‘විදුලි බිල වහා අඩු කරනු.. සුත්තරේ මෙන්න..’- විදුලි ඉංජිනේරුවෝ රටට සෙතක් පතා වර්ජනයක් අරඹති..

April 19, 2018 at 1:20 pm | lanka C news
‘විදුලි බිල වහා අඩු කරනු.. සුත්තරේ මෙන්න..’- විදුලි ඉංජිනේරුවෝ රටට සෙතක් පතා වර්ජනයක් අරඹති..

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් මෙම මැයි මස 08 වැනිදා සිට වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළැමීමට තීරණය කර ඇත.

මේ බව සදහන් කරමින් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

  1. විදුලි ජනන වියදම සහ ජාතික ආර්ථිකය 

වර්තමානයේ වසරකට විදුලි පද්ධතිය තුළ ජනනය වන සමස්ථ විදුලි ඒකක ගණන  බිලයන 15 ක් පමණ වන අතර එය වසරක් පාසා එය එකක බිලියනයකින් පමණ වැඩිවේ . එම නිසා ජනනය කරන එක ඒකකයක වියදම  රුපියලකින් වැඩි වූවත් වර්තමානයේ රටට ඇතිවන මූල්‍යමය පාඩුව රුපියල් බිලියන 15 කි.

අඩුම වියදමකින් හා පද්ධතියේ තාක්‍ෂණික අවශ්‍යතා වලට අනුකූලව බලාගාර සැලැස්මක් සැකසීම   ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යභාර්යකි. මේ අනුව ලංවිම සැලසුම් මගින් හඳුනාගත් පරිදි පද්ධතියට එකතු වූ නොරොච්ච්චෝලේ බලාගාරය ඉදිකිරීමට පෙර, 2012 වසරේ දී පෙර කී ජනන වියදම ඒකකයට රු. 23.66 ක් වූ අතර එම බලාගාරය පද්ධතියට එකතු වූ පසු 2015 වසරේදී රු. 15.07 ක් දක්වා අඩුවිය. මීට සමගාමීව ඉතිහාසයේ ප්‍රථම වතාවට රජය විදුලි බිල 25% කින් අඩුකරන ලදි. එහෙත් 2014 න්  පසු විශාල ප්‍රමාණයේ  අඩු වියදම් තාප  බලාගාර පද්ධතියට එකතුනොවිම හේතුවෙන්, වැඩිපුර ඩිසල් දහනය කිරීමට  සිදුවූ නිසා (උදාහරණ: හදිසි විදුලිය)  නැවත එය  2017 වනවිට රු. 21.32 දක්වා ඉහල ගොස් ඇත. මෙම හේතුවෙන් නොරොච්ච්චෝලේ බලාගාරයේ ආගමනය සමග 2015 වසරේ ලාභ ලැබූ විදුලිබල මණ්ඩලය 2017 වසරේදී රු. බිලියන 45 ක් (කෝටි 45,000) පාඩු ලැබීය.

වසර 10ක් පමණ කාලයක් පුරාවට සියලු සමාජීය, දේශපාලනික, පාරසරික ගැටළු විසඳා 2015 වසරේදී ටෙන්ඩර් කැඳවීමට දින කීපයක් පමණක් තිබෙන අවසන් මොහොතේදි සාම්පූර් බලාගාරය නවතා දැමුවද එමගින් ඇතිවූ විදුලි අර්බුධයට  විසඳුමක් වියහැකි කිසිඳු බලාගාරයක් මේ වනවිට සැදීමට සූදානමක් වත් නොමැත. මෙම තත්වය යටතේ මෙවැනි බලාගාරයක් සාදන තෙක් මණ්ඩලය ඉදිරිවසර 6-7 තුල සෑම වසරකම වසරකට  රු. බිලියන 50 කට වැඩි මුදලක්  පාඩු ලැබීම කිසිවෙකුටත් නැවැත්විය නොහැක.

