විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයකට කලින් විද්‍යාත්මක ජනාධිපති-අගමැති ඕනෑ..

May 1, 2018 at 4:40 pm | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයකට කලින් විද්‍යාත්මක ජනාධිපති-අගමැති  ඕනෑ..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ අදහස් පල කලේය.

ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එකතු වෙලා අද දවසේ විද්‍යාත්මක ක්‍රමයට ඇමති මණ්ඩලයක් පත් කරනවාලු.  පළමුව කියන්න ඕනෑ මේ ආණ්ඩුව අවම වශයෙන් විද්‍යාත්මක ක්‍රමය කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ.  පරීක්ෂණයක් කරලා දකින නිරීක්ෂණ අනුව නිගමනයකට එළැඹීම තමයි විද්‍යාත්මක ක්‍රමය කියන්නේ.  ඒක දැනුම ලබා ගන්නා එක ක්‍රමයක්.  ඇමතිවරුන්ට විෂයන් වෙන් කළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයකට නොවේ.  තාර්කික ක්‍රමයකට.

මුලින්ම ඔය පොරොන්දුව දුන්නේ පසුගිය ජනපතිවරණයේ දී.  2015 ජනවාරි මාසයේ ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමයි මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා අගමැතිට දුන්නේ.  2015 සැප්තැම්බර් මාසයේ ඇමති මණ්ඩලය පත් කිරීමේ දී තමයි උසස් අධ්‍යාපන සහ මහ මාර්ග කියලා අපූරු අමාත්‍යාංශයක් ඇති කලේ. ඒක බිහිකල දා ඉදලා උසස් අධ්‍යාපන සිසුන් මහා මාර්ගයේ තමයි.

2017 මැයි මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමයි ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශයට පැවරුවේ. එමගින් ලොව ලොතරැයි විකුණන එකම විදේශ ඇමති බවට ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරයා පත්වුනා.

2018 මාර්තු මාසයේ ඇමති මණ්ඩල සංශෝධනයේ දී තමයි තරුණ කටයුතු රාජ්‍ය ඇමති ලෙස හැට පැන්න තරුණයෙකු පත් කලේ.  මේ ජනපතියි අගමැතියි එකතු වෙලා ඇමති මණ්ඩල පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක්වත් තාර්කික ක්‍රමයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ.  ඒ නිසා මුලින්ම කළ යුත්තේ  තාර්කික ක්‍රම වේදයකට හිතන්න පුළුවන් ජනපති කෙනෙක් සහ අගමැති කෙනෙක් පත් කර ගැනීමයි.

මේ වාරයේ වත් පොරොන්දු වුණු පරිදි තිස් දෙනෙකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීමට ජනපති සහ අගමැතිට චේතනාව පහළ වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

– අරවින්ද අතුකෝරල

51 views

One Comment to “විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයකට කලින් විද්‍යාත්මක ජනාධිපති-අගමැති ඕනෑ..”

  1. Nim says:

    OBA HARIYATAMA HARI.

Main News