විද්‍යා දැරිය ඝාතනයට විජයකලා අත්අඩංගුවට ගනු..- යාපනේ හර්තාල් කැදවයි..
September 29, 2017 at 4:40 pm | lanka C news
යාපනය පුන්කුඩතිව් විද්‍යා දැරියගෙ ඝාතකයින් රැක ගැනීමට උපකාර කළ පිරිස් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවටත් ඒ වෙනුවෙන් 30 වැනිදා යාපනයේ හර්තාලයක් පවත්වන බවට යාපනය නගරයේ ස්ථාන කිහිපයක අද (29) පොස්ටර් අලවා තිබුණි.
එම පොස්ටර් වල සඳහන කොට තිබුනේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් හා ස්විස් කුමාර්ට උපකාර කළ නීතිඥ තමිල් මාරන් නමැත්තාගේ ජායාරූප යොදා අදාල පිරිස් වෙනුවෙන්ද නීතිය ක්‍රියාත්මක කොට සාධාරණයක් කළ යුතු බවටයි.
විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් අත්අඩංගුවේ සිටින අවස්ථාවේදී ඔහු මුදා හැරීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් හා නීතිඥ තමිල්මාරන් නමැත්තා උපකාර කළ බවටද අදාල පෝස්ටර් මගින් පෙන්වා දී තිබුණී.
යාපනය දූපත් ජනතාව හා යාපනය කාන්තා සංවිධාන විසින් මෙම පෝස්ටර් අලවා තිබූ අතර 30 වනදා යාපනයේ හර්තාලයක් සිදු කිරීමටද සහය වන මෙන් ඉල්ලා ඇත.
නමුත් වෙළඳ සංවිධාන ඇතුලු සිවිල් සංවිධාන කිහිපයක් කියා සිටින්නේ 30 වනදා හර්තාලයක් සිදු කිරීමට තරම් ක්‍රියාවක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවටත් විද්‍යා දැරියට මේ වන විටත් නීතියෙන් සාධාරණයක් සිදුව ඇති අතරම අද (29) රාත්‍රියේ හර්තාලය සම්බන්ධයෙන් අවසන් තීරණය ගන්නා බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