විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමල නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව මෙන්න…

August 29, 2020 at 4:40 pm | lanka C news
විග්නේශ්වරන් ලඟ තියාගෙන දෙමල නිජබිම ගැන ගම්මන්පිල කරපු කතාව මෙන්න…

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා 28 වන දින පාර්ලිමේන්තුවේදී කල කතාව මෙහි දැක්වෙයි.

විශේෂයෙන්ම සී වි විග්නේශ්වරන් මන්ත්‍රිතුමා මේ සභා ගැබේ සිටින අවස්ථාවේ මට අමතන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එතුමා නව වැනි පාර්ලිමේන්තුව රැස්වුණු පළමු දිනයේ මේ රටේ ජනතාව කුපිත කරවන කතාවක් කලා. එතුමා සඳහන් කළ ප්‍රධානම කාරනය වුණේ ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාවයි කියන එක. ඇත්තෙන්ම එය කිසිම පුරාවිද්‍යාත්මක ඓතිහාසික සාක්ෂිවලින් ඔප්පු කරන්න බැරි පට්ට පල් බොරුවක්. ලන්දේසි යුගයේදී යාල්පානම් වෛයිපමාලෙයි කියන ග්‍රන්ථය ලියැවෙන තුරු මේ රටේ දෙමළ ජනතාවට ඉතිහාස පොතක් තිබුණේ නෑ. යාල්පානම් වෛයිපමාලෙයි එනතුරු ඉතිහාස පොතක් තබා විධිමත් ලෙස ඉතිහාස කතන්දරයක් වත් එකතු වෙලා තිබුණේ නෑ. ඒ වගේම අපි ඉතා හොඳින් දන්නවා Dravidian Settlements in Ceylon and the Beginnings of the Kingdom of Jaffna යනුවෙන් මහාචාර්ය කර්තිගේසු ඉන්ද්‍රපාලන් තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය කලා. එහි ඉතා පැහැදිලිව සඳහන් වෙනවා දොළොස්වන සියවසට පෙර මේ රටේ ස්ථිර දෙමළ ජනාවාස තිබුණු බවට කිසිම ඓතිහාසික පුරා විද්‍යාත්මක සාක්ෂියක් නොමැත කියලා. මේ මහාචාර්යවරයා සිංගප්පූරුවේ ජීවත්වන යුගයේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් දිගින් දිගටම තර්ජනය කලා ඒ නිබන්ධනයේ නිගමනය වහාම වෙනස් කළ යුතුයි කියලා. නමුත් තර්ජන ගර්ජන හරහා ඉතිහාසය වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි යමක් වැරදි නම් විරෝධය පාල කරලා වැඩක් නෑ. විග්නේශ්වරන් මන්ත්‍රිතුමා කියන කතා වැරදි නම් අපි ඒක වැරදියි කියලා ඔප්පු කළ යුතුයි.

ඒ නිසා මම විග්නේශ්වරන් මන්ත්‍රීතුමාට මාධ්‍ය හමුවක් පවත්වා අභියෝගයක් කලා. එන්න මා සමග විවාදයට ඔබ සතු සාක්ෂි සියල්ල අරගෙන. ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාවද කියන මාතෘකාව යටතේ අපි ප්‍රසිද්ධ විවාදයක් කරමු. ඔබ රැගෙන එන සියලුම සාක්ෂි පදනම් විරහිතයි කියලා ඔප්පු කරන්න මම ලෑස්ති කියලා. හැබැයි ඒ ප්‍රකාශය කළාට පස්සෙ විග්නේශ්වරන් මන්ත්‍රිතුමාගෙන් කිසිම සද්දයක් නෑ. වෙලාවකට මට හිතෙනවා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි අභියෝග කියන වචනයට රෞද්‍ර කොටියෙක් පූස් පැටියෙක් තරං අහිංසක කරන්නට නිහඬ කරන්නට පුළුවන් මැජික් බලයක් තිබෙනවාද කියන ප්‍රශ්නෙකුත් මගේ හිතේ ඇතිවුණා.

සමහරු අපෙන් අහනවා එතුමා මේ ප්‍රකාශය කරන වෙලාවේ එතුමා ගෙන් ප්‍රශ්න කළේ නැත්තේ ඇයි කියලා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි මේ සභාවේ සම්ප්‍රදායන් ගැන නොදන්නා අයයි ඒ චෝදනා එල්ල කරන්නේ. එදා තිබුණේ කතානායකතුමාට සුභ පැතීමේ අවස්ථාව. කතානායකතුමාට සුබපතන අවස්ථාවේ කවුරුවත් බාධා කරන්න යන්නේ නෑ තවත් කෙනෙක්ගේ කතාවකට. ඊට පස්සේ අපිට මේ සභාව අමතන්න හමු වුණු පළමු දිනය වන අද දිනත් ඊට ප්‍රථම එළියේදීත් අපි මේ කාරණාව සම්බන්ධයෙන් අභියෝගයට ලක් කලා.