නොරොච්ච්චෝලේ බලාගාරය ඉදිකිරීම වසර 15 කින් පමා කිරීම නිසා ඩීසල් මගින් විදුලි උත්පාදනයෙන් ආර්ථිකයට වු පාඩුව රුපියල් බිලියන 900 කි. එය දකුණු අධිවේගී මාර්ගයට සමාන තවත් මාර්ග 8 ක් ඉදිකිරිමට යෙදවිය හැකිව තිබූ මුදලකි. එමෙන්ම සාම්පූර් බලාගාරය අවසාන මොහොතේ නැවැත්වීම නිසා වසර 5 ක් තුළ සිදුවන පාඩුව ආසන්නව රුපියල් බිලියන 200 කි. මෙය කටුනායක අධිවේගී මාර්ගය මෙන් තවත් මාර්ග 4 ක් ඉදිකිරීමට යොදාගතව හැකිව තිබූ මුදලකි. මේ අනුව රටේ ප්‍රධානීන් ගන්නා වැරදි තීන්දු තීරණ නිසා බලශක්ති ක්‍ෂෙත්‍රය මෙන් ප්‍රමාණාත්මකව රටේ ආර්ථිකයට මේතරම් දැඩි බලපෑමක් ඇතිකළහැකි වෙනත් කිසිදු ක්‍ෂෙත්‍රයක් නොමැත.

  1. ජනන සැලැස්මේ අර්බුදය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවුරුදු දෙකකට වරක් ඉදිරි අවුරුදු 20 සඳහා ජනතාවට අඩු මිලට සහ සුරක්‍ෂිතව  විදුලිය සැපයීම සඳහා වු ‘අඩු වියදම් දිගු කාලීන ජනන සැලැස්ම’ සකසනු ලැබේ. මහජන උපයෝගිතා කොමිසමේ කාර්යභාරය වන්නේ එය රජයේ ප්‍රතිපත්තිය සහ නීති රාමුව තුල  සකසා ඇතිදැයි සොයා බලා අනුමත කිරීමයි.

මෙම ජනන සැලැස්ම සැකසීමට දැනීම, තිස් වසරකට අධික පළපුරුද්ද හා විදුලිබල පනත අනුව අයිතිය ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටයි. නමුත් ලං.වි.ම. විසින් සකසූ 2018 – 2037 දක්වා වු 20 අවුරුදු ජනන සැලැස්ම ඉවත දමන මහජන උපයෝගිතා කොමිසම පුද්ගලික බලාගාර හිමියන්ට අවශ්‍ය අන්දමට ඉතා මිල අධික ජනන සැලැස්මක් ඔවුන්ම සකසා එවා ඇත. කොමිසම ප්‍රධාන වශයෙන් නීතිඥ මහතුන්ගෙන් සමන්විත වන අතර ඔවුන්ට තාක්‍ෂණික වශයෙන් සහය වීමට ජනන සැලැස්මක් පිළිබඳ ප්‍රායෝගික දැනීමක් තබා බලාගාරයක් සැබැවින් නොදැක ඇති කණිෂ්ඨ ඉංජිනේරුවන් කිහිපදෙනෙකු ඇත. ඔවුන් තමන්ගේ රාජකාරිය අමතක කර පුද්ගලික විදුලි මාෆියාවට වාසි ගෙනදෙන ආකාරයේ සැලැස්මක් සකසා ඇත. සැලැස්ම සකස්කිරීමටත් අනුමත කිරිමටත් වගකීම් පනතින්ම ආයතන දෙකකට බෙදාදී තිබියදී සියළු කටයුතු කොමිසම කිරීමට යාම සුදුසු නොවන බව ඉතා පැහැදිලිය. එම සැලැස්ම නීති විරෝධී මෙන්ම මුල්‍යමය සහ තාක්‍ෂණික වශයෙන් රට විශාල අර්බුදයකට  තල්ලු කරන සැලැස්මකි.

