ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණූ ජයගැනීමට ශ්‍රී ලංකාව පුර්ණ සහයෝගය…

January 26, 2018 at 2:05 am | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණූ ජයගැනීමට ශ්‍රී ලංකාව පුර්ණ සහයෝගය…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 142 වන විධායක සභාව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගිය 22 දින ආරම්භ විය. එම විධායක සභාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී සිටින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සිය දේශණයේ දී මෙසේ අදහස් පළ කරන ලදි.

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්වීමෙන් පසු ඉතා කෙටි කාලයකින් ජයග්‍රහණ රැසක් මෙන්ම ප්‍රගතියක් ද ලබා තිබීම පිළිබදව සතුටට පත්වෙනවා. නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පළමු උපාය මාර්ගික සැළසුම් සහිත ලේඛණය මෙම සභාවට ඉදිරිපත් කළ අතර, එය ඉතාමත් වැදගත් ලේඛණයක් බව මම ප්‍රකාශ කරන්න කැමැතියි. වෙනස් වන ලෝකයට ආමන්ත්‍රණය කිරිම සදහා එම ලේඛණය මගපෙන්වන බව ද මම ප්‍රකාශ කරනවා. එහිදී විවිධ කළාප වල අත්දැකීම් උපයෝගි කරගෙන තිබෙනවා.

නව අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කැපවීම සහ තරගකාරීත්වය, සමානාත්මතාවය ද අගය කරනවා. ගෝලීය සෞඛ්‍ය අවශ්‍යතාවයන් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැපවී සිටිනවා. සෞඛ්‍ය යනු සෑම මිනිසෙකුගේම මුලික අයිතිවාසිකමක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යවස්ථාවේ ඇති කරුණු කෙරෙහි ද නව උපාය මාර්ගික සැළස්ම සකස් කිරීමට උපයෝගී කරගෙන තිබෙනවා. සාමාජික රටවල් සමග සුහදශීලීව සාර්ථක සැළැස්මත් ඉදිරිපත් කිරිම ඉතා වැදගත්.

සෞඛ්‍යමත් ජිවිතයක් සහ විශ්වීය ආවරණයක් සහ සෞඛ්‍යමත් හදිසි සේවා යන ප්‍රමුඛ කරුණූ 03 සහ වියදම් අවම කිරීමේ ක්‍රියාමාර්ග දකුණු සහ නැගෙනහිර ආසියානු රටවලට බෙහෙවින් වැදගත් වෙනවා. මෙම කරුණු තිරසර සංවර්ධන අරමුණූ සාක්ෂාත් කර ගැනීමටත් මනා පිටිවහළක් වනවා. නව ක්‍රියාකාරී සැළැස්ම ඉදිරි වසර 05 තුල ක්‍රියාත්මක කිරිමට රටවල් කැප වී සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශ්වසනීයත්වය වගේම ප්‍රතිඵල සහගත ක්‍රියාමාර්ග ද දැඩි සේ අගය කළ යුතුයි. ශ්‍රී ලංකාව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණූ ජයගැනීමට පුර්ණ සහයෝගය ලබාදෙනවා.”

– ප‍්‍රසන්න අධිකාරි

30 views
Main News