විට කුරුඳුවලින් බීමක් නිෂ්පාදනය කර ඇති බවත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කළහොත් එය ඉතා වටිනා ඖෂධයක් වනු ඇති බවත් ඔහු පවසයි.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති, කුරුඳුවල අපනයන අදායම ඩොලර් බිලියනක ඉලක්කයක් හරහා යොමු කිරීමේ වැඩමුළුවක් අමතමිනි.

ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා කුරුඳුවලට ඉතා ඉහළ ඉල්ලුමක් හා අගයක් ඇති බව පෙන්වා දුන් ඔහු, විවිධ ප්‍රදේශවල භූමියේ ඇති රසායනික ගුණ හඳුනා ගැනීම සඳහා භූ විද්‍යා පර්යේෂණ සිදු කරන බවද කියා සිටියේය.

වසර 2005 දී සියයට 37ක පමණ මට්ටමේ පැවති අපනයන ආදායම මේ වන විට සියයට 14ක් දක්වා අඩු වී ඇති බව පැවසූ ඔහු, ආනයන හා අපනයන අගයන් අතර පවතින ඩොලර් මිලියන 10ක පරතරය අඩු කර ගැනීමට ආනයනය අඩු කර නිෂ්පාදනය වැඩි කළ යුතු බව පැවසීය.

විදේශ රටවලින් අප ගත යුතු දේ පමණක් ගත යුතු බවත්, රාජ්‍ය සේවකයින් වඩාත් කැපවීමෙන් ක්‍රියා කළහොත් ඵලදායීතාවය වැඩි කර ගත හැකි බවත් ගමගේ මහතා සඳහන් කළේය.

මෙම වැඩමුළුවට රාජ්‍ය නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශය ද නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී විය.

– ජෝර්ජ්ද සිල්වා

191 views
Main News