විමල් රා නිෂ්පාදනාගාරයක් විවෘත කරයි.. කැසිනෝ දෙක තුන ඇති ටොප් ක්ලාස් සල්ලිකාරයන් ගැන කියයි..

December 15, 2021 at 1:20 pm | lanka C news
විමල් රා නිෂ්පාදනාගාරයක් විවෘත කරයි.. කැසිනෝ දෙක තුන ඇති ටොප් ක්ලාස් සල්ලිකාරයන් ගැන කියයි..

සොබාදහම අපට ලබාදී ඇති සම්පත්වලට අගය එකතු කර නිපදවන, විදේශීය වෙළෙඳ පොළට යා හැකි ධෛර්යය සහිත නිෂ්පාදනවලින් මේ රටේ පිරෙන විට අපට විදේශ විනිමය පිළිබඳව බිය විය යුතු නැති බවත් ජනගත වූ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත රාගා නිෂ්පාදන ද එම ඉලක්කය සපුරා ගැනීමට ඉමහත් පිටුවහලක් වනු ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඇග්‍රි දේශීය පුද්ගලික සමාගම කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ සහ එම නිෂ්පාදන ජනගත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත දෙසුම සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“අපි මේ පසුකරමින් සිටින්නේ එක ගමනක කෙළවර, තව ගමනක විලිරුදාව ඇති වෙමින් තිබෙන කාලපරිච්ඡේදයක්. මීට පෙර ඇසුණු, ‘රන් දහඩිය බිංදු බිංදු’ … ගීතය කුඹුරේ වැඩ කරන යුවතිය පිළිබදව ලියැවුණු ඉතාමත් සෞන්දර්යාත්මක වර්ණනාවක්. එදා ඒ විශේෂත්වය දුන්නේ වැඩ කරන,නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන, කාන්තාවට. අලසව කණ්ණාඩියක් ඉදිරිපිටට වී හැඩ බලන කාන්තාවට නොවෙයි. ගීත සාහිත්‍යය ඒ විදිහට පෝෂණය වුණේ ඒ යුගයේ තිබූ ඓතිහාසික අවශ්‍යතාවත් එක්ක. ඒ සියලු ගීත එන්නේ 1977ට පෙර කාලයේයි. අපට මතකයි එක කාලයක ගාමිණී ෆොන්සේකා චිත්‍රපට නළුවෙක් හැටියට මිනිස්සු අතරට එන්න, මිනිස්සුන්ගේ හදවත්වලට කාවදින්න ප්‍රධාන හේතුවක් තමයි යුග පෙරළියක චරිතය ලෙස ඔහුව පෙන්වීම.’පන්දම් අල්ලා ගත් නම්බු නාමේ – ඒ කාලේ දැන් ඉවරයි’ යන ගීතයත් සමඟ ඒ පණිවිඩය දුන්නේ ගාමිණි ෆොන්සේකාගේ රුවත් සමගයි. අපි මේ ඉන්නේ එක්තරා යුගයක කෙළවර. ඒ යුගය තමයි, ‘හොඳම දේ පිටරටින් ගෙනෙන්නේ. අඩුවටම මිලදී ගන්න පුළුවන් පිටරට දේ. ඒ නිසා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන එක බොරුවක්. අද ගෝලීය ආර්ථිකයක් තිබෙන්නේ. අපට වඩා තාක්ෂණය, අමුද්‍රව්‍ය බහුල ලෝකයේ තවත් ජාතීන් ඒ නිෂ්පාදන කරනවා. ඒ නිසා අපට තිබෙන්නේ ඒවා පරිභෝජනය කරන්න. ඒ නිසා නිෂ්පාදනය කරන්න අපි වැඩිය යන්න හොඳ නැහැ.’ කියන මතය සහිත යුගය. ඒ ‘සී පදය’, තේමා පාඨය සමඟයි ගෙවීගිය දශක තුනකට වැඩි කාලයක් මේ රට ඇවිල්ලා තියෙන්නේ. ඒ ආපු ගමනෙ කෙළවරකයි අපි දැන් ඉන්නේ.

