වරාය විකුණන්නේ නෑ.. බදු දෙනවා විතරයි.. කොතරම් හොද කලත් විවේවන එනවා..

December 1, 2016 at 5:30 pm | lanka C news
වරාය විකුණන්නේ නෑ.. බදු දෙනවා විතරයි.. කොතරම් හොද කලත් විවේවන එනවා..

කුමන හොඳක් කළත් විවේචන නතර කළ නොහැකි බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සියලු පාර්ශ්වයන්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ ප්‍ර‍තිපත්තිය වන බවයි.

උඩුගම්පොළ නයිවල සණස ශාලාවේ පැවැති “දැනුම වඩමු ලොවම දිනමු” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අමාත්‍ය අර්ජුන රණතුංගගේ 53වැනි උපන්දින සැමරුම නිමිති කරගනිමින් ඒ. ආර්. සමාජ සත්කාරය එම වැඩසටහන සංවිධානය කර තිබිණ.

ගංවතුරින් ආපදාවට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ දූ දරුවන්ට සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සාමණේර භික්ෂූන් වහන්සේලාට පොත් කට්ටල සහ පාසල් උපකරණ බෙදා දීමේ අරමුණින් එම වැඩසටහන සංවිධානය කර තිබිණ.

අර්ජුන රණතුංග අමාත්‍යගේ 53වැනි උත්සවය නිමිති කර ගනිමින් අද උදෑසන සිට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරිණ. එම වැඩසටහන් මාලාව ආරම්භ වූයේ වේයන්ගොඩ නාරම්වත්ත ගුණසිර සඟබෝ විහාරස්ථානයේදී පැවැති කිරිඅම්මාවරුන් සඳහා වූ දානමය පුණ්‍යකර්මයකිනි. ඉන් අනතුරුව ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මළු බෙදා දීම සිදුකෙරිණ. එහිදී උත්සව සභාව අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණා දැමීමට අදහස් නොකරන බවයි.

“ශී‍්‍ර ලංකා වරාය අධිකාරියේ සම්පත් කිසිම විටක විකුණා දැමීමට අදහස් කරන්නේ නැහැ. සුදු අලියෙක් වූ හම්බන්තොට වරායවත් විකුණා දැමීමට අපි අදහස් කරන්නේ නැහැ. අපේ මූලික උපක‍්‍රමය වන්නේ හම්බන්තොට වරායේ මෙහෙයුම් ආරම්භ කිරීමට සුදුසු ආයෝජකයකුට එම වරාය බදු දීමයි. ඒ අනුව අගමැතිතුමා චීනයේ කළ සංචාරයක ප‍්‍රතිඵලයක් වශයෙන් අපිට හම්බන්තොට වරාය සඳහා ලංසුවක් ලබා ගැනීමට හැකි වුණා. ඒ ලංසුව අපිට ලැබුණු දෙයක් නෙමෙයි. අපි බොහොම අමාරුවෙන් ලබා ගත්ත දෙයක්. අද හම්බන්තොට වරාය ගැන ඒකාබද්ධ විපක්ෂය කඳුළු හෙළනවා. නොයෙකුත් කථා කියනවා. නමුත් පසුගිය ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායේ මෙහෙයුම් කිරීමට හම්බන්තොට මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට බදවාගෙන ගෙන සිටි 482කගේ රැකියා ස්ථීර කර තිබුණේ නැහැ. තමන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීමට මේ තරුණ පිරිස් යොදා ගෙන තිබුණා. අපි රට භාර ගන්නා අවස්ථාවේදී රැකියා අස්ථාවරබව හේතුවෙන් මේ තරුණ පිරිසගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් අපිට ඔවුන්ගේ අනාගතය විනාශ වීමට ඉඩ දී බලා සිටිමේ හැකියාවක් නැහැ. කොතරම් මූල්‍ය දුෂ්කරතා තිබුණත් අපි ඔවුන්ව ස්ථීර කිරීමට කටයුතු කළා. එය පළිහක් ලෙස යොදා ගනිමින් අපි ඔවුන්ව දේශපාලන වැඩවලට යොදා ගත්තේ නැහැ. ඔවුන්ව ඵලදායි ලෙස හම්බන්තොට වරායේ ප‍්‍රගමනයට යෙදෙව්වා. පසුගිය ආණ්ඩුවේත් අපේත් වෙනස එයයි….” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග පැවසීය.

– තමීර මංජු

42 views
Main News