වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි..

August 21, 2018 at 6:27 am | lanka C news
වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි..

දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර අඩම්පනේ පුරාණ දෙමටමල් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු කොත් පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවය අද දින එනම් 2018 අගෝස්තු මස 20 සඳුදා සිදු විය. මිරිසවැටිය රාජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තරුණ මැතිතුමන්ගේ අතින් කොත පැළදවීම සිදු විය.

අනුරාධපුර නගයේ සිට පුත්තලම පාරේ කිලෝමීටර් 21 ගිය තැන හමුවන අඩම්පනේ විදුහල අසලින් ඇති පාරේ කිලෝමීටරයක් ගිය විට පිහිටි අඩම්පනේ ගම්මානයේ ඓතිහාසික දෙමටමල් විහාරය පිහිටා ඇත. එය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයට අයත් ය. රජරට පිහිටි දර්ශනීය, මනස්කාන්ත පුදබිමක් ලෙස සැලකෙන දෙමටමල් විහාරයේ එක් පසෙකින් කුඹුරු යායකුත් අනෙක් පසින් අඩම්පනේ වැවත් දක්නට ලැබේ. ථූපාරාමයේ නිධන් කිරිමට දඹදිව සිට රැගෙන ආ නිදන් වස්තුවලින් කොටසක් දෙමටමල් චෛත්‍යයේ තැන්පත් කළ බව අඩම්පනේ වැසියන් පරම්පරාගතව රැකගෙන ආ ජනප්‍රවාදයේ දැක්වේ. යක්‍ෂ ගෝත්‍රික පාරම්පරික බල කදවුරක් වූ අඩම්පනේ ජනතාව අද ද ඒ අනන්‍යතාව රැකගෙන සිටිති. ප්‍රමාණයෙන් 4000 පමණවන අඩම්පනේ ජනතාවගේ ආවාහ-විවාහ කටයුතු එම පවුල් අතරම සිදු වේ. මිහිදු හිමියන් රුගෙන ආ සද්ධර්මය කෙරෙහි පැහැද යක්‍ෂ ගෝත්‍රයෙන් මහණ වූ භිෂූන් වහන්සේලා උදෙසා දේවානම්පියතිස්ස රජු දෙමටමල් විහාරය කෙරවූ බව දැක්වේ. දෙවන පෑතිස් අණින් යක්‍ෂ ගෝත්‍රයේ ප්‍රාදේශිය නායකයා වූ දෙමටමල් විසින් සැලසුම් සකස් කර නිර්මාණය කර මහරහතන් වහන්සේලාට පූජා කළ හෙයින් පුදබිම ‘‘දෙමටමල් විහාරය’’ වූ බව වැඩි දුරටත් කියවේ.

අලි කොටි වලසුන්ගේ ග්‍රහණයට නතුව තිබූ දෙමටමල් පිං බිම 1960 දශකයේ යලි සොයාගත් පසු එහි පිහිටි ගිරි ලිපි දෙක සෙනරත් පරණවිතාන සූරීන් කියවිමට උත්සාහ දැරුවද කාලයාගේ ඇවෑමෙන් අකුරු මැකී ඇති හෙයින් එය මුළුමනින් කියවීමට හැකි වී නැත. පසුව එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන්වහන්සේ පුදබිමේ පිහිටි ගිරි ලිපි පිටපත් කරගෙන කියවීමට මහත් ප්‍රයතනයක් දරන ලදි.

මාගේ මූලිකත්වයෙන් දෙමටමල් විහාර චෛත්‍යය සංවර්ධන සමිතිය පිහිටුවා විහාරස්ථානය අද තිබෙන තත්වයට යලි ගොඩනගන ලදි. 1980 දශකය වන විටත් සිව්පා කොටින්ගේ රජ දහනක්ව පැවැති පුදබිම එලිපෙහෙලි කර මාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමක් එහි නතර කරවන ලදි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව ගල්තලාව මත නටබුන්ව පැවැති දාගැබ, පිළිම වහවහන්සේලා, කටාරම් කෙටූ ගල්ගෙවල්, දිය නොසිදෙන ගල් පොකුණ, සිරිපතුල සහ සෙල්ලිපි සංරක්‍ෂණයට පියවර ගන්නා ලදි. 2011 ජනවාරි මස 19 දින චෛත්‍යරාජයාණන්වහන්සේට මංගල ශීලා ප්‍රතිස්ථාපනය කර, ගොවිතැනින් ජීවත් වන අඩම්පනේ වැසියන්ගේ අපරිමිත කැපකිරීම හේතුවෙන් චෛත්‍යය මනරම් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරිමට අපට හැකි විය.

අනුබුදු මිහිදු හිමියන්ගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජු කෙර වූ දෙමටමල් විහාරය හේතුවෙන් යක්‍ෂ ගෝත්‍රික ජනතාව බුදු දහම කෙරෙහි තව තවත් පැහැද සිංහල ජාතියේ කොටස්කරුවන් බවට පත් විය. පසු කාලීනව මේ පුදබිම කේන්ද්‍ර කරගෙන අවට යක්‍ෂ ගෝත්‍රික ජනාවාස පැවති ඌත්තුවෙල්ලිය, තන්තිරිමලය, බිල්ලෑව, හීනුග්ගල, අන්දරවැව කුරුළුපෙත්තාගල, ආඩියාගල, රාජාංගනය සහ හස්තිකුච්චිය පාෂාන උන්නත මත ආරාම සංකීර්ණ ස්ථානගත විය.

සිත නිවන තැනක්, භාවනාවට සුදුසු තැනක් ලෙස දෙමටමල් විහාරයේ ගල්තලාවට පැමිණෙන ඕනෑම කෙනෙකුට හැගීමක් ඇති වේ. මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයේ පාරිශුද්ධ වූ මේ පිං බිමේ විවිධ හාස්කම් ඇති බව අත්දුටු ගැමියෝ බොහෝමයකි. රාත්‍රියට මේ ස්ථානයට අරක්ගෙන සිටින දෙවි දේවතාවෝ ආලෝක ධාරා විහිදුවමින් ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ සහ රුවැන්වැලි සෑ රදුන් වන්දනාවට පිටත් වෙති.

වසර 2300 කට පසු යලි කොත් පැළද වූ දෙමටමල් විහාරයේ ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජනතාවත් තව 2500 වසරක් ආරක්‍ෂා වේවා; රැකවරණය ලැබේවා.

මහවිලච්චියේ විමල ස්ථවිර
අඩම්පනේ දෙමටමල් පූරාණ රජමහා විහාරාධිපති සහ
තුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක

612 views
Main News