‘යන්ත්‍ර සූත්‍රවලින් 80%ක් නිපදවූයේ අපේ ඉංජිනේරුවෝ’

දැන් අපි ඉන්නේ අපට උවමනා කරන දේවල් ගෙන්වාගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අතේ නොමැතිව. අපට කියන්න පුළුවන් කොවිඩ් ආපු නිසා සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අඩු වුණා, ආදී හේතු රැසක්. ඒවාත් යම් පමණකට බලපාන්න ඇති. නමුත් අද හෝ හෙට නැතිනම් අනිද්දා මුහුණ දිය යුතුව තිබූ අනිවාර්ය යථාර්ථයකටයි අපි අද මුහුණ දී ඇත්තේ. අද මේ කොවිඩ් අර්බුදයත් සමග ලෝකයේ නිෂ්පාදනවල මිල එකට තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙනවා. බොහෝ නිෂ්පාදනවල අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබෙනවා.බොහෝ රටවල නිෂ්පාදන බිඳවැටී තිබෙනවා.සැපයුම් මාර්ග අඩාල වී තිබෙනවා. ඒ නිසා පිටරටින් එන භාණ්ඩයේ මිල වෙනදා වගේ අඩු නැහැ. ඒ අතරට දේශීය වශයෙන් ඒවා නිපදවීමට තිබෙන විභවය අපි වැඩිකරගෙන තිබෙනවා. බොහොම සතුටුයි ප්‍රභාත් මැතිතුමා මා සමග පැවසුවා, මේ නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවට අවශ්‍ය යන්ත්‍රසූත්‍රවලින් 80%ක් නිෂ්පාදනය කරනු ලැබුවේ මේ රටේ ඉංජිනේරුවෝ කියලා. අපි ඒ හැකියාව මේ පොළොවේ ගබඩා කරගෙන තිබෙනවා.

‘මේ මොහොතේ තිබෙන විලිරුදාව’

‘රටින් ගෙනෙන දේ තමයි සුපිරි. ඒක තමයි මිලෙන් අඩු, ඒක පරිභෝජනය කරන එක තමයි අපේ පන්තිමය තත්ත්වය පෙන්වන නිර්ණායකය’ වැනි කතාවලින් පිරුණු යුගයක් අපේ ඇස් පනාපිටම අද පොඩිපට්ටම් වෙමින් තිබෙනවා. ඒ සමග බැඳුණු ජීවිත රටාව ප්‍රශ්න කෙරෙමින් පවතිනවා. ඒ සමග බැඳුණු ‘ආර්ථික සී පද’ සියල්ල කඩවෙමින් තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ තිබෙන විලිරුදාව හැටියට මම දකින්නේ, දේශීයව නිපදවීම බලගැන්වීම හරහා මේ රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය අවම කිරීමත් ඒ වගේ ම මෙරටට ගෙන එන විදේශ විනිමය ප්‍රමාණය උපරිම කිරීමත්, කියන තැනට අපේ දේශීය කර්මාන්තකරුවා බලගැන්වීම. ඒ විලිරුදාව, ප්‍රසව වේදනාව තමයි මේ මොහොතේ අපට ඇහෙන්නේ.

‘කිතුල් ගසට තිබුණු ඉඩ …’

ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගේ බෑණනුවන් වන මේ ප්‍රභාත් ද අල්විස් මැතිතුමාත් නියෝජනය කරන්නේ ඒ තත්කාලීනව මතුවන ප්‍රසව වේදනාවේ එක්තරා හඬක්. අපේ රටේ කිතුල් ගසට තිබුණු පිළිගැනීම නැති වෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ දී යි. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටට එන විට ශක්තිවන්ත, ඥානාන්විත මිනිසෙක් හිටියා. ඔහු පොළොවෙ ගහලාවත් මරන්න බැරි, ඕනෑම තත්වයකට ඔරොත්තු දිය හැකි මිනිහෙක්. ගිරිශිඛරවල දවස් ගණන් සැඟවී සිට සතුරාට පහර දිය හැකි මිනිහෙක් ඔහු. ඒ මිනිසාගේ ජීවිත කතාවේ තිබෙන, ගැඹුරු ඇත්ත පත්ලට ගිහින් සොයා බැලුවොත් ඒකේ විශාල ඉඩක් කිතුල් ගස ඇතුළු මේ රටේ දේශීය ශාක කිහිපයකටම තිබෙනවා. සුද්දා මුලින්ම කළේ මේ අරටුවට, පදනමට ගහපු එක. මී ගස් කපන්න අවසර දුන්නා. එමඟින් එදා මේ රටේ කෘෂිකර්මාන්තයට ස්වාභාවිකවම ලැබුණු පොහොර ටික නිපදවීම නතර කරන්න කටයුතු කළා. කිතුල් රාවලට වැට බැන්දා. එමගින් තමන්ගේ එතනෝල් නිෂ්පාදනවලට වෙළෙඳ අවකාශය ඇති කර ගත්තා.

