වකුගඩු බද්ධ කිරීම් ගැන වෛද්‍යවරුන් අතර ගැටලු.. රිය අනතුරුවලින් මිය යන අයගේ වකුගඩු ගලවා ගනී..

December 12, 2017 at 6:48 pm | lanka C news
වකුගඩු බද්ධ කිරීම් ගැන වෛද්‍යවරුන් අතර ගැටලු.. රිය අනතුරුවලින් මිය යන අයගේ වකුගඩු ගලවා ගනී..

සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය සංවිධානය කළ වකුගඩු රෝගී සමාජ සත්කාර උළෙල සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම “වකුගඩු” පුවත්පත එළිදැක්වීම කථානායක කරූ ජයසුරිය මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“වකුගඩු රෝගීන්ගේ සංගමය වකුගඩු රෝගය වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනවා. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති හදුනා නොගත් වකුගඩු රෝගය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පර්යේෂණ පැවැත්වුවා. නමුත් නිශ්චිත කරුණක් හෙළී කර ගැනීමට අපහසු වුනා. අපේ රටේ ඇතැම් පුද්ගලයින් එම පරික්ෂණ වලට ද බලපෑම් එල්ල කළා. පසුව ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන මහාචාර්ය සරත් ගුණතිලක මහතා ද පර්යේෂණයක් පැවැත්වූවත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකි වුනා.

නමුත් දැනට ජලය හා මුසු වූ කෘෂි රසායනික ද්‍රව්‍යක් හේතුවෙන් වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති බවට සැක පහළ කරනවා. එම නිසා ග්ලයිෆොසෙට් කෘෂි රසායනික ද්‍රව්‍යය ද තහනම් කළේ විවිධ බලපෑම් වලට යටත්වයි. ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු වී ඇති වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 21,000 ක් වුවත් එම සංඛ්‍යාව එම තත්ත්වයේම පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඊට හේතු වන්නේ වකුගඩු රෝග නිවාරණ කටයුතු විවිධමත් කිරීමයි. ලබන වසරේ දී ද මෙම නිවාරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනවා.

යහපාලන රජය බලයට පත්වන විට රුධිර කාන්දුපෙරණ යන්ත්‍ර 299 ක් තිබුනත්, එය මේ වනවිට 500 ඉක්මවා තිබෙනවා. 2018 වසර අවසන් වන විට රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩි කරනවා. ඉන්දීය සමාගමක ආයෝජනයක් මත තවත් රුධිර කාන්දුකරණ යන්තු 900 ක් දිවයින පුරා ස්ථාපිත කරනවා. 2018 වසරේ සිට ජංගම රුධිර කාන්දුකරණ වැඩසටහනක් ආරම්භ කරන අතර පොළොන්නරුවේ ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් ද ආරම්භ කර තිබෙනවා.

යහපාලන රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ කිරීම් වැඩි කළා. තවත් බද්ධ කිරීම් ආරම්භ කළ ද ඇතැම් බද්ධ කිරීම් පිළිබදව වෛද්‍යවරුන් අතර ගැටලු මතුවී තිබෙනවා. දේශපාලනඥයින් අතර තිබෙන ප්‍රශ්න වලට වඩා වෛද්‍යවරුන් අතර තිබෙන ප්‍රශ්න වැඩියි. දේශපාලනඥයින් අතර ප්‍රශ්ණයක් ඇති වුවහොත් සමගි පෙරමුණක් හරි නිර්මාණය කරලා එය විසදා ගන්න පුලුවන් නමුත් වෛද්‍යවරුන්ට එහෙම කරන්න බැහැ.

රියදුරු බලපතුය සදහා රිය අනතුරුවලින් දැඩි ලෙස ආබාධයට පත්වන හෝ මියයන පුද්ගලයින්ගේ වකුගඩු ලබාගැනීමේ කොන්දේසියක් ද ඇතුලත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එම වකුගඩු තවත් කෙනෙකුට බද්ධ කරන්න පුලුවන්. වකුගඩු රෝගය පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. රෝගීන් බේරා ගත යුතුයි.

ඇතැම් වෛද්‍යවරුන් හොද තීන්දු තීරණවල සිටිමින් රෝගී සත්කාරක සේවා සිදු කරනවා. එය සෞඛ්‍ය සේවාවට ශක්තියක්. ඇතැම් වෛද්‍ය සංගම්වල ඉන්න අය වගේ නොවෙයි රජයේ රෝහල්වල ශල්‍යාගාර සවස 4.00 න් පසුව ද විවෘත කර රෝගී සත්කාරක සේවා සිදු කිරීමේ වැඩපිළීවෙළක් කඩිනමින් ආරම්භ කරනවා’

මෙහිදී “වකුගඩුව” නම් පුවත්පතේ මංගල පිටපත් කථානායකවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිළිගන්වන ලදි. සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයට ආධාර පිණිස සකස් කළ ස්ටාර් පොයින්ට් ව්‍යාපෘතිය ද මෙහිදී දියත් කරන ලදි. වකුගඩු රෝගීන්ගේ දූදරුවන් 120 කට ශිෂ්‍යත්ව ලබාදීම ද, දරුවන් 150 කට පාසල් උපකරණ ලබාදීම ද, වකුගඩු රෝගීන්ට මුදල් වවුචර් පත් ලබාදීම ද, 2018 වකුගඩු කැළැන්ඩරය එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.

වකුගඩු රෝගීන්ගේ සංගමය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් සිදු කරන ප්‍රවීණ රංගධරයන් වන මාලනී ෆොන්සේකා මහත්මියට සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාට සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා අතිනි. තවද සංගමය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ දරුවන් සිව් දෙනෙකුට ද සම්මාන පිරිනැමුනි.

මෙම අවස්ථාවට වකුගඩු රෝග නිවාරණය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති අසේල ඉද්දවල මහතා, මහාචාර්ය රිෂ්වි සෙරෂ්ඩීන් මහතා, මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ මහතා ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

160 views

One Comment to “වකුගඩු බද්ධ කිරීම් ගැන වෛද්‍යවරුන් අතර ගැටලු.. රිය අනතුරුවලින් මිය යන අයගේ වකුගඩු ගලවා ගනී..”

  1. Sadda says:

    MRge kale wakugadu roga niwaranayta acion plan hadala kriyathmaka karaminui thibune.

Main News