වල් අලි රංචුවක් කඩා වැදී ගෙවල් කඩා දමා වී කා දමයි.. වගා විනාශ කරයි.. වනජීවි නිලධාරීන් මග හරියි..

July 10, 2019 at 5:30 pm | lanka C news
වල් අලි රංචුවක් කඩා වැදී ගෙවල් කඩා දමා වී කා දමයි.. වගා විනාශ කරයි.. වනජීවි නිලධාරීන් මග හරියි..

මැදවච්චිය පූනෑව කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට අද (10) අලුයම  කඩා වැදුනු වල් අලි රංචුවක් විසින් නිවාස කිහිපයකට දැඩි හානි සිදු කොට වී ඇතුලු වගා හානි රැසක් සිදු කොට පලා ගිය බවට ගම්වාසීන් පවසති.

කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයට ඇතුල් වූ වන අලි රංචුවක් විසින් පළමුව ප්‍රදේශයේ වගා හානි රැසක් සිදු කොට ඇති අතර අනතුරුව නිවාස වෙතටද හානි සිදු කොට පලා ගොස් ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

කුඩාහල්මිල්ලෑවේ පදිංචි ජේ.සමරසිංහ නැමති වැසියාගේ ගෙවත්තට ඇතුලු වූ වන අලි රංචුව විසින් ගෙවත්තේ තිබූ පොල් පැල 30 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කොට ඇති අතර පසුව නිවසේ බිත්තය පෙරලා නිවස තුල තිබූ වී මිටි කඩා වී ගෝනී බී පලා ගිය බවත් නිවැසියන් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පලා ගිය බවටද පැවසීය.

අනතුරුව තවත් නිවාස කිහිපයකට හානි කොට ඇති වන අලින් විසින් වගා හානිද සිදු කරමින් පලා ගොස් ඇති අතර මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී වනජීවි නිලධාරීන්ට දැනුවත් කලද කිසිවෙකුත් අවධානයක් යොමු නොකරන බවටත් මෙලෙසින් වන අලින් ඉදිරියටත් ගම් වදින්නේ නම් ජීවිත හානිද සිදුවිය හැකි බවට කුඩාහල්මිල්ලෑව වැසියන් පවසති.

එමෙන්ම වන අලින් විසින් හානි කරන ලද වගාවන් හා නිවාස වෙතට වන්දියක් හෝ ලබා දීමට බලධාරීන් පියවර ගත යුතු බවටද කුඩාහල්මිල්ලෑව වැසියන් වැඩි දුරටත් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

34 views
Main News