විශේෂයෙන් අපි සතුටු වෙනවා මේ පාර පාර්ලිමේන්තු ප්‍රතිඵලය පිළිබඳව උතුරේ ජනතාව නැගෙනහිර ජනතාව ඉතා පැහැදිලි පණිවිඩයක් දීලා තියෙනවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි දකුණේ සිංහල ජනතාව සමඟ සමගියෙන් වැඩ කරල බෙදුම්වාදි විෂබීජය වෙනුවට සංවර්ධනයේ අරුණලු උතුරට ගෙන එන ඔබතුමන්ට ඩග්ලස් දේවානන්ද ඇමැතිතුමන්ට මේ අන්තවාදී ප්‍රකාශය කරපු මන්ත්‍රීතුමාට වඩා ඉහළ මනා ප්‍රමාණයක් ලබාදෙමින් ඔබතුමන්ලා තමයි උතුරේ නායකයන් විය යුත්තේ කියන පණිවිඩය උතුරේ ජනතාව කියලා තියෙනවා. දකුණත් සමග අපි එකමුතුව වැඩ කරන්න කැමතියි කියන පණිවිඩය ඔබතුමන්ලාට ලැබුණු විශාල මනාප ප්‍රමාණය තුල අඩංගුයි. මට මතක විදිහට 36 365 මනාප ගත් ඔබතුමා තමයි යාපනය දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ගනනක් ලබාගත් මන්ත්‍රීවරයා. ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග කරද්දී ඔබතුමා තෝරා ගැනීම හරහා උතුරේ ජනතාව ලබාදීලා තියෙන මේ අලුත් පණිවිඩය දකුණේ නායකයන් ඉතා ප්‍රවේශමෙන් කියවා තේරුම් ගෙන උතුර දිගුකළ මිත්‍රත්වයේ හස්තයට අපි දෑත් දෙකම දිගුකොට ආදරයෙන් වැළඳගත යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ.

ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, ඊයේ දවසේ විපක්ෂයේ ප්‍රධානම තර්කය වුණේ අතුරු සම්මත ගිණුමක් මුලින් ඉදිරිපත් වුණා ජනවාරි 01දා සිට මාර්තු 31 දක්වා, ඊළඟට අද ඉදිරිපත් කරල තියෙන අතුරු සම්මත ගිණුමත් අගෝස්තු 01දා සිට දෙසැම්බර් 31 දක්වා ඒ නිසා මැයි මාසයේ 01දා සිට ජූලි මාසයේ 31 වැනි දා දක්වා වූ කාල පරාසයට මේ පාර්ලිමේන්තුව මුදල් අනුමත කරලා නෑ. ඒ නිසා ඒ කාලයේ මුදල් වියදම් කර ආකාරය නීතිවිරෝධී කියන එකයි. මෙය මහා භයානක නීතිමය විනාශයක් විදියට ඊයෙත් අදත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අර්ථ දැක්වූවා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ 87/2020 කියන මූලික අයිතිවාසිකම් පෙත්සමේ 62 වන ඡේදයේ සිට ඉදිරියට තියෙන්නෙත් ඔය තර්කයම තමයි. ඒ තර්කය ඉදිරිපත් කරමින් එදා කිව්වේ වහාම පාර්ලිමේන්තුව යළි කැඳවන්න ජනාධිපතිතුමා දැන් මුදල් වියදම් කිරීම නීති විරෝධී. වහාම යළි පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ජනාධිපතිතුමාට නියෝගයක් නිකුත් කරන්න කියලා තමයි මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දින ගණනාවක් මේ පෙත්සම් හොඳින් සලකා බලා, ආවට ගියාට නෙවෙයි දින නමයක් විතර මට මතක විදියට හොඳින් සලකා බලලා මේ පෙත්සමේ හරයක් නැත නීතිමය පදනමක් නැහැ කියලා පෙත්සම විභාගයට වත් නොගෙන විසික් කළා. එහෙම පිළුණු වෙච්ච, ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව විසිකරපු තර්කය අරගෙන මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක් නාස්ති කිරීමෙන් විපක්ෂයද කෙතරම් බංකොලොත්භාවයට පත් වෙලාද කියන කාරණය පෙන්නුම් කරනවා.

මොවුන්ගේ දෙවැනි ප්‍රධාන තර්කය වුණේ කොරෝනා වසංගතය එන්නත් කලින් මේ ආර්ථිකය සෘණ වෙලාය කියන එකයි. කවුද කලේ අපේ කාලේ 6% ක සමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළා. ඒ ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දස වසරේ යුද්ධයක් කරලා තිබියදීත් මහා දැවැන්ත සංවර්ධනයක් කරමින් 6% ක සමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් අපි ගෙන ගියා. ඔබ ඇවිල්ලා ඒක සාමාන්‍යයෙන් 3% වසර වසර පහටම පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 1.9% පසුගිය වසරේ දකුණු ආසියාවේ සිටින ආර්ථික වශයෙන් දුර්වලම රට ලෙස සලකන ඇෆ්ගනිස්තානයටත් වඩා පහතින් තමයි අපේ ආර්ථික වර්ධන වේගය තිබුණේ. ඒ ආර්ථික වර්ධන වේගය දිගුව තමයි මේ වසරේ මුල් මාස හය පෙන්වන්නේ. කොරෝනා එන්න කලින් ඉඳන්ම ඔබ මේ රට එක පැත්තකින් ආර්ථිකයට කරපු විනාශය අනික් පැත්තෙන් මහ බැංකුව වංචා වැනි දැවැන්ත සොරකම්, පාස්කු ප්‍රහාරය සිදු වෙන්න ඉඩ දී බලා සිටීම වැනි කාරණා මතයි ආර්ථිකය දුර්වල වීම ආරම්භ වුණේ. නමුත් මේ රටේ ජනතාව 2/3ක දැවැන්ත ජනවරමක් ලබා දෙමින් අතිගරු ජනාධිපතිතුමාටත් ගරු අගමැතිතුමාටත් මේ ආර්ථිකය යළි නඟා සිටුවීමේ ශක්තිය තිබෙන බව විශ්වාසය පළ කළ තියෙනවා අන්න ඒ විශ්වාසය අපි අබ මල් රේණුවක තරම්වත් හානියක් නොවන්නට මේ ආර්ථිකය අපි ගොඩ දානවා කියන ප්‍රතිඥාව මේ රටේ ජනතාවට ලබාදෙමින් මම නිහඬ වෙනවා.

– අරවින්ද අතුකෝරල

29,694 views
Main News