ලං.වි.ම. සකස්කරන ලද සැලැස්ම ගල් අඟුරු, ස්වාභාවික වායු, සුර්‍ය, සුළං, ජල විදුලි ආදී සියලු ප්‍රබවයන්ගේ මනා  සංකලනයකින් සමන්විත  එකකි. මහජන උපයෝගිතා කොමිසම මගින් සකස් කරන ලද සැලැස්මට අනුව අනාගතයේ සියළු තාප බලාගාර ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) බලාගාරවේ . එම සැලැස්ම ක්‍රියාවට නැංවුවහොත් මුළු රටම එකම එක ඉන්ධනයක් මත යැපෙන අතර එය බලශක්ති සුරක්‍ෂිතතාවට දැඩිවම එල්ලවන මරු පහරකි.

ලං.වි.ම.  සැලැස්මේ ඇති 300MW ප්‍රමාණයේ බලාගාර නුසුදුසු යැයි ඉවත්කරන කොමිසම එම බලාගාර 150MW ප්‍රමාණයේ ස්වාභාවික වායු බලාගාර බවට පත්කර ඇත. 300MW ඉවත්කර 150MW සැලසුමට දමන කොමිසම, නොයෙකුත් ව්‍යාපාරිකයන් විසින් රජයකින් රජයට යන බෝඩ් ලෑල්ලට මුවාවී ගෙන එන 400MW හා  500MW ප්‍රමාණයේ LNG බලාගාර, තාක්ෂණික හේතුන් මත පද්ධතියට විශාල වැඩිබව ලං.වි.ම නැවත නැවත පවසද්දී, ඒවා සුදුසු යැයි පුදුම සහගත ලෙස  රජයට නිර්දේශකර ඇත. මහජන උපයෝගිතා කොමිසමේ වංක නිලධාරින් වැඩ කරන්නේ මහජනතාව වෙනුවෙන්ද නැතිනම් LNG ව්‍යාපාරිකයන් වෙනුවෙන්ද යන වග මෙයින් මනාව තහවුරු වෙයි.

  1. ජනන සංයුතියට ගල් අඟුරුද ඇතුළත් විය යුත්තේ ඇයි?
  • තෙල් සහ බැඳුණු තවත් ඉන්ධනයක් මත පමණක් යැපීමෙන් විය හැකි අනතුර  හඳුනා ගමු

කොමිසමේ මාෆියා නිලධාරින් යෝජනා කරන්නේ අනාගත සියළු තාප බලාගාර ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) පමණක්ම විය යුතු බවයි. මෙසේ ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) වැනි එක් ඉන්ධනයක් මත පමණක් යැපීම රටේ බලශක්ති සුරක්‍ෂිතතාවයට (Energy Security) මරුපහරකි. ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG)  යනු, තෙල් මිල සමග බැදුණු (Oil indexed), තෙල් නිෂ්පාදිත කලාපවලින්ම ලැබෙන පෙට්‍රෝලියම් ඉන්ධනයකි.

ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG)  ඉන්ධනය ලබාගැනීමට සිදුවන්නේ ගෝලීය දේශපාලනය අතින් අස්ථාවර මැද පෙරදිග (කටාර් වැනි රටවල්) කලාපයෙනි. එමෙන්ම ඩීසල් /පෙට්‍රල් ලබාගැනීමට සිදුවන්නේද එම කලාපයෙන්ම වන බැවින් මැද පෙරදිග කලාපීය අස්ථාවර අවස්ථාවක රටේ මූලික ඉන්ධන ප්‍රභව සියල්ල එකවිට අර්බුධයකට ලක්විය හැක.

