වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

April 25, 2020 at 10:10 pm | lanka C news
වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..

ඉදිරි දිනවලදී මෙරට ඇඳිරි නීතිය ලිහිල් කළ පසු තවදුරටත් සීමාකිරීම් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සතියකට එක් දිනයකදී පමණක් නිවසක පුද්ගලයෙකුට අවසර ලැබෙයි.

ඔහුට හෝ ඇයට නිවසින් එළියට යාමට හැකි වන්නේ තම ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට නම් කර ඇති දවස අනුවයි.

එමෙන්ම අත්‍යයවශ්‍ය භාණ්ඩ හෝ ඖෂධ ලබාගත යුත්තේ තම නිවසට ළඟම පා ගමනින් යා හැකි වෙළඳසැලෙන් පමණි.

ජනාධිපති මාධ්‍ය විසින් ඇදිරි නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම නිවේදනය මෙසේය.

ඇඳිරි නීතිය පවතින අතර ජන ජීවිතය යථා තත්ත්වයට
පත් කිරීමට විධිවිධාන…

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.

ඉන් පසු මැයි 01, සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ඇඳිරි නීතිය තිබුණ ද මැයි 04වනදා සිට විවෘත කොට පවත්වාගෙන යාමට හැකිවන පරිදි අදාළ නීති රීති ලිහිල් කරනු ලැබේ.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ආදී රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර, සේවා ස්ථාන, එළවළු, මාලු සහ සිල්ලර වෙළෙඳසැල් පවත්වාගෙන යාමට අවසර ඇත.

පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ. රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන ප්‍රධානීන් මැයි 04 සිට සිය කාර්යාල සහ සේවා ස්ථානවල ක්‍රියාකාරිත්වය කෙසේ විය යුතු ද යන්න ලබන සතිය තුළ සැලසුම් කළයුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් 1/3ක් පමණි. යම් ආයතනයකින් සැලසෙන සේවය කෙතරම් අත්‍යාවශ්‍ය එකක් වුව ද ඒ සඳහා අවශ්‍ය අවම සේවක සංඛ්‍යාව පමණක් කැඳවීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතුය.

සියලු රාජ්‍ය ආයතනවල සේවයට වාර්තා නොකරන නිලධාරීන්ට නිවසේ සිට වැඩකරන ලෙස නියම කෙරේ‍. එක් එක් ආයතනයේ සේවයට වාර්තා කළයුත්තේ කුමන සේවකයන් ද, නිවසේ සිට වැඩකළයුත්තේ කුමන සේවකයන් ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. යම් දවසක, කාර්ය මණ්ඩලයෙන් සේවයට කැඳවන 1/3ක පිරිස වෙනුවට ඊළග දවසේ වෙනත් පිරිසක් තෝරා ගැනීමට ආයතන ප්‍රධානීන්ට නිදහස තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල රැස්වීම නතර කළයුතුව තිබේ.

ගමනා ගමන මණ්ඩල බස් රථවල හා දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සඳහා යන එන අයට පමණක් සීමා කෙරේ. අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළ යුතු අය හැර සෙසු ජනයා නිවෙස්වල රැඳී සිටිය යුතුය.

කවරකු හෝ නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළගා විය හැකි ආසන්නතම වෙළෙඳ සැල පමණක් තෝරාගත යුතුය.

අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.

සතියේ වස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

සඳුදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 1 හෝ 2 ඇති අය
අඟහරුවාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා : හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය.

විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.

දිස්ත්‍රික්ක අතර ගමනාගමනය, රැකියා අවශ්‍යතා ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර ඇත. පාසල්, විශ්වවිද්‍යාල, උපකාරක පංති, සෙසු අධ්‍යාපන ආයතන සහ සිනමා හල් නැවත දැනුම්දෙන තුරු වසා තැබිය යුතුය.

ඇඳිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කයක යම් ප්‍රදේශයක් හෝ ගම්මානයක් හෝ අවදානම් කලාපයක් ලෙස හඳුනා ගතහොත් එකී ප්‍රදේශවලට සීමාවන පරිදි දවස පුරා ඇඳිරි නීතිය පැනවීමට ඉඩ ඇත. කිසියම් ප්‍රදේශයක් හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇත්නම් කවරකුට හෝ ඊට ඇතුළුවීම සහ ඉන් පිටවයාම සම්පූර්ණයෙන් තහනම් වේ.

