විශ්මිත මිනිස් ප්‍රඥාවේ උදාව අදයි..

May 10, 2017 at 1:20 pm | lanka C news
විශ්මිත මිනිස් ප්‍රඥාවේ උදාව අදයි..

පටිච්චසමුත්පාදය නැමැති විශ්මිත විද්‍යාව සොයාගත් දිනය අදයි. එය සොයාගත් මිනිසාගේ උපත ද විපත ද සිදු වු දිනය අදයි. පටිච්චසමුත්පාදය යනු අදිසි දෙවියෙකු හෝ අන් කිසි නොපෙනෙන බලවේගයක මවාපෑමක් නොව, ශුද්ධ මිනිස් නිර්මාණයකි. ඒ මිනිස් ප්‍රඥාවේ උපරිමයයි. බුදුන් වහන්සේ යනු මිනිසෙකි. මිනිස් ප්‍රඥාවේ ඉහළ ම අත්තේ සුපුෂ්පිත කුසුමයි. බුදුන් වහන්සේ තරම් අන් කිසිවෙකු විසින් මා පුදුමයට පත්කර නැත. අනාගතයේ ද එසේ කරනු නැත.

බුදුන් වහන්සේගේ පටිච්චසමුත්පාදය පරයා යන දර්ශනයක්, චින්තනයක් හෝ විද්‍යාවක් එදා මෙදාතුර ලෝකයේ කිසිදු තැනක කිසිවෙකු විසින් සොයාගෙන නොමැත. පටිච්චසමුත්පාදය යනු හුදු ආගමික ඇදහිල්ලක් නොවේ. එය විශ්වයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවසාන විවරණයයි. ස්ථිර සාරයක්, වෙනස් නොවන පදාර්ථයක් හෝ සර්වබලැති වෙනස් නොවන දෙවියෙකු නොමැති ව, ලෝකය තෙමේ ම නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයක නිමග්න වන බව ඉගැන්වෙන දහම පටිච්චසමුත්පාදයයි. සුප්‍රකට ජර්මන් වියතෙකු වන Hermann Oldenburg විසින් becoming without substance කීවේ මෙයටයි. සාරයක් (substance) තිබේ නම් ලෝකයට පැවැත්මක ද තිබිය නොහැකි ය. මන්ද සාරයක් යනු ස්ථිර තත්වයකි. එය සක්‍රීය නැත. වෙනස් වන්නේ ද නැත. එය මරණය සමාන ය. වෙනස් නොවන දෙයකින් කිසිවක් නිර්මාණය ද කළ නොහැකි බැවිනි. යකඩ රත්කොට මෘදු කිරීමෙන් පමණක් පෑස්සිය හැකි ය. ලෝකයේ ජීවය යනු සාර රහිත බවම ය.

පටිච්චසමුත්පාදය විසින් අපට කියා දෙන්නේ, මුළු ලෝකය ම එකම සක්‍රිය යමහළක් බව ය. පජ්ජලිතෝ ලෝකෝ කීවේ එහෙයිනි. ඇතැම් තන්හි ඇවිලීමේ තීව්‍රතාව අඩු ය. ඇතැම් තන්හි මධ්‍යස්ථ ය. ඇතැම් තන්හි උපරිමයයි. එහෙත් ලෝකයේ මූලික ම ව්‍යාකාරණය නිරන්තර අන්තර්ක්‍රියාව නිසා, ඉහත අඩු වැඩි මැදි සක්‍රීයත්වය තුළ, අපට පෙනුන ද නොපෙනුන ද ඇත්තේ අප ද ඇතුළු ලෝකය ම එකම විශ්ව යමහල් නදියක ගලා යෑම ය. මේ විශ්ව ගලනයෙන් (Universal flux) මිදුනු කිසිවක් නැත. අමතර කරුණකි. ස්ථිර පදාර්ථ නැති නම් එම විශ්වයට කේන්ද්‍ර ද නැත. ලෝකයට කතුවරු අහිමි වන්නේ මේ පදනමිනි.

ලෝකය අපට නිරන්තරව බල කරන්නේ සාරයක් පිළිගන්නා ලෙසට ය. ඇත්ත වශයෙන් ම, අවිද්‍යාවේ කාර්යභාරය වන්නේ ම, අප මතට සාරයක් පිළිබඳ විස්වාසයක් පතිත කිරීමට ය. ඒ මන්ද යත් එවැනි විස්වාසයක් නොමැති ව ලෝකයේ පැවැත්ම නඩත්තු කරගත නොහැකි බැවිනි. ලෝකයේ අරමුණ නිර්මාණය හා ප්‍රතිනිර්මාණයයි. පින්තූරයක් දෙසට ඕනෑවට වඩා කිට්ටු වී බැලූ විට ඔබට පින්තූර පෙනේ ද? නැත. සියල්ලට සීමාවක් තිබේ. ඒ ඊනියා පැවැත්මේ සීමාවයි. බුදුන් වහන්සේ අපට පැවැත්මේ සීමාව ඉක්මවා යෑමේ කවුළුව විවෘත කොට ‍ලෝකය ඇති සැටියෙන් පෙන්වාලූවේ ය. ඒ මන්ද ගමන දැන ගෙන යාම අතරමං නොකරන බැවිනි. බුදුදහම අපෙන් ඉල්ලන්නේ එයයි. ඇවැසි නම්, ගමන නවතාලිය හැකි ය. ඒ අප නිරන්තරව ලෝකය තුළ භවයෙන් භවයට ගමන් කරවන විනාශ කළ නොහැකි ලෙස සිතන ශක්තිය විනාශ කර දැමීමෙනි. නිවන යනු ඒ ය.

– මහින්ද පතිරණ FB

1,299 views
Main News