විධිමත් කලමනාකරණය තුලින් ක්ෂය රෝගය පාලනය කළ බව සුව ඇමැති පවසයි…

November 22, 2017 at 2:10 am | lanka C news
විධිමත් කලමනාකරණය තුලින් ක්ෂය රෝගය පාලනය කළ බව සුව ඇමැති පවසයි…

ක්ෂය රෝගය තුරන් කිරිම අරමුණු කර ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රථම ගෝලීය අමාත්‍ය සමුලුව රුසියාවේ මොස්කව් නුවර දී පසුගියදා පැවැත්විනි.

එහිදී ක්ෂය රෝගය තුරන් කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරිම යන තේමාව යටතේ පැවැති සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අදහස් පළ කරන ලදි.

“මගේ රට තුල දශක ගණනාවක සිට විශ්වීය සෞඛ්‍ය රක්ෂණ ක්‍රමවේද අනුගමනය කරනවා. එබැවින් මගේ රටේ සෞඛ්‍ය තත්ත්වය කළාපය තුල ඉතා ඉහළ මට්ටමක පවතිනවා. එමෙන්ම විධිමත් පුහුණුව ලැබු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යනවා. මුලික සෞඛ්‍ය පහසුකම් සැපයීමට ප්‍රමාණවත් මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබෙනවා. රජය මැදිහත්ව සෞඛ්‍ය සේවාව නොමිලේ ක්‍රියාත්මක කරන අතර, පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද ක්‍රියාත්මක වනවා. විධිමත් කළමණාකරණය තුලින් පසුගිය වසර කිහිපය පුරා ක්ෂය රෝගය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. ගෝලීය වශයෙන් මෙන්ම ශ්‍රී ලංකාව තුල ද ක්ෂය රෝගය අභියෝගයක්. රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් සියයට 70 ක් මිය යන්නේ බෝනොවන රෝග වලින්. දියවැඩියාව ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ අනුව බෝනොවන රෝග වැළැක්වීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ද සකස් කර තිබෙනවා. එය දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි. රජය මගින් ස්ථාපිත කර ඇති සුවනාරි සහ සුවදිවි ම්‍යස්ථාන මගින් ශරීර ස්කන්ධ දර්ශකය, රුධිර පීඩනය, රුධිරයේ ඇති සීනි ප්‍රමාණය, පියයුරු පිළිකා, ගැබ්ගෙල පිළිකා ආදිය ද පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබෙනවා. තරබාරුව ද අප මුහුණ දී තිබෙන තවත් ගැටලුවක්. විශේෂයෙන්ම දරුවන් අතර මෙම තත්ත්වය දක්නට ලැබෙනවා. අයහපත් ආහාර පුරුදු මීට ප්‍රධාන හේතුවක්. තරබාරුවෙන් ජනතාව බේරා ගැනීම සදහා පැණිබීම වර්ග සදහා වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දුන්නා. තව ද බදු ක්‍රමයක් ද හදුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. සීනි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය පහළ යාමට එය හේතුවක් වනවා. එමෙන්ම වයස අවුරුදු 2-5 අතර දරුවන් අතර අඩු බර ද ගැටලුවක්. එය පාලනය කිරීම සදහා අවශ්‍ය පියවර මේ වන විට ගෙන තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම සදහා වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා. මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය තුලින් පවුලේ ආර්ථිකයට බලපෑම් එල්ල වී තිබෙනවා. විශේෂයෙන්ම දරුවන්ගේ පෝෂණයට ද බලපෑම් එල්ල වී තිබෙනවා. එම නිසා මන්දපෝෂණය වැළැක්වීම සදහා ගර්භනී මවුවරුන්ට, මවුවරුන්ට සහ ළදරුවන්ට පෝෂණ ගුණයෙන් පිරි ත්‍රිපෝෂ ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. දුම්කොල භාවිතය ද තවත් ගැටලුවක්. දුම්පානය හේතුවෙන් වසරක දී පුද්ගලයින් 20,000 ක් පමණ මිය යනවා. එය වැළැක්වීම සදහා බදු පැනවීම, දුම්වැටි පැකට් තුල රූපමය අවවාද ප්‍රදර්ශණය කිරිම ඇතුලු ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. තවද වසර 2020 වනවිට දුම්කොල වගාව සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සෞඛ්‍ය සේවය යටතේ බෝනොවන රෝග පාලනය කිරිම සදහා රජය අවධානය යොමු කර තිබෙනවා. බෝනොවන රෝග ලක් රජයට ද විශාල අභියෝගයක්. සෞඛ්‍යට සහ අධ්‍යාපනයට රජයේ අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව සම්පුර්ණයෙන්ම පාලනය කරන්නේ රජය විසිනි. සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම සෞඛ්‍ය රක්ෂණාවරණයක් හදුන්වා දී තිබෙනවා. මෙවර අයවැයෙන් විශ්ව විද්‍යාල සිසුන්ටත් එම රක්ෂණාවරණය ලබාදීමට යෝජනා කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද්ධය පැවැති කාලය තුල දී ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල සියයට 100 ක් සාර්ථකව සිදු කෙරුනා. ඒ සදහා එල්.ටී.ටී.ඊ සංවිධානයේ ද සහයෝගය හිමි වුනා. සටන් විරාම පවා ප්‍රකාශයට පත් කෙරුනා.”

– ප‍්‍රසන්න අධිකාරී

89 views
Main News