සියලු ආකාර උත්සව, වන්දනා, විනෝද චාරිකා, සැණකෙළි, පෙරහර, රැස්වීම් ආදිය නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇත. ජනයා ඒකරාශීවීම වෛරස ව්‍යාප්තිය පාලනයට බාධාවක් බැවින් ආගමික උත්සව ද අත්හිටුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භයේ සිට ජන ජීවිතය පවත්වාගෙන යනු පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අඛණ්ඩව සැපයීමට රජය හඳුන්වාදුන් ක්‍රියාමාර්ග වඩාත් ශක්තිමත්ව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට විධිවිධාන සලසා තිබේ.

කොරෝනා උවදුරෙන් ජනතාව මුදාගෙන ඔවුන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහ අභිවෘද්ධිය සැලසීමට නම් වසංගතය මුළුමනින්ම පාලනය කළයුතුය. අඩාල වූ ආර්ථික ජීවිතය ඊට සමගාමීව යළි පණ ගැන්වීම අවශ්‍යයෙන්ම කළයුතුව තිබේ. මේ අරමුණු සපුරාගත හැක්කේ වෛරසය පාලනයට ජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නම් පමණි.

වසංගතයේ බියකරුබව තේරුම්ගෙන සෑමවිටම නිවෙස්වල රැඳී සිටීමත්, නිර්දේශිත සෞඛ්‍ය පිළිවෙත් 100% පිළිපැදීමත් ජනතාවට දිය හැකි සහයෝගය බව රජය කියා සිටී.

තමාගේත්, දූ දරුවන්ගේත්, ජාතියේත් ආරක්ෂාව හා අභිවෘද්ධිය පතා සියලු අපහසුතා වගකීමෙන් ඉවසා සිටින්නැයි රජය ජනතාවට අවධාරණය කරයි. සමාජයේ යහපතට බාධාවන අයුරින් හැසිරෙන කවරකුට වුවද පවතින නීති යටතේ උපරිම දඩුවම් පමුණුවනු ලැබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

427 views

65 Comments to “වාහනයෙන් බෑ.. පයින් පමණයි.. සතියකට දිනක් හැදුනුම්පත් අංකය අනුව එලියට.. ඇදිරි නීතියේ නවතම දැනුම් දීම මෙන්න..”

  1. කැලුම් says:

    ලගම කඩේට කිලෝමීටර් හතරක් තියනව. කඩේට ගිහින් එන්න කිලෝමීටර් අටක්..! ඒකෙත් සමහර වෙලාවට අපට ඕන බඩුමුට්ටු නෑ. මොන නීතිද ඕයි මේවා..
    අයිඩින්ටි නම්බර් එක ප්‍රශ්නයයක් නෑ. පයින් යන්න ඕන වගේ ගොං ආතල් දෙන්න එපා කියපල්ලා.

    • බාලි 6 යි says:

      ඔහේගෙ ලමයෙකුට කියල අන්තර්ජාලයට ගිහින් බඩු ගෙන්වා ගන්න.කීල්ස් කාගිල්ස් සහ ආර්පිකෝ වැනි වෙළඳ ආයතන මෙම සේවාව ලබාදේ.හැම එකකම ඇදයක් හොයන්නෙ දේශපාලන කුහකයෝ. රජය මේ ක්‍රියාත්මක ගෙන ඇත්තේ පොදු ජනයාගෙ ආරක්ෂාව පිණිසයි. මේවට එකඟ වෙන්න බැරි නං කොරෝනාව හදාගෙන මැරියං

      • කැලුම් says:

        කොළඹට ආපිකෝ ෆුඩ්සිටි තිබුණට ගම් පලාත්වල ඒවා නෑ මිනිහෝ..

