වයෝවෘද්ද පුද්ගලයෙකු අතපය ගැටගසා මරා දමයි..

August 21, 2018 at 8:02 am | lanka C news
වයෝවෘද්ද පුද්ගලයෙකු අතපය ගැටගසා මරා දමයි..

ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු අතපය ගැටගසා මරා දමන ලදැයි ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සිව් (04) දෙනා 2018 අගෝස්තු මස 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා (20) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් මීලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා ඌරගස්මන්හන්දිය පොලීසියට වැඩි දුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඌරගස්මන්හන්දිය, මැන්ඩෝරාවල පදිංචිකරුවන් වන ඉලන්දාරිදේව කසුන් කුමාර සේනාරත්න (29) සහ සුදුහකුරු නන්දන ප්‍රදීප් විජේසිංහ (29), හිනිදුම බටහිර, හිනිදුම ලිපිනයේ පදිංචි චමත් ලසන්ත දහනායක (28) සහ කොරකීන, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයාහකුරු සිසිර කුමාරසිරි ජයසිංහ (40) යන සිව් (04) දෙනාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මන්හන්දිය පොලීසිය, අංක 6119 යටතේ ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත. ඌරගස්මන්හන්දිය පොලීසියේ විශේෂ කාර්යාංශ උප ඒකකයේ පොලිස් සැරයන් කොඩිතුවක්කු (58466) මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද කුරුදු තොගය පිටිගල පාර, පැලවත්ත ලිපිනයේ පිහිටි නව සමගි කුරුදු වෙළෙද ආයතනයට රුපියල් දෙලක්ෂ පහලොස් දහසකට (2,15,000/-) විකුණා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ. එම වෙළෙද ආයතනයේ හිමිකරු වන රණේපුර හේවගේ පීරිස් (70) නැමැති අය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ හීන් කුරුදු කිලෝ ග්‍රෑම් 100 ක් සහ ගොරෝසු කුරුදු කිලෝ ග්‍රෑම් 09 ක් සැකකරුවන්ගෙන් මිළ දී ගත් බවයි.

කුරුදු තොගය විකුණා ලබා ගන්නා ලද මුදල් රුපියල් 41,000/- බැගින් සැකකරුවන් සිව් (04) දෙනා විසින් බෙදාගෙන තිබෙන බවත් ඉතිරි 51,000/- තොරතුරු ලබාදුන් අයට දියයුතු යැයි පවසා සිව් (04) වන සැකකරු විසින් ලබාගෙන තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කුරුදු තොගය, විකිණීම සදහා ගෙන ගොස් ඇත්තේද සිව් (04) වන සැකකරුට අයත් අංක 14-0429 දරණ ලාන්සර් වර්ගයේ සුදුපාට මෝටර් රථයෙන් බවත් එය ඇල්පිටිය පොලිස් වසමේ වල්අඹගල ප්‍රදේශයේ සගවා තිබියදි සොයාගත් බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මෙම කුරුදු සොරකම සම්පූරුණයෙන්ම සිදුකර ඇත්තේ සිව් (04) වන සැකකරුගේ සැලසුමකට අනුව බවද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වූයේ යැයි ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

සිද්ධියේ පළමු සැකකරු විසින් මල ගෙදරකදී “අපිට වැඩක් වැරදුනා, මිනිහ මැරුණා” යනුවෙන් කරන ලද ප්‍රකාශයක් ඌරගස්මන්හන්දිය පොලීසියේ පොලිස් සැරයන් කොඩිතුවක්කු (58466) මහතාට අසන්නට ලැබී තිබේ. ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කොඩිතුවක්කු මහතා පළමු සැකකරු අත් අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී සිද්ධියේ සියළු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත. ඒ අනුව තමන් විසින් කුරුදු සොරකම කර බවත් එහිදී නිවසේ හිමිකරු මියගිය බවත් සැකකරුවන් සිව් (04) දෙනා විසින් පිළිගෙන තිබේ.

නො.176 බී, කොරකීන, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචිව සිටි තොම්මයාහකුරු සෝමදාස (78) නැමැති අයගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ. ඝාතනයට ලක්කරන ලද අයගේ මල සිරුර පසුගිය ජුනි මස 13 දා අළුයම ඔහු පදිංචිව සිටි නිවසේ ඇදක් මත තිබියදී ඌරගස්මන්හන්දිය පොලීසිය මගින් සොයා ගෙන තිබුණි.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සතුව තිබූ රුපියල් ලක්ෂ තුනකට (3,00000/-) ආසන්න වටිනාකමකින් යුත් කුරුදු තොගයක්ද සොරකම් කර තිබූ බවත් මෙම ඝාතනය පසුගිය මස 12 දින ප.ව 6.00 ත් 13 දින අළුයම 6.00 ත් අතර සිදු වන්නට ඇති බවත් ජුනි 13 දා සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා ප්‍රකාශ කළේය.

ඝාතනයට ලක් වූ කුරුදු ඉඩමක හිමිකරුවෙකු වන අය 13 දා උදෑසන කුරුදු තැලීමට පැමිණි පුද්ගලයින් තිදෙනකු විසින් දැක ඌරගස්මන්හන්දිය පොලීසියට දැනුම් දී තිබේ. මල සිරුර තිබී ඇත්තේ නිවසේ කාමරයක ඇද මතය. මියගිය අයගේ අත් දෙක රෙදි වලින් සහ කකුල් ලණු වලින් ගැටගසා මුහුණ තුවායකින් හා සරමකින් ආවරණය කර තිබූ බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

මියගිය අය, දරුවන් තිදෙනකුගේ පියෙකු බවත් එයින් දරුවන් දෙදෙනකු විවාහ වී රාජගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් අනෙක් දරුවා කොරකීන ප්‍රදේශයේම සිටින බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. මියගිය අය සිය නිවසේ තනිව ජීවත් ව සිට ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. කුරුදු සොරකම් කරන්නට පැමිණ නිවසේ හිමිකරුගේ අතපය බැද දැමීම මත මියගියේද එසේත් නැතිනම් ඝාතනය කර කුරුදු සොරකම් කළේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.

සොරුන් නිවසේ පිටුපස අලංකාරයට සවි කරන ලද සිමෙන්ති ආවරණයක් කඩා නිවස තුලට ඇතුල් වී තිබේ. පසුව නිවසේ හිමිකරු ගැටගසා කුරුදු සොරකම් කරන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි. සොරුන් නිවසින් පිටව ගොස් ඇත්තේ පිටුපස දොර විවෘත කිරීමෙන් පසුව බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මියගිය අය කුරුදු අක්කර දෙකක පමණ හිමිකරුවෙකු බවත් ඝාතනයට සති දෙකකට පමණ පෙර කුරුදු තැලීම ආරම්භ කර තිබෙන බවත් පොලීසිය කියයි.

සිද්ධිය වූ දින වන විට නිවසේ කුරුදු මිටි 06 ක්  (කිලෝ ග්‍රෑම් – 130) තිබී ඇත. සොරුන් විසින් මෙම කුරුදු මිටි 06 ම රැගෙන ගොස් තිබේ. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 03 ක් පමණ බවද බව පොලීසිය කියයි.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක කේ ජී සොයිසා, පොලිස් සැරයන්වරුන් වන කොඩිතුවක්කු (58466) සහ ධනපාල (28634) යන නිලධාරීන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

– ජයකාන්ත ලියනගේ

54 views
Main News