තවද  2014 අග භාගයෙන් පසු පහත වැටුණු ලෝක තෙල් මිල සමඟ LNG මිල ද මෙම කාලසීමාවේදී තරමක අඩුවක් දක්නට ඇතත් තෙල් මිල නැවත ඉහළ ගිය දිනක තෙල් සමග LNG මිලද ද  ඉහළ යනු ඇති නිසා තෙල් මිල හා සබැඳි LNG මත පමණක් යැපීම රට විශාල මිල කම්පනයකට (Price Shock) ලක් විය හැක.  එහෙත් ගල් අඟුරු ලැබෙන්නේ ලෝකයේ භූ දේශපාලන වශයෙන් ස්ථාවර ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාව වැනි රටවලින් බැවින් සහ ඉතිහාසය පුරාවට ගල් අඟුරු මිල, LNG, තෙල් ඇතුළු සියලු පොසිල ඉන්ධන අතුරින් අවමය ලෙස පැවතීම නිසා ස්ථාවර බලාගාර සඳහා (Firm Energy Power Plants ) ද්‍රවිකෘත ස්වාභාවික වායු (LNG) , ගල් අඟුරු, තෙල් සහ පුනර්ජනනීය මිශ්‍රණයක් පැවතීම ඉතා වැදගත්ය.

  • ආයෝජන සමඟ අප සමඟ තරඟ කරන කලාපයේ රටවල් ගල් අඟුරු සහිත අඩු වියදම් ජනන මිශ්‍රණයකට

තම රටේ LNG ඉන්ධන නිධි තිබියදී සහ ගල්අඟුරු ආනයනය කරමින් තිබියදීත් බංගලාදේශය තවත් විශාල ගල්අඟුරු බලාගාර ප්‍රමාණයක් ඉදිකරමින් තිබේ. ඉංදුනීසියාව, මැලේසියාව, වියට්නාමය වැනි අප කලාපයේ වේගයෙන් සංවර්ධනය වන සියළු රටවල් වල සැලසුම් වල 2030/40 වන විට 50% කට වඩා වැඩි ප්‍රමාණයක් විදුලිය ගල්අඟුරු මගින් නිෂ්පාදනය කිරීමට නියමිතය. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මැලේසියාව සහ ඉන්දුනීසියාව LNG අපනයනය (විකුණුම්) කරුවන් අතර තුන් වැන්නා සහ පස්වැන්නා වීමයි. තවද ඉන්දියාවේ  175,000 MW ක්, චීනයේ  275,000 MW ක්, ඉන්දුනීසියාවේ 45,000 MW ක් වගේම ජපානය ආදී සංවර්ධිත රටවල්ද විශාල වශයෙන් ගල් අඟුරු බලාගාර ඉදිවෙමින් පවතයි. ලෝකයේ අනෙකුත් රටවල් ගල් අඟුරු බලාගාර ඉදිකරන්නේ නැතැයි අන්තවාදීන් ගෙන යන්නේ බොරු ප්‍රචාරයන්ය. ලෝකයේ LNG සැපයුම්කරුවන්ගෙන් දෙවනියා ඕස්ට්‍රේලියාවයි. නමුත් ඔවුන්ගේ විදුලි සැපයුමෙන් 64% ක් ජනනය කරන්නේ ගල් අඟුරු යොදාගෙනයි. මේ අනුව අපද සංවර්ධනය වන රටක් වශයෙන් ධනවත්  යුරෝපා රටවල් අනුකරණය නොකර අඩුමිලට විදුලිය නිපදවීම පිළිබඳ අවධානය යොමුකළ යුතුය.

