වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක නාහිමියෝ අපවත් වෙති..

December 18, 2016 at 2:05 am | lanka C news
වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක නාහිමියෝ අපවත් වෙති..

කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාමාධිපති නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති විශ්‍රාමික පරිවේණාධිපති සාහිත්‍යාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත මංගල ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සී කඩහපොල පේමානන්දාභිධාන වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ජන්ම ලාභය සිදු වී ඇත්තේ 1931 සැප්තැම්බර් 19 දාය. වයස අවුරුදු 14 දී එවක කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාධිපති සුපතළ වෙදැදුරු ගිරිල්ලේ අත්ථදස්සී නාහිමිපාණන් වෙතින් පැවිදි දිවියට පත්වනුයේ 1945 මාර්තු 18 වනදාය.
නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙනින් හා කුරුණෑගල මලියදේව මහ පිරිවෙනින් සිය අධ්‍යාපනය ලබාගත් නා හිමියෝ සාහිත්‍යාචාර්ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත වැනි උපාධි හා ගෞරවනාමයන් ලබා ගැනීමට සමත් වූහ. නාරම්මල ප්‍රවචනාලංකාර මහ පිරිවෙන්හි වසර 25 කට අධික කාලයක්ද කෑගල්ල ඇදුරාපොත සදර්ථෝදය මහ පිරිවෙනෙහි අවු. 08 කට ආසන්න කාලයක් ද නියෝජ්‍ය පරිවෙණාධිපති, පරිවේණාධිපති වශයෙන් ගුරු සිසු දෙපාර්ශවයේම බලවත් ප්‍රසාදයට පාත්‍රවෙමින් උන්වහන්සේ සිදු කළ ධර්ම ශාස්ත්‍රිය සේවාව අති විශිෂ්ටය.කඩහපොල ශ්‍රී ශෛලබිම්බාරාධිපති ගිරිල්ලේ මේධානන්ද නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු විහාරාධිපති ධූරයට පත් කඩහපොල නා හිමියෝ මේධානන්ද හිමියන් ඉදිරියට ගෙන ගිය ආගමික සහ සමාජයීය මෙහෙවර ඉදිරියටම ගෙන ගියහ.

කඩහපොළ විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් කිරීම, අවට ගම්මාන රැසකට විදුලිය ලබා දීම, මං මාවත් ඉදි කිරීම හා හා අලුත්වැඩියා සුබ සාධන සංගම්, දහම් පාසල් පෙර පාසල්, කුළ ඝණ සමිති, තරුණ සමිති, වෙසක්, පොසොන් දන්සැල් කමිටු පිහිටුවීමට උන්වහන්සේ දුන් දායකත්වය සදා අමරණීය වේ. අනුබුදු මිහිඳු හිමියන් ගුණ සමරණ පොසොන් පොහොය වෙනුවෙන් හා පුරා කොළඹ තොරණ ගමට ගෙන ඒමට මූලිකත්වය ගන්නේද කඩහපොල හිමියෝ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර ගණනාවක් විහාරස්ථානයේ මෙන්ම නාරම්මල නගරයේ ද පොසොන් තොරණ ඉදි විය.

සුවිසල් ආගමික සමාජ මෙහෙවර ඇගයීම වස් කඩහපොල පේමානන්ද හිමිපාණන්ට වර්ෂ 2000 ජූලි මස 08 දින මල්වතු මහා විහාරයේ දී, මංගල ධර්ම කීර්ති ශ්‍රී අත්ථදස්සී ගෞරව නාමයත් සමඟ වයඹ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමිණි. ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වූ නා හිමියෝ වර්තමාන ගුවන් විදුලි හා රූපවාහිනි විද්‍යුත් මාධ්‍යයන් තුළින් සුවහසක් ප්‍රේක්ෂකයින්ට වඩා සමීප වූ විචිත්‍ර ධර්ම කථික යතිවරයාණන් වහන්සේ නමකි. නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක ධුරය හොබවන නා හිමියෝ වසර 19 ක් පුරාව ලේඛකාධිකාරීධූරය හොබවමින් කළ මෙහෙය අප්‍රමාණය. නා හිමියන් විටින් විට කායික රෝගිතාවයන්ට ලක් වුවද මානසික තත්වය ශක්තිමත්ව සමාජ මෙහෙවරේ නියැලිණි.පසුගිය දින කිහිපයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි නාහිමියන් අපවත් වී වදාළහ

– ජීවන් හෙස්ලින්

12 views
Main News