‘අනර්ථයට වැට බැඳ අර්ථවත් භාවිතයට ඉඩ දීම’

‘කිතුල් රා බී ගෙදර උන්දෑට තඩි බෑවා’ කියා මම නම් කවුරුවත් කියනවා අසා නැහැ. මම මේ කිතුල් රා ප්‍රවර්ධනය කරනවා නොවෙයි. ඒ වගේමයි පොල් රා ටිකත් බීලා එහෙම ගෝරියක් දාගත්තා කියලත් අහලා නැහැ. නමුත් ඇල්කොහොල් ආශ්‍රිත පානයක් පාවිච්චි කරලා ගැටුම් හදාගත්තු අය ඕන තරම් මම දැකලා තිබෙනවා. මම මීට ඉහත අමාත්‍ය ධුරය දරන කාලයේ එක් වසරක අවසානයේ පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකදී සිදුවූ සිද්ධියක් මගේ සිහියට එනවා. ඒ සාදයේදී මගේ පිටිපස්සේ මේසේ හිටපු සභාපතිවරයකු එක පාරටම අමාත්‍යාංශ ලේකම්ට ගහන්න පැන්නා. කොහොම හරි ගැටුම නවතලා පසුව ‘මොකක්ද මේ වුණේ?’ කියලා දැනගන්න ඔහු කලින් වැඩ කරපු ආයතනයේ ප්‍රධානියකුට කතා කරලා ඇහුවා, ‘ඊයේ රෑ මෙහෙම සිදුවීමක් සිද්ධ වුණා. මොකක්ද ඒකට හේතුව?’ කියලා. එවිට ඔහු කිව්වා, ‘අයියෝ සර් අපට අමතක වුණානෙ කියන්න. එයා හතරවැනි ග්ලාස් එක බීපුවාම ඉක්මනටම පහ දෙන්න ඕනේ. හතරයි – පහයි අතර ගැප් එකක් තිබුණොත් කාට හරි ගහනවා’ කියලා. ඒ බීමේ තමයි එහෙම කතා තිබෙන්නේ. මේ බීමේ හතරයි – පහයි අතරෙ ගැප් එකක් තිබුණොත් සිංදුවක් කියාගෙන ඔහේ ඉදීවි, එහෙම කිසි අවුලක් නැහැ. මම මේ කිතුල් රා ප්‍රවර්ධනය කරනවා නොවෙයි. ආයෙත් කතාවේ මුලට ගියොත් සුද්දා මේ රටට ආවේණික, අනන්‍ය දේවල්වලට වැට බැඳලා තමයි ඔවුන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ විවෘත කර ගන්නේ.

මේ දවස්වල බහුලව කථා කෙරෙන කංසා පිළිබඳව කතාවත් එහෙම එකක්. අද දේශීය වෙදකම පිළිබඳ අමාත්‍යතුමන් සූදානමින් ඉන්නවා පිටරටවල අවශ්‍යතා අනුව ඒ ආශ්‍රිත ඖෂධීය නිෂ්පාදන කරලා ඒවා මේ රටට විදේශීය විනිමය උපයන මාධ්‍යයක් හැටියට අපනයනය කරන්න. සුදු අධිරාජ්‍යවාදීන් තහනම් කරපු දේවල් ඒ තහනමින් ඉවතට අරන් ඒවා මේ රටේ ධනය උපදවන මාධ්‍ය බවට පත්කරන්න අපි බිය විය යුතු නැහැ. ඒවායින් අනර්ථයක් වනවා නම් එය වළක්වාගැනීමයි කළ යුත්තේ. අනර්ථයට වැට බැඳලා අර්ථවත් භාවිතයට ඉඩ දීමයි සිදුවිය යුත්තේ.අනර්ථයක් වෙනවා කියලා අර්ථවත් භාවිතයට වැට බඳින එක අපරාධයක්. ඒක අපි කාපු ලණුවක්.

