වාහන දඩ ඉහල දැමීම රජය ලද සුවිශාල ජයක්.. රථවාහන අනතුරු අඩුවෙලා.. – රවි

December 5, 2016 at 12:40 pm | lanka C news
වාහන දඩ ඉහල දැමීම රජය ලද සුවිශාල ජයක්.. රථවාහන අනතුරු අඩුවෙලා.. – රවි

රථ වාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වාදී ඇති නව නීති රීති නිසා පසුගිය සති දෙක තුළ රථවාහන අනතුරු අඩුවීම ජනතාවගේ පැත්තෙන් ඔවුන් ලද ජයග්‍රහණයක්‌ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ගතවූ සති දෙක තුළ රථ වාහන අනතුරු 10% කින් අඩුවී ඇති බව රථ වාහන පොලිසිය සඳහන් කරයි. රථ වාහන පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරි ඩබ්. ඩී. ඒ. ධනංජය මහතා ප්‍රකාශ කළේ රථවාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වා දීමට යන නව නීති රෙගුලාසි හමුවේ රථවාහන අනතුරු අඩුවීමේ ප්‍රවණතාවයක්‌ පවතින බවයි.

දිනපතා පොලිස්‌ ස්‌ථාන වෙත වාර්තා වන රථවාහන අනතුරු සංඛ්‍යාව 100 ත් 125 ත් අතර වේ. ඉන්, අනතුරු 40-50 ත් අතර සංඛ්‍යාවක්‌ බරපතළ තත්ත්වයේ සිද්ධි බව පොලිසිය පෙන්වා දෙයි.

එහෙත් පසුගිය දෙසතිය තුළ දිවයින පුරා පොලිස්‌ ස්‌ථාන වෙත දෛනිකව වාර්තා වී ඇති රථවාහන අතුරු සංඛ්‍යාව 90 ත් 100 ත් ලෙස පහළ ගොස්‌ ඇති බව පොලිසිය සඳහන් කරයි. 2015 වසරේ රථවාහන අනතුරු 40,000 කට ආසන්න සංඛ්‍යාවක්‌ පොලිසියට වාර්තා වී තිබේ. එම අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,799 කි. 15,000 ක්‌ පමණ එම අනතුරුවලින් බරපතළ තුවාල ලබා ඇත.

2014 වසරට පෙර, රථවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය සංඛ්‍යාව සමස්‌තයක්‌ ලෙස 6 දෙනෙකි. එම සංඛ්‍යාව 2015 සහ 2016 වසර වලදී ඉහළ ගොස්‌ ඇත. ඒ අනුව 2015 වසරේ රථවාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය ගණන 7-8 ත් අතර පිරිසක්‌ බව පොලිස්‌ සංඛ්‍යාලේඛන තහවුරු කරයි.

එහෙත් පසුගිය මාස 1 1/2 තුළ, එසේ රථ වාහන අනතුරු හේතුවෙන් දෛනිකව මියගිය සංඛ්‍යාව 5-6 ත් දක්‌වා පහත වැටී ඇත. මෙසේ රථ වාහන අනතුරු අඩුවීමට ප්‍රධාන හේතුව රථ වාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වාදෙන නව නීති රීති බව රථ වාහන පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර කොළඹ ජාතික රෝහලට, දිනකට රථ වාහන අනතුරු හේතුවෙන් ඇතුළත් කරන සංඛ්‍යාවද පහළ ගොස්‌ තිබේ.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට දිනපතා හදිසි අනතුරු වලින් රෝහල් ගතකරන සංඛ්‍යාව 350-400 ත් අතර වේ. ඉන් 22% ක්‌ රථ වාහන අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇතුළු වන්නන්ය.

නමුත් පසුගිය දෙසතිය තුළ රථ වාහන අනතුරු හේතුවෙන් රෝහල්ගත කරන සංඛ්‍යාව 22% සිට 18% දක්‌වා පහළ බැස ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පුහුණු කිරීමේ හෙදි නිලධාරිනී පුෂ්පා රම්‍යා සොයිසා මෙනවිය ප්‍රකාශ කළාය.

මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළ සිට රියෑදුරු බලපත් ලබා ගැනීම සඳහා විශාල පිරිසක්‌ වේරහැර පිහිටි රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යාලය වෙත පැමිණෙමින් සිටින බවයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ රථ වාහන අනතුරු අවම කිරීම සඳහා රජය හඳුන්වාදී ඇති නව නීති රීති හේතුවෙන් මෙවැනි පරිවර්තනයක්‌ සිදුවීම ජනතාවගේ පාර්ශවයෙන් ඔවුන් ලද සුවිශාල ජයග්‍රහණයක්‌ බවයි.

රජයක්‌ ලෙස ජනතාවගේ සුරක්‍ෂිතතාවය ශක්‌තිමත් කළ යුතු බවත් සුළු පිරිසකගේ පටු වුවමනාවන් හමුවේ බහුතර ජනතාවකගේ අයිතීන් පාවාදීමට රජය සූදානම් නොමැති බැවින් මෙම ක්‍රියාදාමය හමුවේ සමස්‌ත ජනතාව රජයට ලබාදෙන සහයෝගය වෙනුවෙන් තමන් ඔවුන්ට ප්‍රණාමය පුදකරන බවත් මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

– දිවයින

24 views

One Comment to “වාහන දඩ ඉහල දැමීම රජය ලද සුවිශාල ජයක්.. රථවාහන අනතුරු අඩුවෙලා.. – රවි”

  1. wele vidane says:

    මෙගසේ බොහෝ පැනිදොඩන් තිබෙි

Main News