වාහන දුම් පරීක්ෂාව අන්ත දූෂිතයි.. රටේ ජනතාව දූෂණයට යොමු කරයි හා පුහුණු කරයි..

July 10, 2018 at 4:40 pm | lanka C news
වාහන දුම් පරීක්ෂාව අන්ත දූෂිතයි.. රටේ ජනතාව දූෂණයට යොමු කරයි හා පුහුණු කරයි..

සමස්ථ ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

ලේකම්,
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය,
සොබාදම් පියස, බත්තරමුල්ල.

රටේ ජනතාව දූෂණයට යොමු කරනා හා පුහුණු කරනා අන්ත දූෂිත දුම් පරීක්ෂාව

2003 ජුනි 30 වනදා දිනති 1295/11 ගැසට් නිවේදනය ප්‍රකාරව ලංකාවේ වාහන හා යතුරුපැදි සඳහා නිකුත් කෙරෙන වායු විමෝචන සමත් කිරීමේ අගයන් ප්‍රකාශයට පත් කර තිබේ.

1. එහි සඳහන් 2007 ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන අගයන් සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැන නැගී තිබූ අතර ඒ හේතුවෙන් 2016 තෙක් එය ක්‍රියාත්මක කිරීම සිදුවූයේ නැත.

2. 2016 සිට ක්‍රියාත්මක වන එම වායු විමෝචන අගයන්ට ලංකාවට ගෙන්වා ඇති ඇතැම් වාහන හා බොහෝමයක් යතුරුපැදි සුසර කරමින් ගෙන ඒමට නොහැකි අතර, එසේ එම අගයන්ට ගෙන ඒමට ඉන්ධන හා වාතය සම්මිශ්‍රකය (carburetor) තුලට කම්බි කැබලි ඇතුළත් කර සුසර කරන අතර එවිට එම වාහනය හෝ යතුරුපැදිය සිසිල් වූ පසු පන ගැන්වීම දුෂ්කර වනවා පමණක් නොව ධාවනය ද කර නොහැකි තරමට එන්ජිමේ ක්‍රියාකාරිත්වය අඩු වේ. මේ හේතුවෙන් අල්ලස් මුදල් දී පරීක්ෂණ කිරීමටත් නැතහොත් පරීක්ෂණය සමත්වූ පසු නැවත ධාවනය කර හැකි ප්‍රායෝගික අගයකට සුසර කිරීමටත් යතුරුපැදි / වාහන හිමිකරුවන් කටයුතු කරයි.

3. මේ හේතුවෙන් සමස්ත වාහන හා යතුරුපැදිකරුවන් ඉතාමත් විශාල දුෂ්කරතාවකට පත්වනවා පමණක් නොව, නීති ගරුකව සිටිනා පුද්ගලයන්ට පවා දූෂිත ක්‍රමවේදයන් තුලට යොමු වීමට සිදුවේ. සමාජය බලහත්කාරයෙන් දූෂණයට යොමු කරනා හා පුහුණු කරනා සන්ධිස්ථානයක් බවට මෙම පරීක්ෂාව පත්ව තිබේ.

4. වායු විමෝචන පරීක්ෂාව සඳහා ලබා දෙන උත්සාහ කිරීමේ වාර ගණන ද ප්‍රමාණවත් නොවේ. තවද, මෙම පරික්ෂාව නොමැතිව ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි නිසාත්, සහන කාලයක් නොමැති නිසාත්, යතුරුපැදිකරුවන් හා රියදුරුන් විශාල අපහසුතාවකට පත්වේ.

5. මෙම කාරනාවේදී දූෂිතම කාරණාවන් වන්නේ යතුරුපැදි/වාහනය විකුණන මුල් වසරේ වායු විමෝචන සහතිකය අවශ්‍ය නොවීමයි. රජයේ වාහනවලට එය අවශ්‍ය නොවීමයි. එම නිසා වායු විමෝචන පරීක්ෂාව ජනතාව හා පරිසර පද්ධතිය රැවටීමක් ලෙස සැලකිය හැක. ආනයන අවස්ථාවේ මෙම පරීක්ෂාව සිදුකර නොමැත.

