වඩු කර්මාන්තයට වඩා පුළුල් හා ගුණාත්මකව නිෂ්පාදන කටයුතු කිරීමට අවස්ථාවක්..

February 26, 2020 at 2:07 am | lanka C news
වඩු කර්මාන්තයට වඩා පුළුල් හා ගුණාත්මකව නිෂ්පාදන කටයුතු කිරීමට අවස්ථාවක්..

වඩු කර්මාන්ත ව්‍යවසායකයන්ට මීට වඩා පුළුල් හා ගුණාත්මක ලෙස තම නිෂ්පාදන කටයුතු සිදු කිරීමට අවශ්‍ය ඉඩ කඩ නිර්මාණය කර දීමට අවශ්‍ය පියවර ගන්නා බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මොරටුව කටුබැද්ද, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවති වඩු කර්මාන්ත ව්‍යවසායක හමුවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙය පැවසීය.

‘’අපි මේ සාකච්ඡාව කැඳවූයේ මොරටුව කේන්ද්‍ර කරගත් වඩු කර්මාන්තය මුහුණ දී ඇති ගැටළු හඳුනා ගෙන ඒවාට අපේ මට්ටමෙන් විසදුම් ලබා දීමේ ආරම්භක පියවරක් ලෙසයි. මේ අද ගත් තීරණ ක්‍රියාත්මක කරනවා මෙන්ම නැවතත් ඔබ මුණගැහිලා ප්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

පසුගිය අවුරුදු හතරහමාර තුළ මේ රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ බරපතළ බිදවැටීමක් සිදු වුණා. වඩු කර්මාන්තයත් බරපතළ දුෂ්කරතා හා අර්බුද ගණනාවකට මුහුණ දුන් බවයි දැකගත හැකි වූයේ. දැන් යළි කර්මාන්ත ක්ෂේත්‍රය හුස්ම ගැනීමට පටන් අරන් තිබෙනවා. ඒ නිසා ඔබගේ ගැටළු සඳහා ද අපට විසඳුම් දිය හැකි වේවි.

‘’වඩු කර්මාන්ත ප්‍රදර්ශනාගාරයක් ! ‘’

මේ සාකච්ඡා අතරතුර මා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට උපදෙස් දුන්නා, මෙම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රය විධිමත් සැලැස්මක් සහිතව සකස් කරන්න කියා. මෙහි අපේ අමාත්‍යංශයට අයත් බොහෝ ආයතනවල ගොඩනැගිලි ස්ථානගතව තිබෙනවා. මේ විධිමත් සැලැස්ම තුළ  වඩු කර්මාන්තයෙහි නියැලෙන ඔබ සැමගේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනාගාරයක් ද ඇතුළත් වේවී. ඒ වගේම  රාජ්‍ය දැව සංස්ථාව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙම සාකච්ඡාවට එක්වෙමින් දැක්වූ අදහස් ද සැලකිල්ලට ගනිමින් මොරටුව පමණක් නොවෙයි රට පුරාම විසිරී සිටින වඩු කාර්මික ව්‍යවසායකයන්ට මීට වඩා පුළුල් ලෙසත්, ගුණාත්මක ලෙසත් තම නිෂ්පාදන කටයුතු සිදු කිරීමට ඉඩකඩ නිර්මාණය කිරීමට මා කටයුතු කරනවා.

දැව පදම් කිරීමට අවශ්‍ය තාක්ෂණය හා පහසුකම් සපයා දීමට වගේම පාසල් පුටු ඇතුළු ලී භාණ්ඩ සැපයීම ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් ලබා ගෙන ඒ ලැබෙන ඇනවුම් සාධාරණ පදනමක් මත වඩු කාර්මික ව්‍යවසායකයින් අතර බෙදා දීමට මා කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල මඟින් මේ කර්මාන්තය නගා සිටු වීමට හැකි වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.’’

මෙම වඩු කර්මාන්ත ව්‍යවසායක හමුව සංවිධානය කරනු ලැබුවේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසිනි. මෙම අවස්ථාවට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මොරටුව වඩු කර්මාන්ත සංගමයේ සභාපති වඩුගේ සෝමසිරි මහතා ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

2,479 Viewers
Main News