‘කුරුඳු ධූම පානය’

මීට ඉහත දී මේ රටේ දේශීය නිෂ්පාදකයකු නිෂ්පාදනය කළ කුරුඳු ධූම පානයට අත දෙන්න ගිහින් මේ රටේ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මම නොසෑහෙන්න කතා ඇහුවා. එම ධූම පානය ප්‍රවර්ධනයට ඒක කටේ තබා ගත්තා පමණයි, දුම්වැටි විරෝධී ‘විදග්ධදයින්, විද්වතුන්’ ගාලෙන් එළියට ආවා. ඇවිත් මෙහි හානිය, අවැඩ කතා කළා. නමුත් ඔවුන් අර නිකොටීන් තිබෙන සිගරැට් එක ගැන මුකුත් කියන්නේ නැහැ. අපේ රටේ තිබෙනවා දුම්වැටි ප්‍රවර්ධනය වළක්වන පනතක්. ඒ පනතින් කරලා තිබෙන්නේ දැන් මේ සිගරට් හදන සමාගමට හැරෙන්න වෙන කිසිවකුටත් සිගරට් එකක් හදන්න බැරි කිරීම පමණයි. ඇත්තටම ඒ පනත දුම්වැටිවලින් අපිව බේරෙන පනතක් නොවෙයි, ‘දුම්වැටි කර්මාන්තය ඔය කියන සමාගමට සදාකාලිකව ලියා දුන්නු’ පනතක්. මම ඉහත කී කුරුඳු ධූම පානය නිපද වූ දේශීය නිෂ්පාදකයාට මේ පනත යටතේ පිහිටුවා තිබෙන අධිකාරියෙන් නඩු දමන බවට ලිපි එව්වා. කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාටත් ලිපියක් මගින් දැනුම් දුන්නා ඇමතිවරයාටත් සමගම නඩු වැටෙනවා, කියා. එහිදී මම කිව්වා, ‘දාන්න නඩු අපි උසාවියට එන්නම්’ කියා. නමුත් දැම්මේ නම් නැහැ. හැබැයි ඒ පනත අනුව අපි කරලා තිබෙන්නේ වරදක්. ඒ පනතින් කරන්නේ ඒ සමාගම රකින එක. අපේ රටේ යම් නීති හැදිලා තිබෙන්නේ කර්මාන්ත ඉදිරියට යන එක වළක්වන්න.