6. යතුරුපැදි / වාහන නිෂ්පාදකයින් ද තම ඇඟ බේරා ගැනීමට ඔවුන්ගේ අලුත් වැඩියා මධ්‍යස්ථාන හරහා කරන්නේ දුම් පරීක්ෂණ සමාගම්වල පුද්ගලයන්ට අත යටින් මුදල් කුට්ටි ලබා දීමය.

7. විද්‍යාත්මකව, වායු විමෝචන සහතිකයේ අගයන් වලංගු වන්නේ සීමිත කාල සීමාවක් සඳහා පමණි. මන්ද, ඕනෑම කාර්මික දෙයක් පළුදු වන අතර, වාහනයක / යතුරුපැදියක වායු පෙරනය ද කලක් ඇතුළත දූවිලි ගොස් සිරවී ඒ හරහා ගමන් ගන්නා වායු ප්‍රමාණය වෙනස් වේ. මේ හේතුවෙන් ඉලෙක්ට්‍රොනික ඉන්ධන හා වායු සම්මිශ්‍රණය පද්ධතියක් නොමැති වාහනයක් / යතුරුපැදියක් නැවත පරික්ෂා කරන විට වායු විමෝචන අගයන්ට බෝහෝ විට අනුකූල නොවේ. මෙම තත්ත්වය හේතු කරගෙන යතුරුපැදිකරුවන් හා වාහන රියදුරුන් මහමඟ අල්ලා, අගයේ කුඩා වෙනස් කමකට අපහසුතාවට පත් කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි.

8. වායු විමෝචනය සිදුකරන සියලුම උපකරණ මසකට වරක් වත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පරික්ෂා කර යුතුය. ප්‍රමිතියට අනුකූල බවට සහිත කර යුතුය. අවශ්‍ය නම් වෙනත් යන්ත්‍රයක් හරහා එය සිදුකර බැලීමේ හැකියාවක් තිබිය යුතුය. මේ සඳහා ක්‍රමවේදයක් නොමැත. බොහෝමයක් දෙනෙකු එක් තැනක අසමත් වූ යතුරුපැදියක් තවත් තැනක දැමූ විට එය සමත් වේ. මේ සඳහා සාක්ෂි අප සංගමය සතුව ඇත.

9. බොහොමයක් වායු විමෝචන යන්ත්‍ර පරීක්ෂාව අවස්ථාවේ එන්ජිමේ වේගය නිසියාකාරව සටහන් කර නොගනී. මේ හේතුවෙන් පරීක්ෂකවරයාට අවශ්‍ය නම් වාහනයක් වායු විමෝචනය සමත් කිරීමට හෝ අවශ්‍ය නම් අසමත් කිරීමට හැකියාවක් ඇත.

10. 2016 සිට ක්‍රියාත්මක වන එම වායු විමෝචන අගයන්ට ලෝකෙ දියුණු රටවල් ද ප්‍රතික්ෂේප කරනා ලංකාවේ ධාවනය වන ප්‍රමිතියක් නොමැති මෙම වාහන / යතුරුපැදි සුසර කර හැකි බවට සඳහන් කර ඇති වාර්තාවේ පිටපතක් හා එය ප්‍රායෝගික බවට සිදුකර සමීක්ෂණවල පිටපත් 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අපි මින් ඉල්ලා සිටිමු.

11. මෙහි සඳහන් කරුණු අනුව මෙම ගැටලුව ස්ථිර විසඳුමක් ලබා දීමටත්, මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා අපට අවස්ථාවක් සලසා දීමටත් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

චිරන්ත අමරසිංහ
සභාපති

1,021 views
Main News