  • පැරිසියේ COP 21 ගිවිසුම් වලට අනුගත වෙමින් යහපත් ගෝලීය පුරවැසියෙක් වෙමින් රට දිළිඳු බවින් මුදවා ගැනීමට අඩු මිල විදුලිය සපයමු

අප රට COP 21 ගිවිසුමට අත්සන් තබා ඇති අතර එමගින් ගල්අඟුරු බලාගාර තහනම් වන බව අමුලික බොරුවකි. ලං.වි.ම. (2018-2037) දිගුකාලීන ජනන සැලැස්ම, COP 21 මගින් බලාපොරොත්තුවන වායු විමෝචන සීමාවන් හා අනෙකුත් සියළු ඉලක්ක සපුරන ආකාරයට සකසා ඇත. ලං.වි.ම. ජනන සැලැස්ම අනුව ඉදිරි වසර 20 තුල පමණක් විදුලි පද්ධතියට එක්වන බලාගාරවලින් 40% ක් සුලo, සූර්ය බලය ආදී පුනර්ජනනීය බලාගාර වෙයි. නමුත් නිරතුරුව වෙනස්වන (fluctuating) පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට ආර්ථික අතින් සහ තාක්ෂණික අතින් සාර්ථකව එක් කිරීමට හොඳ ජනන මිශ්‍රණයකින් යුතු ස්ථාවර බලාගාර (firm energy) තිබිය යුතුය. මේ පිළිබඳව අප සංගමය අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා වාර දෙකක්ම පවත්වා ඇති අතර ජපානයේ ටෝකියෝ නුවර සමීපයේ ඇති ආකාරයේ දියුණු තාක්‍ෂණයෙන් පරිසර බලපෑම අවම වන ආකාරයේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම පිළිබඳ එතුමාගේ විරෝධයක් නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත.

  1. සාකච්ඡාමය වශයෙන් අර්බුධය නිරාකරණය කර ගැනීමට උත්සාහය

පසුගිය වසර 2 තුළ ජනන සැලැස්ම පිළිබඳව ඇතිවී තිබෙන අර්බුධය විසදා ගැනීමට රජය සමග සාකච්ඡා වාර ගණනාවක් පවත්වා ඇත. මේ කාලය තුළ ජනාධිපති වරයා සමග දීර්ඝ සාකච්ඡා 2 ක්ද අගමැතිවරයා සමඟ සාකච්චා 3 ක්ද පවත්වා ඇත. මේ සියළු සාකච්චා අප සාමාජිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම පසෙකලා රටේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ඇතිවී තිබෙන මෙම ප්‍රශ්ණය නිරාකරණය කර ගැනීමට සම්පූර්ණ වශයෙන් යොදවන ලදි. තවත් ඇමතිවරු ගණනාවත් සමඟ සාකච්චා කර ඇති අතර සියලු ඇමති වරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිපි මගින් දැනුවත් කර ඇත. (Annex 1,2,3)

  1. වෘත්තීය සමිති ක්‍රියාමාර්ග

සාධාරණ පිළිතුරු නොලැබුන නිසා 2017 සැප්. 07  දින සිට අප සාමාජකයන් යොජිත බලාගාර සඳහා වූ තාක්‍ෂණික කමිටු වලින් ඉවත් විය. නමුත් ලැබුණූ ප්‍රතිචාර යහපත් නොවූ නිසා 2017 ඔක්. 21 දින සිට සියළු බලාගාර යෝජනා සඳහා වූ තාක්‍ෂණික කමිටු වලින් ඉවත් විය. ඉන්පසු 2018 පෙබ. 06 දින අගමැතිවරයා සමඟ කළ සාකච්චාවේදී මෙම ප්‍රශ්ණය කඩිනම්ව නිරාකරණය කරන බවට පොරොන්දු ලබා දුනි. නමුත් මේ දක්වා කිසිදු ප්‍රතිඵලයක් දක්නට නොමැති බැවින් අඛණ්ඩව අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට එළඹවීමට තිරණය කරන ලදි.

රජය තවදුරටත් ජනතාව අමතක කර ව්‍යාපාරිකයන්ගේ රටට අහිතකර විදුලි ජනන සැලසුම්  ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තියේම සිටීනම් මෙය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් බවට පත්වනු ඇත.

