වාහන වෙලදාම 90%කින් වැටිලා.. ඔබේ ආණ්ඩුවට වඩා 100%ක් බදු වැඩි කරලා..- වාහන ආනයන සංගමය මහින්ද හමුවී දුක කියති..

April 6, 2019 at 8:40 am | lanka C news
වාහන වෙලදාම 90%කින් වැටිලා.. ඔබේ ආණ්ඩුවට වඩා 100%ක් බදු වැඩි කරලා..- වාහන ආනයන සංගමය මහින්ද හමුවී දුක කියති..

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නියෝජිතයින් හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විනි.

මෙවර අයවැය තුළින් වාහන ආනයනයේදී පනවා ඇති බදු පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.

වැගන් R වැනි කුඩා හයිබ්‍රිඩ් වාහන සඳහා මෙම අයවැයෙන් විශාල බදු මුදලක් පනවා ඇති බවත් 2014 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ වැගන් R වැනි කුඩා හයිබ්‍රිඩ් වාහන සඳහා රු.825,000 කට තිබුන බද්ද මේ වන විට රු.1,500,000 දක්වා 100%ක් වැනි මුදලකින් වැඩි වී ඇති බවත් එම නිසා වාහන මිලදී ගැනීම 90% කින් පහළ වැටී ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්නේය.

තවද, 100 කිලෝවොට් ධාරීතාවයට අඩු  වසරක් පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීමට දුන් සහනය වසර 03ක් පාවිච්චි කළ වාහන ගෙන්වීම දක්වා  අවසර ලබා දිය යුතු බවත්, එම වාහන මෑත කාලයේ දී තාක්ෂණ වැඩිදියුණු කර නිපදවා ඇති බැවින් එමඟින් එක් වරක් ආරොපණය කිරීමෙන් වැඩි දුර ප්‍රමාණයක් ධාවනය කළ හැකි බවද ඔවුන් පැවසීය.

ණයවර ලිපි විවෘත කිරීමේදී 200%ක තැන්පතු මුදල මෙම අයවැය තුළින් ඉවත් කළ ද ලීසිං පහසුකම් 50% දක්වා සීම කිරීම තුළින් සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරික අරමුණින් වාහනයක් මිලදි ගැනීමට පොඩි මිනිහාට ඇති හැකියාව එයින් ඇහිරී ඇති බවද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය ලිසිං පහසුකම් 80% ත්100% ත් අතර ලබාදුන් බවත් එමගින් වාහනයක් ගැන සාමාන්‍ය ජනතාවගේ  තිබු සිහිනය ඉටු කර ගතහැකි වූ බවද මෙහිදී පැවසීය.

හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට එම ආණ්ඩුව ලබා දුන් සහන නිසා පරිසරය මේ තරම්වත් ආරක්ෂා වී ඇති බව පැවසු ඔවුන් හයිබ්‍රිඩ් වාහන ගෙන්වීමට දිරි දීම තුළින් ඉන්ධන ආනයනයද අඩු කළ හැකි බවත් එමඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කළ හැකි බවද ඔවුන් පෙන්වා දුන්නේය.

අපේ රජය සමයේ වාහනයක් ගැනීමට සාමාන්‍ය ජනතාවට තිබු අයිතිය මෙම රජයෙන් අහෝසී වී ඇති බවත් ඉදිරියේදී පත්වන ආණ්ඩුවකින් බදු අය කිරීම විධිමත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔවුන්ට පැවසු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, වාසුදේව නානයක්කාර, බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද එක් විය.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

53 views