        ඒක තේරුම් ගන්න ඇදිරිනීතිය අයින්කලාම රටේතොටේ ටිකක් ඇවිදලා බලනවා. මම පදිංචි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ⁣ප්‍රධාන නගරවල විතරයි ආපිකෝ ,කාගිල්ස් ,කීල්ස් තියෙන්නේ. ඒ වායෙන් ගෙවල්වලට ඩිලිවරි කරන්නෙත් නෑ. ඒ නගරවල ඉදන් කිලෝමීටර් විස්ස තිහ ඈත ඉන්න මිනිස්සුන්ට ඒ නගරවලට පයින් යන්න බෑ. හරකෙක් නොවී රටේ තත්ත්වය හැම ප්‍රදේශයේ ම එකවගේ නෙවෙයි කියන එක තේරුම් ගන්නවා.

        වාහන පාවිච්චි කරන්න බෑ කියනඑක හෙන ගොං අදහසක් කිව්වෙ ඒකයි.

        • වෙබ් බුවා says:

          යකෝ නිකං තප්පු ලන්නෙ නැතිව හිටපං ඔය ක්‍රමේ දාල තියෙන්නෙ කුරුනෑගලට නෙවෙයි කොළඹට

      • වර්ණපුර says:

        මූ ඉන්නෙ කැලෑවක් මැද්දෙ හේනකද කොහෙද. හැබයි නෙට් යන්න පුලුවන්.

  2. Anti corona says:

    ඒක ඇත්ත..සමහර බෙහෙත් වර්ග හැම ෆාමසියෙම නැහැ…එතකොට පයිං යන්ඩ පුලුවං දුරින් අදාල බෙහෙත හොයාගන්ඩ බැරිනං මොකද කරන්නෙ?..මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ මේ බෙහෙත් ප්‍රශ්නෙ…මේකට අද වෙනකං හරි උත්තරයක් නෑ…ප්‍රශ්නෙ අනිත් එක…අත මාරුවක් ඉල්ලගන්ඩ විදිහක් නෑ…අසනීපෙකට බෙහෙත් ටිකක් ගන්ඩ යන්ඩ දෙන්නෙ නෑ…අච්චාරු හැලියක්, අනේ මන්ද නන්දසේන…..මේ පොලිස් ජුන්ටාවනං…

  3. නිළමේ says:

    මේ ක්‍රමය හොඳයි කියමුකෝ. ඉතින් ෆාමසි, මෙඩිකල් සෙන්ටර් ඔක්කොම තියෙන්නේ ටවුන් එකේ නං කි.මී. 3 ක් 4 ක් දුර එකා කොහොමද බයික් එකේ වත් නැතුව පයින් යන්නේ?

  4. KHAN says:

    මගේ අන්තිම අංකය 3 මගේ wifeගේ අංකය 7 . දැන් කියාන්කෝ අපි දෙන්නා හදිස්සියකට ගමනක් යන්නේ කොමද කියලා.

  5. 2/3 says:

    Now I think fonseka is the man who finished the war. It seems that Gota is not talented as we thought.

  6. HoHoHo says:

    වාහන වල යන්න බෑ කියල නීතියක් දාපු අමනය මොකාද? ලංකාවේ ගමකට ගිහින් තියෙනවද දන්නේ නෑ නිකමටවත්. සමහර වෙලාවට 4-5 KM යනකල් කඩයක් නෑ.

    මොක්කුද බන් මුන් 😀 😀

  7. රුවින්ද හේරත් says:

    ගල්ගමුවෙ අපි බොන්න ගන්නෙ RO කරපු වතුර. හැම ගෙදරකම RO ප්ලාන්ට් නෑ. ඒවා තියන තැන්වලට පයින් ගිහින් වතුර බෝතල් උස්සගන එන්න බෑ. ඒකනිසා වාහන වල යන්න එපා කියනඑක අසාධාරණයක්. අතිගරු ජනාධිපතිතුමනි මේ ගැන නැවත සලකාබලා වාහන වලට දාන්න යන මේ සීමාපැනවීම ඉවත්කරන්න

  8. Ayatollah says:

    Our Gas cylinder is over and let us know how to buy one without using a vehicle The government wants us to carry it

  9. chicken boy says:

    මේවට එකඟ වෙන්න බැරි නං කොරෝනාව හදාගෙන මැරියං

Main News