එදා ප්‍රභාත් ද අල්විස් මැතිතුමන් අමාත්‍යාංශයට ඇවිත් මේ ආරාධනය කළ ගමන් ඉතා කැමැත්තෙන් මම එය භාර ගත්තා. මේ තමයි මේ යුගයේ විය යුතු දේ. අපේ රට ගැන ආදරයක් තිබෙන මිනිස්සු අපේ දෙයට අගය එකතු කරලා, විදේශීය වෙළෙඳපොළට ගෙන යන්න ධෛර්යක් තිබෙන නිෂ්පාදනවලින් මේ රට වැඩි වැඩියෙන් පුරවන කොට අපට විදේශ විනිමය ගැන නාහෙන් අඬන්න උවමනා නැහැ. අපේ කාන්තාව විදේශ රටවල ගෘහ සේවයට යවන්න උවමනා වන්නෙත් නැහැ. මේක, සොබාදහම අපට ඕනෑවටත් වඩා ලබා දී තිබෙන දේවලට අගය එකතු කරන්න ඥානය, මූල්‍යමය හැකියාව, රුදාව තිබෙන මිනිස්සු වැඩියෙන් උවමනා කාලයක්. ප්‍රභාත් ද අල්විස් මැතිතුමන් ඒ වැඩියෙන් උවමනා මිනිස් පොකුරේ ඉදිරියෙන්ම සිටින මිනිසෙක්. මම කර්මාන්ත අමාත්‍යවරයා හැටියටත් මේ රටට ආදරය කරන මිනිසෙකු හැටියටත් ඔහුට ස්තුතිය පුද කරනවා. ඔහුටත් ඔහු අතේ තිබෙන මුදලින් වෙනත් ව්‍යාපාරයක් කරන්න හිතන්න තිබුණා. අපේ ඔය ඉන්නේ ටොප් ක්ලාස් සල්ලිකාරයෝ, කැසිනෝ දෙක – තුන තිබෙන. ඔවුන් කියනවා, ‘මම තමයි ලංකාවේ අංක එක’ කියා. අපේ ගමේ මිනිසාගේ නිෂ්පාදනයට වෙනදා නොතිබුණු ඉල්ලුමක්, මිලක් ලබාදෙන්න, ඒ නිෂ්පාදනය ඊළඟ පරම්පරාවට අරගෙන යන්න උත්තේජනයක් ලබා දෙන්න, මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ මේ අද ඇරඹූ කර්මාන්තය වැනි ඒවායින්.

ඒ නිසා ප්‍රභාත් ද අල්විස් මැතිතුමාට විදෙස් වෙළෙඳපොළ ජය ගැනීමට අපට තිබෙන සම්බන්ධතාවලිනුත් අපි උපරිම සහයෝගය ලබා දෙනවා. මෙවැනි නිෂ්පාදන තව තවත් නිපදවන්න ප්‍රභාත් ද අල්විස් මැතිතුමන් වැනි තවත් අයට නුවණ පහළ වේවා! ධෛර්යය ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා. ‘අද මේ ජනගත කළ රාගා නිෂ්පාදනවලට අපේ වෙළෙඳපොළ පමණක් නොවෙයි ජාත්‍යන්තර වෙළෙඳපොළ ද ජයගෙන මේ ‘රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධානතම කර්මාන්තයක් බවට පත්වීමට හැකියාව ලැබේවා’යි පතනවා.”

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරු වන දුමින්ද දිසානායක, අරුන්දික ප්‍රනාන්දු, ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගමේ සභාපති ප්‍රභාත් ද අල්විස් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

176,216 views

27 Comments to “විමල් රා නිෂ්පාදනාගාරයක් විවෘත කරයි.. කැසිනෝ දෙක තුන ඇති ටොප් ක්ලාස් සල්ලිකාරයන් ගැන කියයි..”

  1. asela says:

    ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගේ බෑණනුවන් වන මේ ප්‍රභාත් ද අල්විස් මැතිතුමා???? ජෝන් සෙනෙවිරත්න මැතිතුමාගේ බෑණනුවන් වන මේ ප්‍රභාත් ද අල්විස් මැතිතුමා

    • Lara says:

      නිකමෝ සෙට් වෙන්නේ නිකමොන්ට. උබේ දුව නිකමෙක් බැන්දොත් මගේ දුවත් නිකමෙක් බදින්න ඕනෙද? ඔය ඉරිසියාකාර මනසින් ඈත් වෙනකම් මේ රටට සෙතක් නෑ.

  2. mahinda says:

    කිතුල් මල් මදින ශිල්පය උගන්නන්න පුලුවන්නම් ලොකු සේවයක්

  3. Chinthaka says:

    මේක නම් සුපිරිම වැඩක්.රටේ සම්පත් නිකරුනේ නාස්ති වෙන්න ඉඩනොදී තව තවත් ග්‍රාමීය කර්මාන්ත ද‍‍රිගැන්විය යුතුයි.

  4. ව්‍යාප්‍රථය අක්‍රීයයි,.! says:

    “කටින් බතල නොසිටවා වහාම ව්‍යාප්‍රථි සඳහා පසුවිපරමක් සිදු කරනු,.!

    http://madeinsrilanka.org/market-place

    ව්‍යාප්‍රථය අක්‍රීයයි,.!

Main News