විදුලිය අඛන්ඩව පැය 24 ම පවත්වාගෙන යාමට අප සාමාජිකයන්ගේ දායකත්වය අත්‍යාවශ්‍ය වන අතර අකුරට වැඩ ක්‍රියාමාර්ගය ආරම්භ වූ පසු  සාමාන්‍ය වැඩ කරන වෙලාවල් වන සතියේ දිනවල  පෙ.ව 8.30 සිට  ප.ව 4.15 දක්වා කාලයෙන්  පරිභාහිරව කිසිදු රාජකාරියක  නිරත නොවීම නිසා විදුලි සැපයුම අඩාල වනු ඇත.මේ  නිසා මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවන් ගැන අප ඉතා කනගාටු වන අතර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට පිවිසෙනුයේ  අපගේ වෘත්තීය අයිතාවාසිකම් දිනාගැනීමට නොව අනාගත දූ දරුවන් වෙනුවෙන් බව ජනතාව වටහා ගනු ඇත. කෙසේ වෙතත් මුල් අදියරේදී පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටීම වැලැක්වීමට බලාගාර සහ මෙහෙයුම් මධ්‍යස්ථාන ආදියේ රාත්‍රි වාර සේවා රාජකාරියේ නිරත වීමට අප සමාජිකයින් කටයුතු කරනු ඇත. තවද රෝහල් සහ ජාතික ආරක්‍ෂාවට වැදගත් වන ස්ථාන වලට අවම බලපෑමක් වන ආකාරයට කටයුතු යොදනු ඇත.

අපගේ ඉල්ලීම්

  • ලං.වි.ම සකස් කරන ලද දිගුකාලීන අඩුවියදම් විදුලි ජනන සැලැස්ම වහා අනුමත කර බලාගාර ඉදිකිරීම ආරම්භ කිරිම.
  • විදුලි මිල අඩුකිරීමට එරෙහිව කටයුතු කරන වගකීම් විරහිත නිලධාරීන් වෙනුවට පළපුරුදු අවංක නිලධාරීන් පත්කිරීම
  • විදුලි අර්බුදයට විසදුම් විය හැකි විශාල අඩුවියදම් බලාගාර ඉදිකිරිමට සුදුසු ස්ථාන වෙන්කර ඉඩම් ලබා දීම.
  • අඩු වියදම් බලාගාර ඉදිකිරීමට ඉඩ නොදීම නිසා ඉහළ යන විදුලි බිල දුප්පත් ජනතාව වෙත නොපටවා සහන මිලට විදුලිය ලබා දීමට ලංවිම දරණ වැඩිපුර මුදල භාණ්ඩාගාරයෙන් ලබා දෙන ක්‍රමවත් ක්‍රමවේදයක් සකස්කිරීම.
  • 2009 අංක 20 දරණ විදුලිබල පනත නිරවුල් කර ලං.වි.ම. ක්‍රියාකාරීත්වයට ඇති අනවශ්‍ය බාධා ඉවත් කිරීම.

– ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

192 views

7 Comments to “‘විදුලි බිල වහා අඩු කරනු.. සුත්තරේ මෙන්න..’- විදුලි ඉංජිනේරුවෝ රටට සෙතක් පතා වර්ජනයක් අරඹති..”

  1. කිරිමල්දෙනිය​ says:

    විදුලි බිල අඩු කරන්න පුලුවන් තව සුපිරි දේවල් මේ ඉල්ලීම් වල නැනේ.
    01.විදුලි බල මණ්ඩලේ ගෙවන අදික වැටුප අඩු කිරීම . (මනු කියවන්නෙක්ගේ මාසික වැටුප ලක්‍ෂයක් පමන වේ)
    02.ඉංජිනේරුවන් ගේ වාහන මාෆියාව නැවැතීම​.
    03. නඩත්තු සේවකයන් ගේ හොරා කැම හා අල්ලස අඩු කිරීම/ නැවැතීම​

    • මැටි පූසා says:

      ඔකේ ඉන්න මහා උන්ගේ පඩියට අමතර වියදම් අඩු කල යුතුයි.. ඔකේ ඉන්නවා කළු මාෆියා කාරය… ගොටගේ වම් අටේ කියාගන්න එකෙක්. වැඩබැරි දාස කෙනෙක් නමුත් කටින් නියම වැඩ.. තව ඉන්නවා සෙට් එකක් … ඕකුන් නිසා තමයි අපරාධ සිද්ධ වෙන්නේ… හරියට මිලදී ගැනීම් සහ ඒවායේ නහස්තිය අඩු කලොත් ඔය කියන ස්ට්‍රයික් කරන්න ඕන වෙන්නේ නැහැ

  2. විජය කුමාරතුංග says:

    ලං.වි.ම ඉංජිනේරු සංගමය ගෙන ඇති තීරණය ඉතාමත් කාලෝචිතයි. දේශපාලනික අරමුණකින් තොරව සිදු කරන ක්‍රියාමාර්ගයක් නම් අප සියලු දෙනාගේම සහයෝගය දිය යුතුයි. මේ රටේ බොහොමයක් ප්‍රශ්න වලට හේතුව අදාළ කාර්‍යය පිළිබඳ විශේෂඥයන් වෙනුවට දේශපාලන වන්දිභට්ටයන්ව පත් කිරීමයි. වෘතීය සමිති මෙවන් ජන සංවේදී කරුණු වෙනුවෙන් වෘතීය ක්‍රියාමාර්ග ගැනීම දැකීමත් සතුටක්. ජය වේවා ලං.වි.ම ඉංජිනේරු සංගමය!!!!

  3. තෙන්නකෝන් says:

    මොකක් උනත් මේ වැඩ බැරි රජයෙන් මේ වගේ කොමිෂන් වලට පත් කරලා තියෙන්නේ වැඩ අනාගන්න පිං පඩි ගන්න සෙට් එකක්. හැම තැනම ඉන්නේ ඒ වගේ එවුන්. අඩෝ එන්න එපා ජලයයි, තෙලුයි නියාමනය කරන්න. බොන්න වතුර පොදක්වත්, ගමනක් යන්න පෙට්රෝල් කාලක්වත් හොයා ගන්න බැරි වෙයි.

  4. prasad says:

    I do not know why electricity board is so much against LNG. one plant with 150 MW doesn’t mean our entire system is operated by LNG .Plus LNG plants usually efficient and environmentally friendly compared to coal. Most importantly LNG plant is must in Sri lanka to balance load efficiently. We having many hydro and also now solar is being installed so in future load balancing can be critical and coal power plants cannot do that. Very low efficiency in low capacity factor. So having LNG plant is timely.

    • gayan perera says:

      Hi prasad,
      the point you miss is that its not economical to build one LNG plant of convert a few of the existing thermal plants as the cost of infrastructure for LNG supply is way too high compared to the cost of the plant – this includes the terminals, pipelines etc – if you look at the case at norachchole you’d notice that the cost for coal yard, jetti and other coal handling facilities are significantly high.

      also as there is no LNG infrastructure coming up in the near future, any thermal plant made for LNG will start its life as a usual diesel of HFO plant which is comparatively expensive.

      so to sum up – 150 MW LNG is not practical due to high infrastructure cost – at least we should have a few of them to at least make financial sense. also they have to be close to one another so that they could be supplied with one refinery – no point having a LNG terminal and refinery each for every LNG plant 😉

      when you say load balancing usually coal is used fir base load, hydro and other thermal ones are used for peaking. so as you say having a few peaking plants running using LNG would make sense as long as there is some other CHEAP source to cater the base load. also note that SL has no more large hydro power potential and in recent times hydro contribution is only around 20% of the total supply.

  5. Dasun says:

    Please remember if not for the Norochcholi 900 MW coal power plant which got delayed by 10-15 years due to political games the country would have been in darkness today.

Main News